ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පැය ගණනක් වාඩි වී සිටීමෙන් වෙරිකෝස් නහර ඇතිවීමේ අවදානම වැඩි වෙනවා ද?
- Author, ඔන්කාර් කරම්බල්කාර්
- Role, බීබීසී මාධ්‍යවේදී
- කියවීමේ කාලය: මිනිත්තු 8
බොහෝ දෙනෙක් එදිනෙදා ජීවිතයේදී සිය පාද කෙරෙහි වැඩි අවධානයක් යොමු නොකරති. එහෙත් අද වන විට වැඩි දෙනෙකු මුහුණ දෙන පොදු නමුත් නොසලකා හරින ලද ගැටලුවක් වන්නේ නහර ගැටගැසීම (වෙරිකෝස් නහර) ඇතිවීමේ තත්ත්වයයි.
තම පාදවල ගැට ගැසුණු, ඉහළට නෙරා ඇති සහ නිල් පැහැති නහර දකින බොහෝ අය සිතන්නේ එය හුදෙක් රූපලාවණ්‍ය ගැටලුවක් බවයි.
නමුත් විශේෂඥයින් පවසන්නේ මෙය හුදෙක් රූපලාවණ් ගැටලුවක් පමණක් නොව, පාදවල නිසි ලෙස රුධිරය සංසරණය නොවන බව හඟවන ලක්ෂණයක් ද විය හැකි බවයි.
දිගු වේලාවක් සිටගෙන සිටීම, වාඩි වී සිටීමේ ජීවන රටාව, බර වැඩිවීම, ගැබ් ගැනීම සහ ජීවන රටාවේ වෙනස්කම් හේතුවෙන් දැන් ස්නායු ආශ්‍රිත ගැටලු වැඩි වෙමින් පවතී.
වඩාත් වැදගත් ම දෙය නම්, බොහෝ අය වේදනාව, ඉදිමීම, සමේ වෙනස්කම් හෝ තුවාලයක සලකුණු දිස්වන තුරු ප්‍රතිකාර කිරීම නොසලකා හැර සිටීමයි.
වාසනාවකට මෙන්, නවීන පර්යේෂණ මෙම ගැටලුවට ප්‍රතිකාර කරන ආකාරය බෙහෙවින් වැඩිදියුණු කර ඇත.
මීට පෙර බරපතළ ශල්‍යකර්මවලට බිය වූ පුද්ගලයින්ට දැන් ලේසර්, RF, මැලියම් හෝ ස්ක්ලෙරෝතෙරපි වැනි සරල ක්‍රම මගින් ප්‍රතිකාර ලබා එදින ම නැවත නිවෙස වෙත යා හැකි ය.
කෙසේ වෙතත්, ප්‍රතිකාර සඳහා යොමු වීමට පෙර විශේෂඥ වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගැනීම සහ නිවැරදි රෝගී තත්ත්වය හඳුනා ගැනීම වැදගත් වේ.
වෙරිකෝස් නහර යනු කුමක් ද?
පාදවල ඇති ශිරාවල රුධිරය නැවත හෘදය වෙත රැගෙන යාමට උපකාරී වන කුඩා කපාට පිහිටා ඇත. මෙම කපාට නිසි ලෙස විවෘත වී වැසෙන්නේ නම් රුධිරය සුමටව සංසරණය වීම සිදුවෙයි.
නමුත් මෙම කපාට දුර්වල වූ විට හෝ නිසි ලෙස ක්‍රියා නොකරන විට, රුධිරය ප්‍රතිවිරුද්ධ දිශාවට ගමන් කර එකතු වීමට පටන් ගනී. මෙම තත්ත්වයේදී, නහර ඉදිමීම පිටතට පවා පෙනෙන අතර එය 'වෙරිකෝස් නහර' ලෙස හැඳින්වේ.
මෙම රෝගී තත්ත්වය මුල් අවස්ථාවේදී එතරම් පැහැදිලිව දැක ගැනීමට නොහැකි වුණත් නිසි ප්‍රතිකාර නොකළහොත්, පාදවල බර ස්වභාවයක් දැනීම, නිරන්තර තෙහෙට්ටුව, මේස් ගලවා දැමීමෙන් පසුව පවා පාද ඉදිමීම, සම අඳුරු වීම හෝ කැසීම වැනි ගැටලුවලට තුඩු දිය හැකිය.
වසර ගණනාවක් එම තත්ත්වය නොසලකා හැරීම නිසා ඇතැම් රෝගීන්ගේ වළලුකර අසල ශිරා වණ ලෙස හැඳින්වෙන සුව නොවන තුවාල ඇති විය හැකි ය.
පාදවල ඇතිවන සෑම වේදනාවක් ම හෝ ස්නායු වේදනාවක් ම වෙරිකෝස් ලෙස හැඳින්විය නොහැක.
බොහෝ විට, මෙම රෝග ලක්ෂණ මාංශ පේශි ආතතිය, ස්නායු මත පීඩනය, සන්ධි වේදනාව හෝ රුධිරය අහිමි වීම නිසා ද ඇති විය හැක. එමනිසා, ගැටලුවට හේතුව තේරුම් ගැනීම සඳහා විශේෂයෙන් සනාල ශල්‍ය වෛද්‍යවරයෙකුගේ සහය ලබා ගැනීම ඉතා වැදගත් වේ.
නිවැරදිව රෝගය විනිශ්චය කර ගැනීම සඳහා මෙන් ම ප්‍රතිකාර සැලැසුම් කිරීමට කල්තියා සිදු කරන වර්ණ ඩොප්ලර් ස්කෑන් පරීක්ෂණය වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.
වෙරිකෝස් බහුලව දක්නට ලැබෙන රෝගී තත්ත්වයක් ගැටලුවක් වුව ද, එහි බරපතළකම බොහෝ විට බොහෝ දෙනෙකුට වැටහෙන්නේ නැත.
කෝකිලාබේන් ධීරුභායි අම්බානි රෝහලේ සනාල සැත්කම් අංශයේ ප්‍රධානී වෛද්‍ය රඝුරාම් ශේඛර් පවසන්නේ, බොහෝ පුද්ගලයින් තම පාදවල ඇතිවන වෙරිකෝස් නහර හෝ නහර ඉදිමීම සාමාන්‍ය දෙයක් ලෙස සිතන බවයි. කෙසේ වෙතත්, "මේක රූපලාවණ්‍යය පිළිබඳ ගැටලුවක් නෙවෙයි. රුධිරය නැවත පසුපසට ගලා යාමට හේතු වන බරපතළ ගැටලු මෙම නහර තුළ සැඟවී තියෙනවා".
ඔහු පෙන්වා දෙන පරිදි මෙම රෝගය දිගු වේලාවක් සිටගෙන වැඩ කරන පුද්ගලයින් අතර වේගයෙන් වැඩිවෙමින් පවතියි. උදාහරණයක් ලෙස ගුරුවරුන්, ආරක්ෂක නිලධාරීන්, කර්මාන්තශාලා සේවකයින් මෙන් ම පැය ගණනක් වාඩි වී වැඩ කරන සාප්පු හිමියන් හෝ කාර්යාල සේවකයින් අතර පවා එය දක්නට ලැබෙයි.
බොහෝ රෝගීහු සිය රෝග ලක්ෂණ දරුණු වන තුරු ඒ පිළිබදව නොසලකා හරිති.
"පාදවල බර ගතිය, ඉදිමීම, සම අවපැහැ ගැන්වීම වීම, මේ හැම දෙයක් ම සිරුරෙන් ලැබෙන පූර්ව අනතුරු ඇඟවීමේ සංඥා. නමුත් බොහෝ දෙනා ප්‍රතිකාර ලබා ගැනීම ප්‍රමාද කරන්නේ ඔවුන්ගේ සිත්වල බරපතළ සැත්කම්වලට භායනය වෙන්න වේවි කියන බය තවමත් තියෙන නිසා."
"මිනිස්සු තවමත් මේ රෝගය සලකන්නේ තනිකරම රූපලාවණ්‍ය ගැටලුවක් ලෙසයි. දැනුවත්භාවය නොමැතිකම, නිවැරදි විශේෂඥයින් වෙත ප්‍රවේශය නොමැතිකම සහ යල් පැන ගිය අදහස් නිසා රෝගය හඳුනා ගැනීමට හේතු වෙනවා," ජස්ලෝක් රෝහලේ සනාල විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වෛද්‍ය ෂොයිබ් පදරියා පවසයි.
වර්තමානය වන විට ප්‍රතිකාර ක්‍රම සම්පූර්ණයෙන් ම වෙනස් වී ඇති බව ඔහු තවදුරටත් පැහැදිලි කරයි.
"අද වන විට සිදුකරන බොහෝ ප්‍රතිකාර ක්‍රම ලේසර්, RF, මැලියම් හෝ ෆෝම් ස්ක්ලෙරෝතෙරපි වගේ සරල සහ සංකීර්ණ බවින් අඩු ප්‍රතිකාර ක්‍රම. මේවා එක දවසකින් කරන්න පුළුවන් සැත්කම්. රෝගියාට ඊට පසුදා ම රස්සාවට යන්න පුළුවන්," ඔහු පවසයි.
රෝගය කල් තියා හඳුනා ගැනීම වැදගත් බව විශේෂඥයින් දෙදෙනා ම අවධාරණය කරති.
"හැම ඉදිමුමක් ම බරපතළ තත්ත්වයක් නෙවෙයි. ඒ වගේ ම කකුල්වල ඇති වන හැම වේදනාවක් ම වෙරිකෝස් නිසා ඇති වෙන්නෙත් නැහැ. ඒ නිසා ඩොප්ලර් ස්කෑන් පරීක්ෂණයක් කරන එක වැදගත් හරි තීරණය ගන්න," වෛද්‍ය ශේඛර් පැහැදිලි කරයි.
"අවශ්‍ය කරන ප්‍රතිකාරය කුමක් ද කියලා තීරණය කරන්න නහරයේ ප්‍රමාණය, ගැඹුර සහ හැඩය වැදගත් බව," වෛද්‍ය පදරියා තවදුරටත් පවසයි.
"මේ නිසා, ස්වයං ප්‍රතිකාරවලට යොමු වීමෙන් අවදානමක් ඇති වෙන්න පුළුවන්. සුදුසුකම් ලත් සනාල ශල්‍ය වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගැනීම හරි ම වැදගත්."
රෝග ලක්ෂණ සහ අනතුරුදායක තත්ත්වය
බැලූ බැල්මට වෙරිකෝස් නහරවල ස්වභාවය අප්‍රසන්න බවක් ගෙන දුන්න ද විශේෂඥයින් දෙදෙනාට ම අනුව, ඉන් අදහස් වන්නේ ශරීරය වැදගත් සංඥා කිහිපයක් ලබා දෙමින් සිටින බව ය.
"බර ගතිය, සවස් වරුවේ වේදනාව වැඩි වීම, වළළුකර වටා ඉදිමීම හුදෙක් රූපලාවණ්‍ය වෙනස්කමක් විතරක් නෙමෙයි, දුර්වල රුධිර සංසරණය පෙන්වන ලක්ෂණ තමයි ඒ," වෛද්‍ය රඝුරාම් ශේඛර් පවසයි.
ඔවුන් පවසන පරිදි දිගු කාලයක් රෝගය සඳහා ප්‍රතිකාර නොකළහොත්, සම ඝන වීම, වළළුකර මත ඇතිවන තුවාල කළු වීම සහ සුව නොවීමේ ගැටලුව ඇති විය හැකි ය.
ඇතැම් රෝගීන් තුළ, මතුපිට ශිරා තුළ රුධිරය එකතු වී හානිකර නොවන කැටි ගැසීම් ඇති කරයි.
ඇතැම් රෝගීන්ගේ, සම ආසන්නයේ ඇති ශිරා තුළ රුධිරය එකතු වී හානිකර නොවන කැටි ගැසීම් ඇති කරයි. "මතුපිටින් ඇති වන නහර කැටි ගැසීම් වේදනාකාරී නමුත් ඒකෙන් ජීවිතයට තර්ජනයක් නැහැ. නමුත් මිනිසුන් ඒ ගැන කරදර වෙනවා, නමුත් අභ්‍යන්තරයේ ඇති නහරවල භයානක කැටි ගැසීම් ඇති වෙනවා," ඔහු පවසයි.
"රෝග ලක්ෂණ නොමැතිව වුව ද අවදානම්සගහත වෙන්න පුළුවන්. විශාල නහරවල වේදනාවක් නැතිවුණත්, පාදවල සම ක්‍රමයෙන් හානි වෙන්න පුළුවන්. ඒ නිසා සෑම විශාල නහරයක් සඳහා ම නිතිපතා විශේෂඥයෙකු හමුවී උපදෙස් ලබා ගැනීම වැදගත් වනවා," වෛද්‍ය ෂොයිබ් පදරියා අනතුරු අඟවයි.
ප්‍රතිකාර තෝරා ගන්නේ කෙසේ ද?
වෛද්‍ය පදරියා පෙන්වා දෙන පරිදි ප්‍රතිකාරයක් තෝරාගැනීමේදී සාධක හතරක් තීරණාත්මක වේ: එනම් නහරයේ ප්‍රමාණය, එය පිහිටා ඇති ගැඹුර, එහි ඍජු බව සහ සමට එහි ඇති සමීපත්වය ඒවා වේ.
නහරයේ ප්‍රමාණය අනුව
නහරයේ ප්‍රමාණය 4-5mmට වඩා අඩු නම් ෆෝම් ස්ක්ලෙරෝතෙරපි ප්‍රතිකාරය සිදු කෙරේ. නහරයේ ප්‍රමාණය 5-12mm නම්, ලේසර් (EVLT) හෝ RF ප්‍රතිකාර ක්‍රමය භාවිත කෙරේ. නහරයේ ප්‍රමාණය 12-15mm හෝ ඊට වැඩි අවස්ථාවලදී ලේසර් (EVLT) ක්‍රමය වඩාත් ඵලදායී වේ.
නහරයේ ව්‍යුහය අනුව
ප්‍රධාන ශිරාව riජු නම්, ලේසර්/RF ප්‍රතිකාරය නිර්දේශ කෙරේ. නහරය ඇඹරී ඇත්නම් ෆෝම් ස්ක්ලෙරෝතෙරපි ප්‍රතිකාරය නිර්දේශ කෙරේ.
සම අසල ගැඹුර අනුව
- 5mmට වැඩි ගැඹුරකදී ලේසර්/RF ආරක්ෂිත වේ.
- සමට ඉතා ආසන්න නම් (<5mm), මැලියම් හෝ ෆෝම් භාවිත කෙරේ.
(මෙම ක්‍රම සඳහා තාප ශක්තිය භාවිත නොකරන බැවින්, සම පිළිස්සීමට ඇති අවදානම අඩු කරයි)
වෙරිකෝස් නහර සඳහා ඇති ප්‍රධාන ප්‍රතිකාර ක්‍රම හතර වන්නේ ලේසර් (EVLT), රේඩියෝ සංඛ්‍යාත (RF), මැලියම් සහ ෆෝම් ස්ක්ලෙරෝතෙරපි වේ. ඒ සෑම ප්‍රතිකාර ක්‍රමයක් සඳහා මේ වෙන් වෙන් වශයෙන් වාසි මෙන් ම භාවිතය සඳහා සුදුසු අවස්ථා ඇත.
ලේසර් සහ RF ක්‍රම දෙක ම නහරය ඇතුළත සිට වැසීමට තාපය භාවිත කරන අතර, ක්‍රියා පටිපාටිය අතරතුර එම ප්‍රදේශය හිරි වැට්ටවීමට ටුමෙසන්ට් එන්නත භාවිත කරයි.
මෙම ප්‍රතිකාර දෙක ම මෘදු සිට මධ්‍යස්ථ වේදනාවක් ඇති කළ හැකි නමුත්, ප්‍රතිඵල දිගුකාලීන සහ විශ්වාසදායක වේ.
මෙම ප්‍රතිකාර මහා සැෆිනස් නහර (GSV) වැනි විශාල, ඍජු නහර සඳහා වඩාත් සුදුසු වන අතර රෝගී තත්ත්වය නැවත ඇතිවීමේ අවදානම අඩු ය.
ඊට වෙනස්ව, මැලියම් ප්‍රතිකාර සහ ෆෝම් ස්ක්ලෙරෝතෙරපි ප්‍රතිකාර යනු තාප නොවන ක්‍රම වේ. එනම් ඒවා තාපය භාවිත නොකරයි. එබැවින්, හිරි වැට්ටවීම සඳහා එන්නත් අවශ්‍ය නොවන අතර ප්‍රතිකාර කිරීමෙන් පසු ඇතැම් විට රෝගියාට සුළු වේදනාවක් හෝ වේදනාවක් ඇති නොවිය හැකිය.
හිරි වැට්ටවීම අවශ්‍ය නොවන හෝ සමට ඉතා සමීප නහර ඇති රෝගීන්ට මැලියම් ප්‍රතිකාරය සාමාන්‍යයෙන් ප්‍රයෝජනවත් වේ. වක්‍ර, කුඩා හෝ සිහින්ව ප්‍රසාරණය වී ඇති නහර සඳහා ෆෝම් ස්ක්ලෙරෝතෙරපි ප්‍රතිකාරය වඩාත් සුදුසු යැයි සැලකේ.
කෙසේ වෙතත්, ෆෝම් සමග වෙරිකෝස් නහර නැවත වර්ධනය වීමේ අවදානම අනෙකුත් ප්‍රතිකාර ක්‍රමවලට වඩා තරමක් වැඩි විය හැකිය.
සමස්තයක් වශයෙන්, එක් එක් ක්‍රම විවිධ රෝගී අවස්ථාවන්හිදී භාවිත කෙරේ. ලේසර් හෝ RF ශිල්පීය ක්‍රම විශාල සහ ඍජු නහර සඳහා සුදුසු වන අතර, මැලියම් හෝ ෆෝම් ප්‍රතිකාර ක්‍රම කුඩා, ගැට ගැසුණු හෝ සමට සමීප නහර සඳහා ප්‍රතිකාර කිරීමට සුදුසු වේ.
නිවැරදි ප්‍රතිකාර ක්‍රම තෝරා ගැනීම සැමවිටම ඩොප්ලර් ස්කෑන් කිරීම සහ විශේෂඥ ඇගයීම මත රඳා පවතී.
"සෑම කෙනෙකුගේ ම ශිරා වෙනස් නිසා සියල්ලන්ට ම ගැලපෙන ප්‍රතිකාරයක් නැහැ. ඩොප්ලර් ස්කෑන් පරීක්ෂණයක් කියන්නේ හොඳ ම ප්‍රතිකාරය තීරණය කිරීමේ පළමු සහ විශ්වාසදායක පියවරයි," වෛද්‍යවරු දෙදෙනා ම පවසති.
ජීවන රටාවේ වෙනස්කම්
වෛද්‍ය ශේඛර් සහ වෛද්‍ය පදරියා පෙන්වා දෙන පරිදි නවීන ජීවන රටාව මෙම ගැටලුව තවත් උග්‍ර කරන ප්‍රධාන සාධකයකි. එබැවින්, ඇතැම් සරල වෙනස්කම් විශාල බලපෑමක් ඇති කළ හැකිය.
- දිනපතා ඇවිදීම මගින් කලවයේ මාංශ පේශි මගින් හදවත දෙසට රුධිරය ඉහළට පොම්ප කිරීමට උපකාරී වේ.
- ඔබේ සිරුරේ බර පාලනය කර ගැනීමෙන් ඔබේ පාදවලට එල්ලවන පීඩනය අඩු වේ.
- සෑම විනාඩි 30කට වරක් ඔබේ වාඩි වී සිටින හෝ සිටගෙන සිටින ඉරියව්ව වෙනස් කරන්න.
- ඔබේ පාද තරමක් ඉහළට ඔසවා තබාගෙන විවේක ගැනීමෙන් පාදවල ඉදිමීම සහ බර ගතිය අඩු වේ. විශේෂයෙන් මුල් අවධියේදී සම්පීඩන මේස් භාවිතය ප්‍රයෝජනවත් වේ.
වළක්වා ගත හැකි පුරුදු
- පැය ගණනක් එක තැනක සිටගෙන සිටීම.
- දිගු වේලාවක් වාඩි වී සිටීම.
- සීමාව ඉක්මවා තද හෝ ලිහිල් සෙරෙප්පු සහ උස සපත්තු පැළඳීමෙන් බත්කෙණ්ඩ ප්‍රදේශයේ පවතින මාංශ පේශිවල ශක්තිය අඩු විය හැකිය.
- ඔබේ පාද උණු වතුරේ බහා ගෙන ගෙන සිටීමේ පුරුද්ද නහර ආශ්‍රිත ගැටලු තවත් උග්‍ර කළ හැක.
"ජීවන රටාවේ වෙනස්කම් මෘදු රෝග ලක්ෂණ සඳහා උපකාරී විය හැකි නමුත්, සමේ වෙනස්කමක් සිදුවුවහොත් හෝ වේදනාවක් ඇති වුවහොත්, ඔබ විශේෂඥ වෛද්‍යවරයෙකු හමුවිය යුතුයි," වෛද්‍ය ශෙඛර් පවසයි.
ඔබ ඔබේ ජීවන රටාව, ආහාර වේල වෙනස් කිරීමට හෝ ව්‍යායාම ආරම්භ කිරීමට සැලසුම් කරන්නේ නම්, වෛද්‍යවරයෙකු සහ සුදුසුකම් ලත් පුහුණුකරුවෙකුගෙන් උපදෙස් ලබා ගැනීම වැදගත් වේ.
කළ යුතු හොඳ ම දෙය නම් ඔබේ ශරීරය සහ රෝග ලක්ෂණ වෛද්‍යවරයෙකු ලවා නිසි ලෙස පරීක්ෂා කරවා ගැනීම සහ ඔවුන්ගේ උපදෙස් අනුව ජීවන රටාවේ වෙනස්කම් සිදු කිරීමයි.