චොකා මල්ලි හෙවත් ප්‍රේමලාල් ජයසේකර ඇල්ලීමට විවෘත වරෙන්තුවක්

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 2

අධිකරණය හමුවේ පෙනී නොසිටි හිටපු අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා විවෘත වරෙන්තුවක් නිකුත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (ඔක්: 21) නියෝග කළේ ය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා මාර්ගයෙන් එම වරෙන්තුව නිකුත් කරන ලෙස නියෝග කළ අධිකරණය, පොලිස්පතිවරයාට නියෝග කළේ, එය නොපමාව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස ය.

අද දින අධිකරණය හමුවේ පෙනී සිටි සෙසු විත්තිකරුවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියම කළේ ය.

2015 වසරේ සිදුවූ ඝාතනය

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ එවක ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනගේ කහවත්ත ප්‍රදේශයේ පැවති ප්‍රචාරක රැලියකට වෙඩි ප්‍රහාරයක් එල්ල කර පුද්ගලයෙකු මරා දැමීමේ චෝදනාවට වැරදිකරු කළ ප්‍රේමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට රත්නපුර මහාධිකරණය මරණීය දණ්ඩනය නියම කළේ ය.

එම දඬුවමට එරෙහිව විත්තිකරුවන් ඉදිරිපත් කළ අභියාචන විභාග කළ අභියාචනාධිකරණය ප්‍රේමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට නියම කර තිබිණ.

එම තීන්දුවට එරෙහිව අගතියට පත් පාර්ශ්වය ඉදිරිපත් කළ අභියාචන පෙත්සමක විභාගය පසුගිය සැප්තැම්බර් මස 04 වන දා අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රේමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට අද දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කර තිබිණි.

එහෙත්, මෙම නඩුකරය කැඳවූ අවස්ථාවේදී විත්තිකාර ප්‍රේමලාල් ජයසේකර අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ ගිහාන් කුලතුංග යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා වරෙන්තු නිකුත් කිරීමට නියම කළේ ය.

විත්තිකාර ප්‍රේමලාල් ජයසේකර විදේශ ගතව සිටින බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් ජනක බණ්ඩාර අධිකරණයට දැනුම් දී තිබිණි.