ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.

ප්‍රධාන වෙබ් අඩවියට ගෙන යන්න

අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න

සජීවී., වෙනිසියුලාවේ භූමිකම්පාවලින් පුද්ගලයින් 164 දෙනෙකු මරුට

වෙනිසියුලාවේ කරාකස් අගනුවරට බලපෑ ප්‍රබල භූමිකම්පා දෙකකින් එහි ගොඩනැගිලි විනාශ වී තිබේ. පළමු භූමිකම්පාවේ ප්‍රබලත්වය මැග්නිටියුඩ් 7.2ක් වූ අතර, දෙවන භූමිකම්පාවේ ප්‍රබලත්වය මැගිනිටියුඩ් 7.5ක් විය. මෙම ආපදා තත්ත්වයත් සමග වෙනිසියුලාවේ වැඩබලන ජනාධිපති ඩෙල්සි රොඩ්‍රිගස් රට තුළ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීමට පියවර ගත්තේ ය.

සාරාංශය

  • වෙනිසියුලාවේ කරාකස් අගනුවරට බලපෑ ප්‍රබල භූමිකම්පා දෙකකින් එහි ගොඩනැගිලි විනාශ වෙයි
  • පළමු භූමිකම්පාවේ ප්‍රබලත්වය මැග්නිටියුඩ් 7.2ක් වූ අතර, දෙවන භූමිකම්පාවේ ප්‍රබලත්වය මැග්නිටියුඩ් 7.5ක් විය
  • පුද්ගලයින් 32 දෙනෙකු මරුට. තවත් 700 කට ආසන්න පිරිසකට තුවාල - අන්තර්වාර ජනාධිපතිනි
  • මෙම ආපදා තත්ත්වයත් සමග රට තුළ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇත
  • ජීවිත හානි රැසක් සහ දේපළ හානි විශාල වශයෙන් සිදුවී ඇති බවට සැක කරන අතර, එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ මරණ සංඛ්‍යාව 10,000 ඉක්මවීමේ සම්භාවිතාව 44%ක් වන බවයි

සජීවී වාර්තාකරණය

බීබීසී සිංහල

  1. භූමිකම්පා වලින් සිදුවූ මරණ සංඛ්‍යාව 164ක් දක්වා ඉහළට

    වෙනිසියුලාවේ ඇති වූ භූමිකම්පාවලින් මියගිය සංඛ්‍යාව මේ වන විට 164ක් දක්වා ඉහළ ගොස් ඇති බව වෙනිසියුලාවේ තාවකාලික (අන්තර්වාර) ජනාධිපතිනි ඩෙල්සි රොඩ්රිගස් පැවසූ බව රොයිටර් සහ AFP පුවත් සේවය වාර්තා කර සිටිනවා.

    භූමිකම්පා වලින් දැඩිව බලපෑමට ලක්වූ ප්‍රාන්තයේ වන්නේ කරාකස් අගනුවරට උතුරින් පිහිටා ඇති ලා ගුයිරා බවයි ඇය කියා සිටියේ.

    එම ප්‍රාන්තයේ ගොඩනැගිලි විශාල සංඛ්‍යාවක් කඩා වැටී ඇති බවත් එය "ආපදා කලාපයක්" සහ "සැබෑ ඛේදවාචකයක්" ලෙස ඇය වැඩිදුරටත් විස්තර කර සිටියා.

  2. පුද්ගලයින් 32 දෙනෙකු මියගොස් 700 කට ආසන්න පිරිසක් තුවාල - අන්තර්වාර ජනපතිනි

    වෙනිසියුලාවේ තාවකාලික (අන්තර්වාර) ජනාධිපතිනි ඩෙල්සි රොඩ්රිගස් ට අනුව, භූමිකම්පා වලින් අඩුම තරමින් පුද්ගලයන් 32 දෙනෙකු මියගොස් ඇති තවත් 700 කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබෙනවා.

    මියගිය සංඛ්‍යාව පිළිබඳව ඇය විසින් නිල වශයෙන් ඉදිරිපත් කරන ලද පළමු දත්ත සටහන මෙයයි.

    කෙසේ වුවත් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇතැයි බියක් පවතිනවා. ඇමෙරිකා එක්සත් ජනපදයේ භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කරන්නේ මරණ සංඛ්‍යාව 10,000 සීමාව ඉක්මවීම සඳහා 44% ක සම්භාවිතාවක් ඇති බවයි.

    සිදුව ඇති හානි හේතුවෙන් වෙනිසියුලාවේ ප්‍රධාන ගුවන් තොටුපළ ද වසා දමා තිබෙනවා.

    මේ අතර ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ වෙනිසියුලාවේ සිදුව ඇති භූමිකම්පාවෙන් "විනාශකාරී මරණ සංඛ්‍යාවක්" සමඟ "දැවැන්ත හානියක්" සිදුව ඇති බවයි.

    මේ අතර වෙනිසියුලාවේ සහන සේවා සඳහා ඇමරිකා එක්සත් ජනපදය වෛද්‍ය ආධාර සහ සහන සේවා කණ්ඩායම් යොමු කරන බවට පොරොන්දු වී ඇත.

  3. පසු කම්පන 20 කට වඩා වැඩි සංඛ්‍යාවකින් රටම සෙලවී යයි - AFP පුවත් සේවය

    බදාදා දින සිදු වූ පළමු භූමිකම්පාවලින් පසුව මේ වන විට වෙනිසියුලාව පසු කම්පන (aftershocks) 20 කට වඩා වැඩි සංඛ්‍යාවක් සිදුව ඇතැයි එරට ජනාධිපති කාර්යාලය උපුටා දක්වමින් AFP පුවත් සේවය වාර්තා කළා.

    මින් වඩාත්ම බලපෑමකට ලක්ව ඇත්තේ ලා ග්වයිරා , අරගුවා , කරබෝබෝ සහ ෆැල්කොන් ඇතුළු රටේ උතුරු වෙරළ තීරයට අයත් ප්‍රදේශයන්.

  4. වෙනිසියුලාවට බලපෑ මහා පරිමාණ භූමිකම්පා දෙක හේතුවෙන් අති විශාල මරණ සංඛ්‍යාවක් සිදුව ඇතැයි ජනපති ට්‍රම්ප් කියයි

    "වෙනිසියුලාවේ ශ්‍රේෂ්ඨ ජනතාවට බලපෑ මහා පරිමාණ භූමිකම්පා දෙකම ඉතා විශාල මට්ටමේ ඒවා වන අතර, ඒවායින් අති විශාල මරණ සංඛ්‍යාවක් සිදුව තිබෙනවා," යි ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 'Truth Social' සමාජ මාධ්‍ය ජාලයේ තැබූ සටහනක ලියා තිබෙනවා.

    ඇමෙරිකා එක්සත් ජනපදය උපකාර කිරීමට ඉතා කැමැත්තෙන්, සූදානමින් සහ පූර්ණ ශක්තියෙන් යුතුව සිටිනවා!"

    ඉතා වේගයෙන් ක්‍රියාත්මක වීම සඳහා සූදානම් වන ලෙස තමන් "අපගේ රජයේ සියලුම ආයතන වෙත උපදෙස් දී ඇති බව" ට්‍රම්ප් කියා සිටියා.

    "අපගේ මෙම නව සහ ශ්‍රේෂ්ඨ මිතුරන් වෙනුවෙන් අපි එහි පෙනී සිටින්නෙමු. මුළින් ලද වාර්තා කිසිසේත්ම යහපත් නැහැ!!!"

    මේ දක්වා මියගිය හෝ තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව (casualties) පිළිබඳව කිසිදු නිල වාර්තාවක් නිකුත් වී නැහැ.

  5. භූමිකම්පා ඇතිවීමට ප්‍රධාන හේතුව කුමක්ද?

    වෙනිසියුලාව පිහිටා ඇත්තේ කැරිබියන් සහ දකුණු ඇමෙරිකානු යන භූ තැටි දෙක හමුවන, භූ කම්පන අතින් ඉතා සක්‍රීය කලාපයක.

    ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනයට (USGS) අනුව, අද දිනයේ සිදු වූ භූමිකම්පා දෙකෙන් දෙවන සහ විශාලතම භූමිකම්පාව සිදුව ඇත්තේ මෙම භූ තැටි සීමාව අසල ඇති වූ "මතුපිට තිරස් විභේදනකින්"

    මෙය සිදුවන්නේ භූ තැටි අතර ඇති විභේදන (faults) හෙවත් පැලීම් තිරස් අතට චලනය වන විටය. මෙම චලනය ඉතා වේගයෙන් සිදුවන විට භූමිකම්පාවක් හටගන්නවා.

    "සිතියම්වල සාමාන්‍යයෙන් ලක්ෂ්‍යයන් (points) ලෙස සලකුණු කළද, මෙවැනි ප්‍රමාණයේ භූමිකම්පා වඩාත් නිවැරදිව විස්තර කළ හැක්කේ විශාල විභේදන කලාපයක් පුරා සිදුවන ලිස්සා යාමක් (slip) ලෙසය," යැයි USGS ආයතනය වාර්තා කළා.

    දෙවන භූමිකම්පාව සිදු වූ ස්ථානය

  6. භූ කම්පනයෙන් ගොඩනැගිලිවලට හානි වී තිබුණු අයුරු

  7. පළමු භූ කම්පනය සිදුවී තත්පර 39කින් සිදුවූ දෙවන භූ කම්පනය

    මැග්නිටියුඩ් 7.2ක ප්‍රබලත්වයක් සටහන් වූ පළමු භූ කම්පනය එරට වේලාවෙන් බදාදා සවස 6:04ට පමණ සිදුව ඇති අතර ඉන් තත්පර 39කට පමණ පසු මැග්නිටියුඩ් 7.5ක ප්‍රබලත්වයකින් යුත් දෙවන භූ කම්පනය සිදුව තිබෙනවා.

    ඇසින් දුටුවන් පවසන පරිදි, පළමු භූ භූමිකම්පනය අසල්වැසි කොලොම්බියා දක්වා දැනී ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරනවා.

    එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනයට අනුව, මෙම භූමිකම්පාව මොන්ටල්බාන් ප්‍රදේශයේ, කිලෝමීටර් 13.2ක ගැඹුරකදී සිදුව තිබෙනවා.

    ඒත් සමග සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කෙරුණු නමුත් පසුව එම නිවේදන ඉවත් කෙරුණා. දෙවන භූ කම්පනයේ කේන්ද්‍රස්ථානය යුමාරේ නගරයට ගිනිකොන දෙසින් කිලෝමීටර් 23ක් පමණ දුරින් පිහිටා තිබූ අතර, එය කිලෝමීටර් 10ක පමණ ගැඹුරකින් සිදුව තිබෙනවා.

    වෙනිසියුලානු අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ඩියොස්ඩාඩෝ කැබෙයියෝ රාජ්‍ය රූපවාහිනිය වෙත පැවසුවේ වෙනිසියුලානු ප්‍රාන්ත ගණනාවකට භූමිකම්පාවෙන් බලපෑම් එල්ල වී ඇති බවයි.

  8. ආයුබෝවන්!

    වෙනිසුලාවේ අගනුවර වන කරාකස්හි එරට වේලාවෙන් බදාදා සවස සිදුවූ භූ කම්පන දෙකකින් එහි ගොඩනැගිලි රැසකට හානි සිදුව තිබෙනවා. මෙම සජීව පිටුව ඔස්සේ ඒ පිළිබඳ නවතම තොරතුරු ඔබ වෙත ගෙන ඒමට අප බලාපොරොත්තු වනවා.