ඔබේ කොණ්ඩය කොපමණ වාර ගණනක් පීරිය යුතු ද? ඔබට ගැලපෙන පනාවක් තෝරාගන්නේ කෙසේ ද?

- Author, සොෆියා ක්වාලියා
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 8
ඔබේ කෙස් කළඹේ ආකර්ෂණීයත්වය රඳා පවතින්නේ හිසකෙස්වල ආකාරයේ සිට ඔබ භාවිත කරන පනාවේ හැඩය දක්වා වූ සියල්ල මත ය.
මට මතක ඇති කාලයේ සිට ම, මාගේ කොණ්ඩය කොන්ද ප්‍රදේශය තෙක් දිගට තිබිණි. කොණ්ඩය කෙලෙස සකස් කර ගත යුතු දැයි යන තීරණය මා විසින් ම ගත හැකි වයසට එළැඹි දා සිට ම එය එසේ විය. හැකි සෑම අවස්ථාවක ම මම කොණ්ඩය පීරීමට පුරුදු වී සිටියෙමි. එනම්, උදෑසන අවදි වූ වහා ම, නාන කාමරයට ගිය සෑම අවස්ථාවක ම සහ පාඩම් වැඩවල නිරත වී සිට කෙටි විවේකයක් අවශ්‍ය වූ විට පවා මම කොණ්ඩය පීරුවෙමි.
මා එලෙස දිගින් දිග ටම කොණ්ඩය පීරුවේ 1800 දශකයේ විසූ ඔස්ට්‍රියාවේ සිසි අධිරාජිණිය ගැන සිතමිනි. ඇයට මට මෙන් ඍජු, දුඹුරු පැහැ නමුත් වළලුකර දක්වා දිගට වැඩුණු කොණ්ඩයක් තිබී ඇත. ඇය සෑම රාත්‍රියක ම සිය හිසකෙස් සිය වතාවක් පීරීමෙන් එය නිරෝගීව තබා ගත් බව පැවසිණි. (මෙම ලිපිය ලියන තුරු මම එම කතාව දැඩි ලෙස විශ්වාස කළ ද කණගාටුවට කරුණ නම්, එය ලොව පුරා සිටින මිත්තණියන් ගෙතූ මිථ්‍යා කතාවක් බව පසුව අනාවරණ වීමයි.)
දැන් මම වයසින් මුහුකුරා ගොස් සිටිමි. මම ස්නානය කරන විට කොණ්ඩය හොඳින් පීරමි. නමුත් තවමත් එහි පෙනුම සහ ස්වභාවය නොවෙනස්ව පවතින බව මට පැවසිය හැක.
එයට හේතුව, වික්ටෝරියානු යුගයේ එවැනි කතා තුළ යම් සත්‍යයක් තිබිය හැකි වුවත්, ඔබ කොණ්ඩය පීරිය යුතු වාර ගණන පිටුපස ඇති විද්‍යාව ඊට වඩා බෙහෙවින් සංකීර්ණ වීමයි. එමෙන් ම භෞතික විද්‍යාඥයන්ගේ සිට කොණ්ඩා මෝස්තර ශිල්පීන් දක්වා සෑම දෙනා ම පාහේ මේ පිළිබඳ සත්‍යය සෙවීමට උත්සහ කරමින් සිටීමයි. මෙයට ඇති පිළිතුර ඔබේ හිසකෙස් වර්ගය, පනාවේ වර්ගය, ඔබේ දින චර්යාව සහ තවත් කරුණු මත රඳා පවතී. එබැවින් ඔබේ කෙස් කළඹ නිවැරදිව පීරා ගන්නේ කෙසේදැයි දැන ගැනීමට මෙම ලිපිය කියවන්න.
හිසකෙස් පීරීමේ ඉතිහාසය
පනා සහ බුරුසු භාවිතයෙන් හිසකෙස් සැකසීමේ ඉතිහාසය ප්රාග්-ඓතිහාසික යුගය දක්වා දිව යයි. "මානවයින් ඔවුන්ගේ පිරිසිදුකම මෙන් ම රූපලාවණ්‍ය කටයුතු සඳහා මෙවලම් සකස් කර ගැනීමට තමන් සතු දේ භාවිත කළා. ඒ නිසා ම හිසකෙස් පීරීම ඉතිහාසය පුරා ම ගෝලීය වශයෙන් වැදගත් තැනක් ගෙන තිබෙනවා," The Hair Historian නිර්මාතෘ රෂෙල් ගිබ්සන් පවසයි.
කොණ්ඩය සිය වරක් පීරීමේ අදහස වික්ටෝරියානු යුගයේදී සමාජගත වන්නට ඇතැයි සැලකේ. එකල පැවති සමාජයීය අපේක්ෂාවන් හේතුවෙන් කාන්තාවන් දිගු වරලසක් පවත්වා ගෙන ගිය අතර, එය ඔවුන්ගේ "කිරුළ" ලෙසත්, ස්ත්රීභාවයේ සහ වටිනාකමේ අනිවාර්ය කොටසක් ලෙසත් සලකනු ලැබූ බව ගිබ්සන් පවසයි. එකල හිසකෙස් රැක බලා ගැනීමේ දෛනික ක්‍රියාවලියට සාමාන්‍යයෙන් ඇතුළත් වූයේ, පළමුව පනාවකින් පීරා හිසකෙස්වල අවුල් ඉවත් කිරීම, රැඳී ඇති කුණු, දූවිලි, උකුණන් සහ ලේඬින් ඉවත් කිරීමයි. අනතුරුව හිසකෙස් සිනිදු කිරීමට, පෝෂණය කිරීමට සහ හිස් කබලෙන් නිපදවන ස්වභාවික තෙල් හිස පුරා ඒකාකාරව පැතිරවීමට ඌරන්ගේ රෝම වැනි ස්වභාවික කෙඳිවලින් සාදන ලද බුරුසුවකින් හිස කෙස් පීරනු ලබයි.
වික්ටෝරියානු වංශවත් කාන්තාවන් තමන් ඇඳ සිටින ඇඳුම් මත හිසකෙස් වැටීම වැළැක්වීම සඳහා විසිතුරු උරහිස් වැස්මක් භාවිත කළ බවත්, එම හිසකෙස් පසුකාලීනව ප්‍රයෝජනයට ගැනීම සඳහා එකතු කර තබන බඳුනක් ද ඔවුන් සතුවූ බවත් ගිබ්සන් පවසයි. ඔවුන් එම වැටුණු හිසකෙස් උපයෝගී කරගනිමින් හවරි සකස් කර ගත් අතර එය ඔවුන්ගේ කොණ්ඩාවලට වඩාත් ඝන සහ පිරුණු පෙනුමක් ලබා ගැනීමට උපකාරී වූ බව ද ඔහු පැවසීය.
1898 වසරේදී, එක්සත් ජනපදයේ ඔහායෝහි සිටි අප්‍රිකානු ඇමෙරිකානු සම්භවයක් සහිත කොණ්ඩා මෝස්තර ශිල්පිනියක වූ ලයිඩා නිව්මන් කෘත්‍රිම කෙඳි සහිත හිස පීරන පනාව නිපදවීය. මෙම නව සොයාගැනීමත් සමග හිස පීරන පනා අඩු මිලකට සහ නිෂ්පාදනය පහසු කරමින් කර්මාන්තය තුළ විප්ලවීය වෙනසක් ඇති කළේය. මෙමගින් හිසකෙස් පීරීමේ පුරුද්ද වඩාත් පොදු පිළිවෙතක් බවට පත් වූ අතර ඒ සමග ම වැරදි මත ද සමාජය තුළ වේගයෙන් පැතිරීම සිදුවිය.
හිසකෙස් අතර සැඟවුණු භෞතික විද්‍යාව
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
නිතර හිසකෙස් පීරීමෙන් හිසකෙස් වර්ධනය වැඩි වන බවට වන අදහස පිළිබඳ සලකා බලන්න. 2025 සිදු කළ සමීක්ෂණයකදී ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 46%කට වඩා මෙම ප්‍රකාශය විශ්වාස කළහ. නමුත් ඇමෙරිකාවේ කැලිෆෝනියාහි රූපලාවණ්‍යාගාර හිමිකාරිනියක වන නිකී කෝසින්ට අනුව එය මිථ්‍යාවක් බවයි. හිස පීරන වාර ගණන වැඩි කරගැනීමෙන් ඔබට හිස කෙස් වැඩීම වේගවත් කර ගත නොහැ ඇය පවසයි.
හිස පීරීම මගින් හිසකෙස්වලට සිදුවන හානිය නිශ්චිතව ම පරීක්ෂා කිරීම සඳහා ක්‍රමවේද සකස් කළ විද්‍යාඥයින් පවසන්නේ, පමණට වඩා හිස පීරීම හිසකෙස්වලට හානි සිදුවීමට හේතු විය හැකි මෙන් ම හිසකෙස් ගැලවී යාමට හේතු විය හැකි බවයි.
හිසකෙස් දෙකක් එකිනෙක එති ගැටගැසුණු විට එය ලිහා ගැනීමට කෙස් ඇදීමේදී සිදු වන දේ පෙන්වීමට විද්‍යාඥයන් පිරිසක් පරීක්ෂණයක් කළහ. ඔවුන් සොයාගත්තේ, හිසකෙස් වැඩියෙන් පීරීම නිසා කෙස් අග පැළීමට ඉඩ ඇති කෙස් අභ්‍යන්තරයෙන් ම කැඩී යන බව ය. සෞඛ්‍ය සම්පන්න හිසකෙස් මීට වඩා හොඳින් ඔරොත්තු දුන්න ද, නැවත නැවත එල්ල වන පීඩනය හේතුවෙන් ඒවා ද අවසානයේ පැළී යාමට පටන් ගත් අතර, එහිදී හිසකෙස් කැඩී යාම කෙස්වල පිටත ස්ථරයෙන් ඇතුළත දෙසට වර්ධනය විය.
"හිස කෙස් අග පැළී යාමට ප්‍රධානතම හේතුව මෙය බව අප විශ්වාස කරනවා. මොකද, එවැනි අවස්ථාවකදී හිසකෙස් දැඩි ලෙස නැමීමකට ලක්වන නිසා වැඩි පීඩනයක් ඒ මත ක්‍රියාත්මක වෙනවා," අයර්ලන්තයේ ඩබ්ලින් ට්‍රිනිටි කොලේජ්හි ඉංජිනේරු විද්‍යාව පිළිබඳ මහාචාර්ය සහ මෙම අධ්‍යයනයේ කතුවරයා ද වන ඩේවිඩ් ටේලර් පවසයි. "ඇත්තෙන් ම, අප වැඩි වශයෙන් හිස පීරන විට ඒවා හානියට පත්වීමේ හැකියාව ඉහළ යනවා. නමුත් මෙහිදී හිස පීරන වාර ගණනට වඩා බලපෑම් එල්ල කරන්නේ, ඔබ හිස පීරීම සඳහා යොදවන බලයයි."
හිසකෙස් කැඩී යාම සම්බන්ධයෙන් විවිධ සංඛ්‍යානමය විශ්ලේෂණයන් සිදු කළ TRI Princeton හිසකෙස් පර්යේෂණ ආයතනයේ ට්රෙෆර් එවන්ස් පෙන්වා දෙන්නේ, නිරන්තරයෙන් හිස පීරීම සහ සකස් කිරීම කාලයත් සමග ඊට හානි සිදු කරන බව ය.
නමුත් පරීක්ෂණාගාරයක් තුළ පාලිත පරීක්ෂණයක් මගින් ලබාගන්නා මෙම ප්‍රතිඵල, සැබෑ ලෝකයේදී ඒ අයුරින් ම බලපෑම් එල්ල නොකරන බව ඔහු පවසයි. එවන්ස් පවසන්නේ රසායනික ද්‍රව්‍ය භාවිතය සහ තාපය යොදාගෙන සිදුකරන සත්කාරවලට සාපේක්ෂව, හිස පීරීමෙන් බහුතරයකගේ හිසකෙස්වලට සිදුවන බලපෑම ඉතාමත් අල්ප වන අතර එම නිසා බ්‍රෂ් කිරීම සහ හිස පිරීම මගින් සිදුවන හානිය බහුතරයකට අදාළ නොවන වන අතර, එය හිසකෙස්වලට සිදුවන සමස්ත හානිය අනුව සුළු සිදුවීමකි.
හිස පීරීම තුළ සැගව ඇති වාසි
"මෘදු ලෙස, සැලකිලිමත්ව හිසකෙස් පීරීම හානිකර නැහැ," කෝසින් පවසයි. "ගැටලුව තියෙන්නේ හිස පීරීම නෙවෙයි, ඔබ හිස පීරන්නේ කොහොම ද කියන එක ගැනයි."
නිතිපතා හිසකෙස් පීරීම විශාල, ලෙහා ගැනීමට අපහසු ගැට සහ කෙස් ගුලි ඇතිවීම වළක්වා ගැනීමට උපකාරී වේ. එමගින් අවසානයේ හිස පීරන විට ඇති වන දැඩි ඇදීම, පීඩනය සහ හිසකෙස් කැඩී යාම වළක්වා ගත හැකිය. "සතියක් පමණ බලා සිට එකවර ම දැඩි ලෙස පීරීමට උත්සහ කරනවාට වඩා, දිනකට වරක් හෝ දෙවරක් නිතිපතා හිසකෙස් පීරීමෙන් සිදුවන හානිය ඉතා අවමයි," රූපලාවණ්‍ය නිෂ්පාදන සන්නාමයක් ද ආරම්භ කර ඇති ජෛව රසායන විද්‍යාඥයෙකු වන ජෙයාඩ් රෙනෝල්ඩ්ස් පවසයි. කෙසේ වෙතත්, පරීක්ෂණාගාරයක් තුළ හිසකෙස් පරීක්ෂා කිරීමෙන් එදිනෙදා ජීවිතයේ ස්වභාවික ක්‍රියාවලීන් ප්‍රතිනිර්මාණය කළ නොහැකි බව ඔහු අවධාරණය කරයි.
නිතිපතා හිස පීරීම ගැලවී ගිය හිසකෙස්, මියගිය සමේ කොටස් සහ හිස්කබලේ හා හිස මත රැඳී ඇති අපද්‍රව්‍ය ඉවත් කිරීමට උපකාරී වේ. මේවා එකතු වුවහොත්, හිස්කබල කැසීමකට ලක්විය හැකි තත්ත්වයක් නිර්මාණය විය හැකි ය.
ඔබ හිස පීරිය යුත්තේ කෙසේ ද?
හිසකෙස් පීරීම සඳහා වඩාත් ම සුදුසු ක්‍රමය රඳා පවතින්නේ ඔබේ හිසකෙස්වල ස්වභාවය මත ය. ඇමෙරිකාවේ මයෑමිහි රූපලාවණ්‍යාගාර හිමිකාරිනියක වන නිකොලා ලින්ච් පවසන්නේ ඍජු හෝ රැලි, වළලු සහිත නොවන හිසකෙස් සහිත බොහෝ දෙනෙකු සතියකට අවම වශයෙන්
සතියකට අවම වශයෙන් තුන් වරක්වත් කෙස් පීරිය යුතු බවයි. අවශ්‍ය නම් දිනකට දෙවරක් දක්වා පීරිය හැකි බව ද ඇය පෙන්වා දෙයි.(රෙනෝල්ඩ්ස් සහ කෝසින් ද යෝජනා කරන්නේ දිනකට වරක් හෝ දෙවරක් හිස පීරීම සුදුසු බවයි.)
ඍජු හෝ රැලි සහිත හිසකෙස් ඇති පුද්ගලයින් තම හිසකෙස් තෙතමනය සහිතව පවතින විට පීරීමෙන් වැළකිය යුතු බව ලින්ච් පවසයි. තෙත් හිසකෙස්වල වඩාත් ශක්තිමත් සහ ඝනකම් ඇති බවක් දැනුණ ද, සැබවින් ම ඒවා දුර්වල ය.
මීට හේතුව කුමක් ද? කෙස් ගසක් නිර්මාණය වී ඇත්තේ එහි මධ්‍යම කොටස වන කෝටෙක්ස් සහ වහලක උළු සෙවිලි කර ඇති අයුරින් එකිනෙකට තදින් ඇලී පවතින කෙරටින් නමැති කොටස් එකතුවකින් සැදුම්ලත් කියුටිකල් නම් ස්ථරයෙනි. ඔබේ නියපොතු ද නිර්මාණය වී ඇත්තේ මෙම ද්‍රව්‍යයෙනි. ඍජු හෝ රැලි සහිත හිසකෙස් තෙත් වූ විට මෙම ස්ථරවල දාර ඉහළට එස වී විවෘත වේ. මේ හේතුවෙන් කෙස් ගස ඇදෙනසුලු ස්වභාවයකට පත් වුව ද, එය ඉතා පහසුවෙන් කැඩී යාමට සහ හානියට පත්වීමට ඇති අවස්ථාව ඉහළ ය.
ඉතා රැලි සහිත දඟර ගැසුණු හිසකෙස් ඇති අයට ලබාදෙන උපදෙස මීට විරුද්ධ ය. හිසකෙස් වියළිව පවතින විට පීරීමෙන් වැළකිය යුතු අතර, හිස සෝදන අවස්ථාවලදී පමණක් එහි ගැට ගැසුණු ස්ථාන ලිහා ගත යුතු ය.
කැරලි සහිත සහ දඟර ගැසුණු හිසකෙස්වල පවතින භෞතික ලක්ෂණ, ඍජු සහ රැලි සහිත හිසකෙස්වලට වඩා බෙහෙවින් වෙනස් ය. ඇමෙරිකාවේ ජෝර්ජියාහි ස්පෙල්මන් කෝලේජ්හි රසායන විද්‍යාව සහ ජෛව රසායන විද්‍යාව පිළිබඳ මහාචාර්ය මිෂෙල් ගේන්ස් පවසන්නේ, විද්‍යාත්මක ලේඛනවල මෙන් ම රූපලාවණ්‍ය ක්ෂේත්රය තුළ ද මෙම ලක්ෂණ දීර්ඝ කාලයක් තිස්සේ නොසලකා හැර ඇති බවයි. ව්‍යුහගත හිසකෙස්වල රසායනය පිළිබඳව අධ්‍යයනය කරන ඇය, රැලි සහිත හිසකෙස් වර්ග විද්‍යාත්මකව වර්ගීකරණය කිරීමේ ක්‍රමවේදයක් ද සොයා ගෙන ඇත. එහිදී ඇය සොයා ගත්තේ හිසකෙස් කෙඳි වඩාත් රැලි හෝ කැරලි ගැසෙන විට, ඒවායේ පවතින ඇතැම් රසායනික බන්ධනවල ස්වභාවය වෙනස් වන බව ය. මෙය හිසකෙස් කෙඳිවල ශක්තිමත්භාවය සහ ඒවා පහසුවෙන් කැඩී යාමට ඇති ප්‍රවණතාව ඇතුළු හිසකෙස්වල භෞතික ස්වභාවයට ඍජුව ම බලපායි.
ගේන්ස්ගේ මූලික පරීක්ෂණවලින් ද යෝජනා කරන්නේ රැලි සහිත හිසකෙස්වලට වඩා කැරලි ගැසුණු හිසකෙස්වල පවතින කියුටිකල් ස්ථර කුඩා බවත්, එකිනෙකට ඉතා සමීපව පිහිටා ඇති බවත් සහ ඒවායේ දාර රළු ස්වභාවයක් ගන්නා බවත්ය. මෙයින් අදහස් කරන්නේ එම හිසකෙස්වලට තෙතමනය හොඳින් රඳවා තබා ගත නොහැකි වන අතර, ඒවා ඉතා පහසුවෙන් හානියට පත්වීමට මෙන් ම ගැට ගැසීමට ද ඉඩ ඇති බවයි. නමුත් මෙය තහවුරු කර ගැනීම සඳහා තවදුරටත් පර්යේෂණ සිදු කිරීම අවශ්‍ය වේ.
මීට අමතරව, සමාජයීය විලාසිතා ප්රවණතා හේතුවෙන් බොහෝ විට හිසකෙස් පීරීම සහ බ්‍රෂ් කිරීම, ස්ට්‍රේට් කිරීම, රිලැක්ස් කිරීම මෙන් ම අමතරව හිසකෙස් එක්කර ගැනීම වැනි වෙනස්කම්වලට ලක් කිරීමට සිදුවේ. ගේන්ස් පවසන්නේ මේවා හේතුවෙන් හිසකෙස්වලට සිදුවන හානිය තවත් වැඩිවන බව ය.
එබැවින්, පීරීමේදී හෝ බ්‍රෂ් කිරීමේදී හිසකෙස් අතරින් පනාව වඩාත් පහසුවෙන් ලිස්සා යාමට උපකාරී වන හිසකෙස්වල ගැට ලිහිල් කිරීමට භාවිත කරන නිෂ්පාදන (detangling) යොදා ගනිමින් හිසකෙස් ආරක්ෂා කර ගැනීම සහතික කර ගත යුතු බව ගේන්ස් පවසයි.
අවසාන වශයෙන් ඔබේ හිසකෙස් වර්ගය කුමක් වුවත් සැමවිට ම නිවැරදි පනාවක් හෝ බ්‍රෂ් වර්ගයක් භාවිත කිරීමට වගබලා ගන්න.
ලින්ච් පවසන්නේ ඔබට කැරලි සහිත හෝ දඟර ගැසුණු හිසකෙස් තිබේනම් හෝ ඍජු හෝ රැලි ගැසුණු හිසකෙස් තිබේ නම්, එමෙන් ම ඔබට කොණ්ඩය තෙත්ව තිබියදී පීරා ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා මෘදු, නම්‍යශීලී බ්‍රෂ් එකක් (විශේෂඥයෝ එය "wet brush" ලෙස හඳුන්වති) භාවිත කරන ලෙස ය.
වියළි හිසකෙස් සඳහා, හිස්කබලට හිතකර තෙල් කෙස් ගස දිගේ පහළට ගෙනයාමට උදව් වන මෘදු කෙඳි සහිත බ්‍රෂ් එකක් භාවිත කරන්න. මේවා 'බෝර් බ්‍රිස්ට්ල්' බුරුසු ලෙස හඳුන්වන අතර එයට හේතුව වික්ටෝරියානු යුගයේදී සිසි අධිරාජිණිය ඇගේ කෙස් කළඹ වරකට සිය වතාවක් පීරා ගැනීම සඳහා භාවිත කළ බව කියන පනාව ඌරන්ගේ රෝමවලින් නිපදවා තිබීමයි.
මෙම ක්‍රම දෙකෙහි ම උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට රෙනොල්ඩ්ස් මේ වන විට නව බුරුසුවක් අත්හදා බලමින් සිටියි. එය ප්ලාස්ටික් කූරු සහ බෝර් මාදිලියේ කෙඳිවලින් සකස් කළ දෙමුහුන් බුරුසුවකි. එහි ඇති දිගු ප්ලාස්ටික් කූරු මගින් හිසකෙස් පීරා වෙන් කරන අතර, කොට කෙඳි මගින් හිසකෙස් සුමුදු කර තෙල් ඒකාකාරව බෙදාහැර හිසකෙස් ශක්තිමත් කරයි. "එය කදිම සංකලනයක්," රෙනොල්ඩ්ස් පවසයි.
සියල්ලට ම පසුව ක්‍රිස්තු පූර්ව 3200ට පෙර කාලයට අයත් පැරණි ඊජිප්තු සොහොන් ගැබ්වල තිබුණු ඇත්දළ පනා මෙන් ම වක් වූ අතු කැබලිවලින් තැනූ පනා ඇතුළුව ඉතිහාසය පුරාවට බුරුසු සහ පනා විවිධ හැඩයන්ගෙන් සහ ප්‍රමාණයන්ගෙන් පැමිණ ඇත. අනාගතයේදී, හිසකෙස්වල රසායනික පැතිකඩ සහ භෞතික පැතිකඩ පිළිබඳ අපගේ අවබෝධය තවත් ගැඹුරු වීමත් සමග කෙස් කළඹ ආරක්ෂා කර ගැනීම සඳහා අප නවීන ක්‍රමවේද සොයා ගනු ඇත.






























