සකිබ් හුසේන්: සිය පළමු IPL තරගයේදී ම සම්මාන දිනූ 'සපත්තු නැතිව හඬා වැටුණු' 'ගෝපාල්ගන්ජ් රබාඩා'

ඡායාරූප මූලාශ්‍රය, BCCI
"සපත්තුවල ගාණ වැඩියි. බෝල් කරන්න දාන ස්පයික්ස් සපත්තු ජෝඩුවක් රු. 10,000ක් 15,000ක් විතර වෙනවා. සපත්තු දෙකක් ගන්න ඒ වගේ මුදලක් වියදම් කළා ම අපි කන්නේ මොනවා ද?"
මීට කාලයකට ඉහතදී සකිබ් හුසේන් නම් වූ ක්‍රීඩකයා වීඩියෝ සම්මුඛ සාකච්ජාවකදී පැවසූ දේ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් සංසරණය වෙමින් තිබේ.
රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එරෙහිව පසුගිය අප්‍රේල් 13 වන දා පළමු වරට IPL තරගයකට ක්‍රීඩා කළ සකිබ් හුසේන්, එහිදී ලකුණු 24කට කඩුලු 04ක් දවා ගත් අතර මෙවර ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී වැඩි අවධානයක් යොමුවී ඇති ක්‍රීඩකයින් අතර පෙරමුණේ පසු වෙයි.
සකිබ්ගේ දුෂ්කර ළමා කාලය සහ පවුල් පසුබිම
බොහෝ ක්‍රිකට් ක්‍රීඩකයින්ට මෙන් සකිබ් හුසේන්ගේ ජිවිත කතාව ද සුන්දර නොවී ය.
2004 වසරේ දෙසැම්බර් 14 වන දා බිහාර්හි ගෝපාල්ගන්ජ්හි උපත ලැබූ සකිබ් හුසේන්ගේ මව්පියන් වන්නේ අලි අහමඩ් හුසේන් සහ සුබුක්තරා ඛාටූන් ය. සකිබ්ගේ පියා සිය පවුල නඩත්තු කිරීම සඳහා ගොවිතැනට අමතරව දෛනිකව මුදල් උපයා ගැනීම සඳහා කුලී කම්කරුවෙකු ලෙස සේවය කළේ ය.
ආර්ථික වශයෙන් ඔවුන්ගේ පවුල බොහෝ දුෂ්කරතාවන්ට මුහුණ දුන්න ද, සකිබ්ගේ ජීවිතය හැඩගැස්වීමේදී පියා විශාල කාර්යභාරයක් ඉටු කළේ ය. ඔහුගේ පියා දෛනික වැටුප් ලබන කුලී කම්කරුවෙකු ලෙස කටයුතු කළ අතර "අද හොයන මුදලින් අද ජීවත් වෙනවා" වැනි දින චර්යාවක් මත ජීවත් වූ පවුල තුළ මූල්‍ය ස්ථාවරත්වයක් නොතිබිණි.
සකිබ්ගේ පියාට අවශ්‍ය වූයේ සිය පුත්‍රයා හමුදා සේවයට එක් කිරීම වැනි ස්ථාවර වැටුපක් මාසිකව ඉපැයීය හැකි වෘත්තියක් කෙරෙහි යොමු කිරීම යි. ක්‍රිකට් ක්‍රීඩා කිරීම වැනි අවදානමක් ගැනීමට සකිබ්ගේ පියා තුළ එතරම් කැමැත්තක් නොතිබිණි.
කෙසේ වෙතත්, පවුලේ ආර්ථික ගැටලු තිබියදී පවා සකිබ්ට දිගට ම ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදීමට අවශ්‍ය වටපිටාව සකස් කර දීමට ඔහුගේ මව්පියන් උනන්දු වූ අතර, මේ නිසා ඔහු ද තමන්ගේ අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මුදල් උපයා ගැනීම වෙනුවෙන් දේශීය ක්‍රිකට් තරග ක්‍රීඩා කිරීමට පටන් ගත්තේ ය.
"අපේ ගෙදර ළඟ පිට්ටනියක් තියෙනවා, ඒ නිසා මම උදේ පාන්දර එතැනට දුවන්න යනවා. සමහර ක්‍රිකට් පුහුණුකරුවන් මාව දැකලා කිව්වා ගමේ තියෙන ක්‍රිකට් තරගවලට ක්‍රීඩා කරන්න කණ්ඩායමක් එක්ක එකතු වෙන්න කියලා. මම සැහැල්ලු පන්දු ක්‍රිකට් ක්‍රීඩා කළා. සමහර දවසට රුපියල් 500, 600, 700 වගේ මුදල් ලැබුණා. ඒ වගේ මුදලක් හොයන්න ක්‍රිකට් තරග සෙල්ලම් කරන්න ගොඩක් දුර යන්න ඕන. සමහර වෙලාවට කිලෝමීටර් 150ක් විතර දුර තියෙන තරග ක්‍රීඩා කරන්න ගියොත් රුපියල් 2,000ක් පවා උපයා ගත්ත අවස්ථා තිබුණා," සකිබ් තම ක්‍රීඩා දිවියේ ආරම්භයේදී මුහුණ දුන් දුෂ්කරතා සිහිපත් කරමින් ඉන්දීය මාධ්‍ය සමග වරක් පවසා තිබිණි.

ඡායාරූප මූලාශ්‍රය, X
'ගෝපාල්ගන්ජ් රබාඩා'
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගවලදී වේගයෙන් පන්දු යැවීමේ හැකියාවක් පෙන්නුම් කළ සකිබ් හුසේන්ට බිහාර්හි ක්‍රිකට් ප්‍රේක්ෂකයින් "ගෝපාල්ගන්ජ් රබාඩා" යනුවෙන් ආමන්ත්‍රණය කිරීමට පුරුදුව සිටියහ.
ඔහුගේ මෙම හැකියාව ගැන බොහෝ දෙනාගේ අවධානය යොමු විය. ඒ අනුව බිහාර් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරන නවක වේග පන්දු යවන්නන් අත්හදා බැලීමේ පුහුණු වැඩසටහනට එක්වීමට ඔහුට අවස්ථාව උදා විය.
වේග පන්දු යවන්නන් අත්හදා බලන පුහුණු වැඩසටහනට සකිබ් පැමිණියේ ඉරී ගිය සාමාන්‍ය මට්ටමේ ක්‍රීඩා සපත්තු දෙකක් පැළඳගෙන ය. ඒ බව දුටු බිහාර් ක්‍රිකට් සංගමයේ වේග පන්දු යවන්නන් තේරීම් කමිටුවේ සිටි නන්දන් කුමාර් ඔහුට පන්දු යවන්නන් පළඳින ස්පයික්ස් සපත්තු යුගලයක් ලබා දුන් අතර එය දුටු විට ඔහු පුදුමයට පත්වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි.
ජීවිතයේ පළමු වතාවට ස්පයික්ස් සපත්තු දෙකක් පැළඳ පන්දු යැවු සකිබ්ට එහිදී සිය සුපුරුදු පන්දු යැවීමේ රිද්මය හෝ වේගය ලබා ගැනීමට නොහැකි විය.
"මේක මට හරි බරයි. මට පන්දු යවන්න බැහැ" යනුවෙන් පැවසූ සකිබ් පුහුණු වැඩසටහනින් ඉවත් විය.
නමුත් සකිබ්ගේ දක්ෂතාව හඳුනාගත් නන්දන් කුමාර්, පැට්නාහි පිහිටි GenNext ක්‍රිකට් ඇකඩමියේ ප්‍රධාන පුහුණුකරු වූ රොබින් සිං වෙත සකිබ් යොමු කිරීමට පියවර ගත්තේ ය. ඒ සකිබ්ගේ මූලික පන්දු යැවීමේ තාක්ෂණික ඉරියව් වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය විධිමත් පුහුණුවක් ලබා දීමට ය.
රන් භාණ්ඩ විකුණා මිල දී ගත් සපත්තු කුට්ටම
ක්‍රිකට් පුහුණුව සඳහා යොමුවීමට අවශ්‍ය පන්දු යවන්නන් භාවිත කරන ස්පයික්ස් (උල්) සපත්තු යුගලක් මිල දී ගැනීමට අවශ්‍ය මුදල් නොමැති වූ හෙයින් සකිබ් හුසේන් අසරණ තත්ත්වයක පසු විය.
ඔහු තම මවට කියා සිටියේ, එවැනි සපත්තු කුට්ටමක් නොමැති බැවින් තමන්ට ක්‍රිකට් පුහුණුවීම් අඛණ්ඩව සිදු කිරීමට හැකියාවක් නොමැති බව ය.
"එයා අඬන්න පටන් ගත්තා, 'අම්මේ, මට සපත්තු නැහැ, මම කොහොම ද සෙල්ලම් කරන්නේ?' කියලා. අපිට ඒ වගේ සල්ලි තිබුණේ නැහැ. කොහොම හරි එයාට ඒ සපත්තු අරන් දෙන්න මට මගේ ආභරණ විකුණන්න සිද්ධ වුණා," සකිබ්ගේ මව ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් සිය මතකය අවදි කළා ය.
"සපත්තුවල ගාණ වැඩියි. බෝලිංවලට දාන ස්පයික් සපත්තු ජෝඩුවක් රු. 10,000ක් 15,000ක් වෙනවා. සපත්තු දෙකක් ගන්න ඒ වගේ මුදලක් වියදම් කළා ම අපි කන්නේ මොනවා ද?" සකිබ් හුසේන් තමන් සම්බන්ධ වූ වීඩියෝ සම්මුඛ සාකච්ජාවකදී පවසන අයුරු දැක්වෙන වීඩියෝව අද වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් සංසරණය වෙමින් පවතී.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post
සකිබ්ගේ පෙර දක්ෂතා
එවැනි දුෂ්කරතා සමග ගෙවුණු ජීවිතයක් ගෙවමින් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට පැමිණි සකිබ්, බිහාර් කණ්ඩායම නියෝජනය කරමින් 2022–23 වසරේ පැවති සයිඩ් මුෂ්තාක් අලි කුසලානය වෙනුවෙන් සිය පළමු විස්සයි 20 තරගය ක්‍රීඩා කරන විට අවුරුදු 17ක් සම්පූර්ණ කර තිබිණි. එම තරගාවලියේ ඔහු ක්‍රීඩා කළ දෙවන තරගයේදී ලකුණු 20කට කඩුලු 4ක් දවා ගත්තේ ය.
ඉන්පසු ඔහු 2025–26 රංජි කුසලාන තරගාවලියේදී පන්දුවෙන් දක්ෂතා දැක්වීය. ඔහු පළමු පෙළ තරග 06කට ක්‍රීඩා කර කඩුලු 16ක් දවා ගෙන තිබෙන අතර ඔහුගේ හොඳ ම පන්දු යැවීම වන්නේ අරුණාචල් ප්‍රදේශ් කණ්ඩායමට එරෙහිව ලකුණු 41කට කඩුලු 6ක් දවා ගැනීම යි.
වසර ගණනකට පසු සැබෑ වූ IPL සිහිනය
පැයට කිලෝමීටර් 140ක් තරම් වේගයෙන් පන්දු යැවීමේ හැකියාව ඇති සකිබ් හුසේන්ට තම IPL සිහිනය සැබෑ කර ගැනීමට වසර කිහිපයක් ම බලා සිටීමට සිදුවිය.
චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ පුහුණු සැසිවාර තුළ ඔහු දැල් තුළ පන්දු යවන්නෙකු ලෙස කටයුතු කළ අතර 2024 වසරේදී කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ඉන්දීය රුපියල් ලක්ෂ 20කට ඔහු තම කණ්ඩායමට එක් කර ගත්තේ ය.
කෙසේ වුවත්, ඔහුට 2024 වසරේදී කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම නියෝජනය කරමින් එකදු තරගයක් හෝ ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි නොවී ය.
2025 වසරේදී පැවති IPL ක්‍රීඩක වෙන්දේසියේදී සකිබ් හුසේන් ඉන්දීය රුපියල් ලක්ෂ 30කට මිල දී ගැනීමට සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායම පියවර ගත්තේ ය.
පසුගිය අප්‍රේල් 13 වන දා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එරෙහිව පැවති තරගයේදී ලකුණු 24කට කඩුලු 04ක් දවා ගැනීමට සකිබ් හුසේන් සමත් වූයේ සිය IPL ආගමනය ගැන ප්‍රබල පණිවිඩයක් ක්‍රිකට් ලෝකයට ලබා දෙමිනි.




























