SriLankan Airlines හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ මරණය ගැන පරීක්ෂණයට පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය කමිටුවක්

    • Author, බීබීසී සිංහල
  • කියවීමේ කාලය: මිනිත්තු 3

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන, කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි නිවසක දී මියගොස් සිටියදී අද (මැයි 08) හමුවී තිබේ.

"නොම්බර 37, පේද්‍රිස් පෙදෙස, කොල්ලුපිටිය නිවසේ දොරක එල්ලී මියගොස් ඇත. සියදිවි නසාගෙන ඇත." බීබීසී සිංහල කළ පිළිබඳව කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් සඳහන් කළේය.

ඒ අනුව මරණය පිළිබඳව කොල්ලුපිටිය පොලිසිය විසින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

මෙම සැකකටයුතු මරණය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව ද පොලිසිය විසින් අධිකරණයට දන්වා තිබේ. ඒ අනුව ස්ථාන පරීක්ෂණය සඳහා මහේස්ත්‍රාත්වරයා අදාළ සිද්ධිය වූ ස්ථානයට ගොස් ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී ඇමරිකානු ඩොලර් මිලියන 2 ක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එහි හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන ඉකුත් මැයි 06 වනදා ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කළ අතර පසුව නැවත ඔහුව අත්අඩංගුවට ගන්නැයි ඊයේ (මැයි 07) නියෝග කර තිබිණි. ඒ අල්ලස් කොමිසම විසින් සිදුකළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමිනි.

වීඩියෝව නරඹන්න

'අද උසාවියට සරෙන්ඩර් කරන්න හිටියේ'

බීබීසී සිංහල කළ විමසීකමදී ශ්‍රී ලංකන් හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයෙකු කියා සිටියේ අධිකරණය ලබාදුන් නියෝගයට අනුව ඔහුව අද (මැයි 08) වැනිදා මෝසමක් මාර්ගයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබු බවය.

"අපි අද මෝෂන් එකක් දාන්න හිටියා එයාව සරෙන්ඩර් කරන්න. ඒ මෝෂන් එක දාලා එයා උසාවියට එන්න හිටියේ. ඒ ඉන්න අතරෙයි ඕක දැන ගත්තේ. අපිට ඩොකියුමන්ට්ලි ඔප්පු කරන්න බැහැ මෝෂන් එකක් දානවා කියන එක. මොකද අපි ඒක දාන්නේ උදේ 10.00ට ඉස්සර වෙලානේ. හැබැයි දාන්න හිටියේ කියලා අපි දන්නවා. සිද්ධිය වෙලා තියන තැන අපේ තව ලෝයර් කෙනෙක් ගිහින් ඉන්නවා. සමහර විට එයත් කටඋත්තර දෙයි. එයාව උසාවියට සරෙන්ඩර් කරන්න හිටියේ කියලා." එම නීතිඥවරයා කියා සිටියේය.

මරණ පරීක්ෂණයට පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය කමිටුවක්

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ මෘත දේහය සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරුන් පස් දෙනෙකුගෙන් යුත් කමිටුවක් මගින් පශ්චාත් මරණ පරීක්‍ෂණයක් පවත්වා මරණයට හේතු අධිකරණයට වාර්තා කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට අද (මැයි 08) නියම කළේ ය.

ඊට අමතරව, මෙම මරණයට අදාළ සාක්කිකරුවන් සිටී නම් ඔවුන් මැයි මස 12 වන දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, සිද්ධියට අදාළව සිදුකරන විමර්ශනවල ප්‍රගතිය එදින අධිකරණයට වාර්තා කරන ලෙස කොල්ලුපිටිය පොලිසියට නියම කළේ ය.

මහේස්ත්‍රාත්වරයා එම නියෝගය කළේ, කොල්ලුපිටිය, පේද්‍රිස් මාවතේ නිවසක කාමරයක් තුළ ගෙළ වැලලාගෙන මියගොස් සිටියදී කපිල චන්ද්‍රසේනගේ මෘත දේහය සොයාගත් බවත්, අදාළ මරණය සැකකටයුතු බවත් දැනුම් දෙමින් කොල්ලුපිටිය පොලිසිය කළ ඉල්ලීමක් පිළිගනිමිනි.