විනිසුරු විශ්‍රාම වයස දික් කරන 22 වන සංශෝධනයට එරෙහි පෙත්සම් විභාග කරන විනිසුරු මඩුල්ල සහ දින නම් කරයි

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 2

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබෙන පෙත්සම් සලකා බැලීම සඳහා හෙට දින (සැප්: 01) ඒවා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.

මෙම පෙත්සම් විභාග කිරීම සඳහා අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන විසින් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ද නම් කරනු ලැබ ඇත.

එම විනිසුරු මඩුල්ලේ සභාපතිවරයා ලෙස අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන කටයුතු කරයි.

විනිසුරු මඩුල්ලේ සෙසු සාමාජිකයින් වශයෙන් අචල වෙංගප්පුලි, අර්ජුණ ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග නම් කර තිබේ.

මෙම විනිසුරු මඩුල්ල ඉදිරියේ අදාළ පෙත්සම් හෙට දිනයේ සලකා බැලීමට නියමිත ය.

පෙත්සම් 67ක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 67ක් ගොනු කර තිබේ.

ඊට අමතරව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් සංඛ්‍යාව 05කි.

මෙම පෙත්සම් සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වා ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ සවස නීතිපතිවරයා වෙත නොතීසි නිකුත් කළේ ය.