ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සිර දඬුවමෙන් 'නිදොස් කොට නිදහස් කරන්නැයි' ඉල්ලා චමින්ද විජේසිරිගෙන් අභියාචනයක්
වසර එක හමාරක සිර දඬුවමින් තමන් නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි බදුල්ල මහාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.
තම ඇපෑල අභියාචනාධිකරණයට යොමු කරන්නයි ඉල්ලමින් අදාළ ඇපෑල බදුල්ල මහාධිකරණයට ඉදිරිපත් කළ චමින්ද විජේසිරි, සිය අභියාචනය විභාග කර තීන්දුවක් දෙනතුරු තමන් ඇප මත මුදාහරින්නැයි ඉල්ලමින් ඇප අයදුම්පතක්ද අභියාචනය සමගම ඉදිරිපත් කර ඇත.
අයුතු අන්දමින් මාර්ගය අවහිර කර පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහර දී තුවාල කර මරණීය තර්ජනය කිරීමේ චෝදනාවන්ට වරදකරු වූ චමින්ද විජේසිරිට අඟහරුවාදා (ජූලි 28) බදුල්ල මහාධිකරණය අධිකරණය වසර එක හමාරක සිරදඬුවම් නියම කළේ ය.
ඊට එරෙහිව, ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න ඇතුළු නීතිඥ කණ්ඩායමක් චමින්ද විජේසිරිගේ අභියාචනය අධිකරණය වෙත ඉදිරිපත් කළේ ය.
සජබ මන්ත්‍රී චමින්ද විජේසිරිට මාස 18ක සිරදඬුවම්: අධිකරණය තුළ සිදුවූයේ කුමක් ද?
2019 පෙබරවාරි 10 වන දා හෝ ඊට ආසන්න දිනයක බණ්ඩාරවෙල නගරයේ වටරවුම අසලදී පොලිස් නිලධාරීන් ගමන් කළ ජීප් රථයක් අයුතු ලෙස අවහිර කර පහර දී ඔවුන්ට බැන තර්ජනය කළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව නඩුවක් ගොනු කරනු ලැබ තිබිණි.
එම නඩුව විභාග කිරීමෙන් අනතුරුව අදාළ චෝදනාවන්ට ඔවුන් වරදකරුවන් බව තීරණය කළ බදුල්ල මහාධිකරණ විනිසුරු ජෙයරාම් ට්‍රොස්කි පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එක හමාරක ලිහිල් වැඩ සහිත සිරදඬුවම් නියම කළ අතර රුපියල් ලක්ෂ එක හමාරක වන්දියක් තුවාල ලැබූ පොලිස් නිලධාරීන්ට ගෙවීමට ද නියම කළේ ය.
පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි සමග ම චෝදනාවන්ට වරදකරු වී දඬුවම් නියම වූ ඔහුගේ ආරක්ෂක නිලධාරියා වශයෙන් කටයුතු කළ ඇමති ආරක්ෂක අංශයට අනුයුක්තව රාජකාරී කළ පොලිස් නිලධාරී රසික කරුණාතිලකට වසරක සිරදඬුවමක් නියම කොට එය වසර දහයක කාලයකට අත්හිටවනු ලැබූ මහාධිකරණ විනිසුරුවරයා තුවාල ලැබූ පොලිස් නිලධාරීන්ට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවීමට ද නියම කර සිටියේ ය.
රසික කරුණාතිලක අදාළ වන්දි මුදල් ගෙවීමෙන් අනතුරුව අධිකරණයෙන් පිටව ගියේ ය.
තවත් වරදකරුවෙකු වූ බන්දුල රත්නායක මියගොස් ඇති බව අධිකරණයට මීට පෙර දැනුම් දී තිබිණි.
2019 වසරේ පෙබරවාරි 10 වන දා හෝ ඒ ආසන්න දිනයක බණ්ඩාරවෙල නගරයේ වටරවුම අසලදී පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ඇතුළු පිරිස ජීප් රථවලින් ගමන් කරමින් සිටියදී, ඔහුගේ ජීප් රථය පසු කර පොලිස් ජීප් රථයක් ධාවනය වීම සම්බන්ධයෙන් ඇති වූ බව කියන බහින් බස්වීමක් මෙම සිද්ධියට මුල්වී ඇති බව නඩු විභාගයේදී අනාවරණය විය.
තමන් පසු කරගෙන ගිය පොලිස් ජීප් රථයේ මග හරස් කළ මන්ත්‍රීවරයා ඇතුළු පිරිස, එහි සිටි නිලධාරීන්ට මරණීය තර්ජන සිදුකොට පහර දී තුවාල සිදුකර ඇති බවට පැමිණිල්ල චෝදනා කර තිබිණි.
අයුතු අවහිරය, පහර දී තුවාල සිදුකිරීම, පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට මරණීය තර්ජනය කිරීම යන චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි, ඔහුගේ රියැදුරා සහ ඇමති ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරියෙකුට එරෙහිව බදුල්ල මහාධිකරණය හමුවේ මෙම නඩුව පවරා තිබිණි.
'ඇතැම් මන්ත්‍රීවරුන් වරප්‍රසාදවලට මුවා වෙලා පාර්ලිමේන්තුවේදි සෙංකෝලය පවා උදුරාගෙන දුවනවා'
මෙම නඩුවේ තෙවන සැකකරු වන ඇමති ආරක්ෂක නිලධාරී රසික කරුණතිලකගේ අවුරුදු 33ක පොලිස් සේවය තුළ කිසිදු චෝදනාවකට ලක්නොවී ප්‍රශංසා ලිපි 71කට හිමිකම් කියා ඇති බවත්, යාපනය, මුලිතිව්, කිලිනොච්චි ප්‍රදේශවල යුද්ධය පැවති කාලයේ සේවය කර ඇති බවත්, නොබෝ දිනකින් සේවයෙන් විශ්‍රාම ලැබීමට නියමිත බවත් විත්තියේ නීතිඥයින්ගේ කරුණු දැක්වීමේදී අනාවරණය වූ බව සඳහන් කළ විනිසුරුවරයා, මෙම දඬුවම් විශ්‍රාම ලැබීමේදී බලපෑමක් නොවන බව ද අවධාරණය කළේ ය.
මහාධිකරණ විනිසුරු ජෙයරාමන් ට්‍රොස්කි නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට පෙර දීර්ඝ ප්‍රකාශයක් කරමින් මෙසේ පැවසුවේ ය.
"මෙම නඩුව මහාධිකරණයට එන්න කලින් සමථ මණඩලයේදි හෝ මහේස්ත්‍රාත් අධිකරණයේදි විසඳාගන්න තිබුණා, මෙහි විත්තිකරුවන් වන පළමු විත්තිකරු මියගොස් සිටිනවා, දෙවන විත්තිකරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. ඇතැම් මන්ත්‍රීවරු වරප්‍රසාදවලට මුවා වෙලා පාර්ලිමේන්තුවේදි සෙංකෝලය පවා උදුරාගෙන දුවනවා, ගහගන්නවා, මිරිස්කුඩු ගහගන්නවා. නමුත් ඒ අය පාර්ලිමේන්තුවෙන් පිටතදි එවැනි ක්‍රියාවන්වල නිරත වුණා ම තමයි ප්‍රශ්නය," ඔහු පැවසුවේ ය.
"මේවා කොහොම ද අනුමත කරන්නේ? කවුරුත් එවැනි සිද්ධි අනුමත කරන්නේ නෑ, අධිකරණයෙන් ලබා දෙන දඬුවම සමාජයට ආදර්ශයක් වෙනවා, ව්‍යවස්ථාදායකයේ අයත් මෙතන පැමිණ ඉන්නවා."
"මෙතන විත්තිකරුවෙකු වන පොලිස් නිලධාරියා වසර 34ක සේවා කාලයක් රාජකාරි සිදුකර තිබෙනවා , ආරක්ෂකයා වුණා ම ප්‍රභුවරයාගෙන් ජනතාවට සිදුවන හානිය වළක්වා ගත යුතු යි. මෙතනදි මොහු පක්ෂයේ ආධාරකරුවෙකු සේ කටයුතු කර තිබෙනවා," යැයි විනිසුරුවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය.
රජයේ අධිනිතිඥ ශක්ති ජාගොඩආරච්චි මෙම නඩුවේ පැමිණිල්ල මෙහෙයවූ අතර දෙවන විත්තිකිරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න ද තෙවන විත්තිකරු වෙනුවෙන් නීතිඥ සුජීවන සිල්වා ද පෙනී සිටියහ.