පාස්කු ප්‍රහාරය: හිටපු ආරක්ෂක අමාත්‍යංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දුට සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම

වීඩියෝ ශීර්ෂ වැකිය, මරණ දඬුවම නියම වුණු හේමසිරි සහ පූජිත් බන්ධනාගාරය වෙත රැගෙන ගිය අයුරු
    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 15

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම, රාජකාරිය පැහැර හැරීම සහ මනුෂ්‍ය ඝාතනයට අනුබල දීමේ චෝදනාවලට වරදකරුවන් කෙරුණු හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට සහ හිටපු ආරක්ෂක අමාත්‍යංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දුට සිකුරාදා (ජූලි 31) මරණ දඬුවම නියම කෙරිණි.

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහි නඩු තීන්දුව මුලින් ප්‍රකාශයට පත් කෙරුණු අතර ඉන් පැය කිහිපයකට පසු හිටපු ආරක්ෂක අමාත්‍යංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දුට එරෙහි නඩු තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි.

ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත කොළඹ, ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩු විභාග වුණු අතර බහුතර විනිසුරුවරුන්ගේ තීරණය මත ඔවුන්ට මෙලෙස මරණීය දණ්ඩය නියම විය.

හිටපු පොලිස්පතිවරයාට ලැබුණු තීන්දුව

බහුතර තීන්දුව

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ප්‍රියන්ත ලියනගේ සහ තිලකරත්න බණ්ඩාර යන බහුතර විනිසුරුවරුන් තීන්දු කළේ, බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම, රාජකාරිය පැහැර හැරීම සහ මනුෂ්‍ය ඝාතනයට අනුබල දීමේ චෝදනාවලට හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර වරදකරු කරන බව ය.

ඉන් පසුව බහුතර විනිසුරුවරුන්ගේ තීන්දුව ප්‍රකාශයට පත් කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මෙසේ පැවසීය:

"2019 වසරේ අප්‍රේල් මස 21 වන දා කොළඹ ශැංග්‍රිලා, කිංග්ස්බරි, සිනමන් ග්‍රෑන්ඩ් යන හෝටල්වල සහ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය, කටුවාපිටිය දේවස්ථානය සහ මඩකලපුවේ සියෝන් දේවස්ථානය මෙන් ම දෙහිවල ට්‍රොපිකල් ඉන් නැමති ස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ පිපිරවීම් සිදු කිරීම සම්බන්ධයෙන් කලින් බුද්ධි තොරතුරු ලැබී තිබියදී ඒවා වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් රාජකාරිය නොකර හැරීම සහ මිනීමැරීමට ආධාර අනුබල දීම යටතේ මේ විත්තිකරුට එරෙහිව චෝදනා ඉදිරිපත් කර තිබුණා.

"ඒ යටතේ ඔහුට එරෙහිව ඉදිරිපත් කළ චෝදනා සංඛ්‍යාව 855ක්. එම සිද්ධිවලින් පුද්ගලයින් 268 දෙනෙකු මරණයට පත් වී තවත් 586 දෙනෙකු තුවාල ලැබුවා. 2019 වසරේ අප්‍රේල්මස 1 වන දා සහ එම මස 21 වන දා අතර කාලසීමාව තුළ ජාතික තව්හිද් ජමාත් සංවිධානය විසින් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පිහිටි සංචාරක හෝටල්, කිතුණු දේවස්ථානවලට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන බවට තොරතුරු ලැබී තිබුණා.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

"ඒ අවස්ථාවේදී මේ විත්තිකරු රටේ පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළා. රාජ්‍ය බුද්ධි සේවයේ එවකට අධ්‍යක්ෂ වශයෙන් කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මෙම තොරතුරු විත්තිකරු වෙත ලබා දී තිබුණා. මෙවැනි ප්‍රහාරයක් එල්ල වුවහොත් මිනීමැරුම් සිදුවිය හැකි බව හොඳින් ම දනිමින් මෙම විත්තිකරු එය වැළැක්වීමට අවශ්‍ය පියවර ගැනීම නොකර හැර තිබෙනවා. මේ හරහා අපරාධ සිදුකිරීම පහසුවන ආකාරයෙන් ඔහු කටයුතු කර තිබෙනවා."

තවදුරටත් සිය තීන්දුව ප්‍රකාශයට පත්කළ විනිසුරුවරයා මෙසේ ද පැවසීය:

"පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට රාජ්‍ය බුද්ධි සේවයේ එවකට අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන අවස්ථා අටකදී තොරතුරු විත්තිකරු වෙත ලබා දී තිබුණා. මෙලෙස අවස්ථා අටකදී තොරතුරු ලැබුණු බව විත්තිකරු විසින් ද අධිකරණය හමුවේ පිළිගෙන තිබෙනවා. එහෙත් මෙම අපරාධ සිදුවීම වැළැක්වීම සඳහා විත්තිකරු කටයුතු කර නොමැති බව එවකට රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන ලබා දුන් සාක්ෂිවලින් පැහැදිලි වෙනවා.

"සහරාන් හෂීම් ඇතුළු ඔහුගේ අනුගාමිකයින් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පිහිටි සංචාරක හෝටල් කිතුණු දේවස්ථාන ඉලක්ක කරගෙන මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන බවට නිලන්ත ජයවර්ධන වෙත අප්‍රේල් මස 4 වන දා තොරතුරු ලැබී තිබුණා. එම තොරතුර නිලන්ත ජයවර්ධන විසින් විත්තිකරුට ලබා දී තිබුණා.

"ඉන් අනතුරුව අප්‍රේල් මස 16 වන දා කාත්තන්කුඩි ප්‍රදේශයේ යතුරුපැදියක් පුපුරුවා හරිමින් සහරාන් හශීම් ඇතුළු කල්ලිය පාස්කු බෝම්බ ප්‍රහාරයට පෙර පෙරහුරුවක් සිදු කර තිබුණා. එම තොරතුරුත් නිලන්ත ජයවර්ධන විසින් මේ විත්තිකරු වෙත ලබා දී තිබුණා. නඩු විභාගයේදී මෙම විත්තිකරු ප්‍රකාශ කර තිබුණේ නිලන්ත ජයවර්ධන ලබා දුන් තොරතුරු තහවුරු කළ බුද්ධි තොරතුරු නොවන බවයි.

"පාස්කු ප්‍රහාරය එල්ල වීමට පෙර දා එනම් අප්‍රේල් මස 20 වන දා සවස 4.10ත් 4.15ත් කාලය තුළ නිලන්ත ජයවර්ධන විත්තිකරු වෙත වැදගත් තොරතුරක් ලබා දී තිබුණා. සහරාන් හෂීම් සහ ඔහුගේ අනුගාමිකයින් විසින් පසු දා කොළඹ හා ප්‍රදාසන්න ප්‍රදේශවල ස්ථාන 8ක මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කිරීමට සූදානම් වන බවට එම තොරතුරු තුළින් දැනුම් දෙනු ලැබුවා. අප්‍රේල් මස 16 වන දා මෙම කල්ලිය විසින් කාත්තන්කුඩි ප්‍රදේශයේ යතුරුපැදියක් පුපුරුවා හරිමින් පෙරහුරුවක් ද සිදු කරනු ලැබුවා. එම තොරතුරු සහ 20 වන දා ලැබුණු තොරතුරු අතර අඛණ්ඩ සම්බන්ධතාවක් දකින්නට තිබුණා. එම තොරතුර බුද්ධි තොරතුරක් වශයෙන් පිළිගත හැකියි."

විනිසුරුවරයා තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විත්තිකරු රාජකාරිය පැහැර හැර තිබෙන ආකාරය ද පැහැදිලි කළේ ය.

"ප්‍රහාරය එල්ල වූ දාට පෙර දා සවස රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා විසින් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල සංචාරක හෝටල්, කිතුණු දේවස්ථාන ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන ප්‍රහාර මාලාවක් එල්ල වීමට නියමිත බවට තොරතුරු ලබා දී තිබුණා. නමුත් එම තොරතුර වැඩිදියුණු කර අවශ්‍ය කටයුතු කිරීමට පොලිස්පතිවරයා වශයෙන් විත්තිකරු කටයුතු කළ යුතුයි. බුද්ධි අංශවලින් වැඩිදුර උපදෙස් ලබාගෙන ඊට අදාළව කටයුතු කළ යුතුව තිබුණා.

"නමුත් මේ විත්තිකරු පොලිස්පතිවරයා වශයෙන් අදාළ තොරතුරු සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට කිසිදු පියවරක් අරගෙන නෑ. ප්‍රහාරයට පෙර දින සවස ඊට අදාළ තොරතුරු ලැබී තිබුණත් ප්‍රහාරය එල්ලවන තුරු එය වැළැක්වීම සඳහා විත්තිකරු කිසිදු පියවරක් ගත්තේ නැහැ. පොලිසිය තුළ දියුණු සන්නිවේදන ක්‍රමයක් තිබෙනවා. එල්ල වීමට නියමිත ප්‍රහාරය පිළිබඳව සියලු ම පොලිස් ස්ථාන ක්ෂණිකව දැනුවත් කිරීමට විත්තිකරුට හැකියාව තිබුණා.

"පොලිසියේ සිටින සියලු ම නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ සිට පහළට මෙම තොරතුර සන්නිවේදනය කිරීමට හැකියාව තිබුණා. තමන් යටතේ පවතින පොලිස් විශේෂ කාර්ය බළකායේ සහය අරගෙන ප්‍රහාරය වැළැක්වීමට පියවර ගත හැකිව තිබුණා. තමන් යටතේ තිබෙන සන්නද්ධ පොලිස් හමුදාව මෙම ක්‍රියාවලිය සඳහා යෙදවීමට හැකියාව තිබුණා.

"හිටපු නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් ලබා දෙන ලද සාක්ෂියෙන් පැහැදිලි වෙනවා විත්තිකරු එවැනි ක්‍රියාමාර්ග කිසිවක් ගෙන නොතිබූ බව. තමන්ට බුද්ධි තොරතුරු ලැබුණු පසු මේ ප්‍රහාරය වැළැක්වීමට කිසියම් ක්‍රියාමාර්ගයක් ගෙන තිබුණේ නම් එය විත්තිකරු අධිකරණය හමුවේ පැහැදිලි කළ යුතුයි. නමුත් එවැනි පැහැදිලි කිරීමක් කිරීමටත් විත්තිකරු අපොහොසත් වී තිබෙනවා.

"ඔහු විසින් සිදුකර තිබෙන්නේ තමන්ට ලැබුණු බුද්ධි තොරතුරු FNA [සුදුසු කටයුතු සඳහා] යනුවෙන් සටහන් යොදා පහළ නිලධාරීන්ට යොමු කිරීම පමණයි. එය නීතියෙන් ගැලවී යාම සඳහා විත්තිකරු අනුගමනය කළ ක්‍රියාවක් බවත් පැහැදිලි වෙනවා. ඒ වගේ ම ජනාධිපතිවරයා සමග පැවති විරසකයක් නිසා ආරක්ෂක මණ්ඩල රැස්වීම්වලට තමන්ව නොකැඳවූ බව මේ විත්තිකරු ප්‍රකාශ කර තිබුණා.

"එවැනි තත්ත්වයක් තිබී තම රාජකාරි නිසි ලෙස ඉටු කර ගැනීමට නොහැකි තත්ත්වයක් තිබුණේ නම් විත්තිකරු සිදු කළ යුතුව තිබුණේ තනතුරෙන් ඉල්ලා අස්වීමයි. එසේ නොකිරීමෙන් පැහැදිලි වෙනවා පොලිස්පතිවරයා වශයෙන් රාජකාරී ඉටු කිරීමට විත්තිකරුට කිසිදු බාධාවක් නොතිබූ බවට. ඒ අනුව මෙම අපරාධය සිදුවීම වැළැක්වීම සඳහා ක්‍රියාමාර්ග ගැනීම විත්තිකරු විසින් නොකර හැර තිබෙන බව පැහැදිලියි."

එමෙන් ම, මෙම ක්‍රියාව හරහා මිනිස් ඝාතන සිදු කිරීම සඳහා විත්තිකරු අනුබල දීමක් සිදුකර ඇති බව ද විනිසුරුවරයා සඳහන් කළේ ය.

ඉන් අනතුරුව මෙම නොකර හැරීම තුළ විත්තිකරුගේ මානසික අංගයක් [චේතනාවක්] තිබූ බව ද විනිසුරුවරයා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පැවසීය.

"පාස්කු ඉරුදින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ලවීමට නියමිත බවට රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා ඊට පෙරදින තොරතුරු ලබා දී තිබියදීත් එය වැළැක්වීමට විත්තිකරු කිසිදු සැලකිල්ලක් නොදක්වා ඇති බව පැහැදිලියි. එම තොරතුරු දැනුම්දුන් අවස්ථාවේදී විත්තිකරු නිලන්ත ජයවර්ධනයට ප්‍රකාශ කර තිබෙන්නේ, 'නන්දනට කියන්න... හරි නිලන්ත බලලා කියන්න... නිලන්ත ඔයා රවීට කියන්න...' යනාදී වශයෙන් පිළිතුරු දීම පමණයි.

"එය විත්තිකරු විසින් චේතනාන්විතව නොකර හැරීමක් සිදු කර තිබෙන බවට සාක්ෂි සපයයි. විත්තිකරු පළපුරුදු පොලිස් නිලධාරියෙක්. ඔහු යුදමය කලාපවලත් සේවය කරලා තියෙනවා. එම නිසා කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ස්ථාන අටක මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල වුණොත් ඒ තුළින් සිදුවිය හැකි ජීවිත හානිය පිළිබඳව ඔහු නොදන්නවා විය නොහැකියි.

"ඒ පිළිබඳව ඔහුට හොඳ අවබෝධයක් තිබෙන බව විශ්වාස කළ හැකියි. එසේ තිබියදී තමන්ට ලැබුණු බුද්ධි තොරතුරු අනුව ක්‍රියාත්මක නොවී නොසැලකිලිමත් ලෙස අදාළ ප්‍රහාරය වැළැක්වීමට ක්‍රියාමාර්ග ගැනීම නොකර හැරීම තුළින් ඔහු මිනීමැරීම සඳහා ආධාර අනුබල දී තිබෙනවා.

"විත්තිකරු තමන්ට ලැබුණු තොරතුර බුද්ධි තොරතුරක් නොවන බව ප්‍රකාශ කර තිබුණා. එය පිළිගත නොහැකියි. එය නිශ්චිත බුද්ධි තොරතුරක් බවට අධිකරණයට ඉදිරිපත් වූ සාක්ෂිවලින් පෙනී ගොස් තිබෙනවා."

ඒ අනුව, විත්තිකරුට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී ඇති බවත් ඒ අනුව, රාජකාරිය නොකර හැරීම සහ මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීම යන චෝදනාවලට ඔහු වරදකරු කරන බව ත් බහුතර විනිසුරු මඩුල්ල සිය තීන්දුවේ සඳහන් කළේ ය.

සුළුතර තීන්දුව

ඉන් අනතුරුව සුළුතර තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු විරාජ් වීරසූරිය මෙසේ පැවසීය:

"මෙම විත්තිකරුට ලැබුණ තොරතුර තහවුරු කළ තොරතුරක් නොවන බව සාක්ෂිවලින් පෙනී යනවා. අසම්පූර්ණ විමර්ශනයකින් පසුව මෙම විත්තිකරු අත්අඩංගුවට ගෙන නඩු පවරා තිබෙන බව පැහැදිලියි. දේශපාලන හා ආගමික වුවමනාවන් මත නීතිපතිවරයාට කටයුතු කළ නොහැකියි. අනීතික ආකාරයෙන් කටයුතු කිරීමට ද නීතිපතිවරයාට හැකියාවක් නැහැ.

"මෙම නඩු පැවරීම සිදුකළ නීතිපතිවරයා විශ්‍රාම යාමට ආසන්නයේ ප්‍රකාශයක් සිදුකර තිබුණා. මෙම නඩු පැවරීමේ දෝෂ පවතින බව ඔහු සිදු කළ එම ප්‍රකාශයෙන් ගම්‍ය වුණා. මෙවැනි ක්‍රියා හරහා නීතිය අපගමනය වීමේ අවදානමක් තිබෙනවා. නීතියේ ආධිපත්‍ය බිඳ වැටී මහජන විශ්වාසය බිඳී යාමේ අනතුරක් මේ තුළින් ඇති විය හැකියි. පක්ෂ ග්‍රාහීභාවයකින් තොරව නඩු පැවරීම නීතිපතිවරයාගේ කාර්යභාරය විය යුතුයි. මෙවැනි කටයුතුවලට අධිකරණය අතකොලුවක් නොකර ගත යුතුයි."

විනිසුරු විරාජ් වීරසූරිය තවදුරටත් මෙසේ ද පැවසීය:

"ඉදිරිපත් වූ සාක්ෂි දෙස බැලීමේදී ඒවා චෝදනා ඔප්පු කිරීමට තරම් ප්‍රමාණවත් නෑ. ඒ තුළින් පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙන චෝදනාව සම්බන්ධයෙන් සාධාරණ සැකයක් මතු කරනවා. මේ සාක්ෂි පිළිගන්න බෑ."

ඒ අනුව මෙම විත්තිකරු නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කරන බව ඔහු සිය තීන්දුවේ සඳහන් කළේ ය.

පූජිත් ජයසුන්දරගේ නීතිඥවරයාගේ ප්‍රකාශය

ඉන් අනතුරුව වරදකරු කෙරුණු පූජිත් ජයසුන්දරට දඬුවම් ලිහිල් කිරීම සඳහා කරුණු තිබේ නම් ඉදිරිපත් කරන ලෙස විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු දැනුම් දුන්හ.

එම අවස්ථාවේදී විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රොෂාන් දෙහිවල අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙසේ පැවසීය:

"ස්වාමීනී... මෙම විත්තිකරු අවුරුදු 35ක් පොලිස් සේවයේ සිටි පුද්ගලයෙක්. මේ සිද්ධියට වගකිවයුත්තේ මේ පුද්ගලයා පමණක් නෙවෙයි. තවත් විශාල නිලධාරීන් පිරිසක් සිටිනවා. මේ සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුවකට අනුව ඔහු රුපියල් ලක්ෂ 750ක මුදලක් වන්දි වශයෙන් ගෙව්වා.

"ඔහුට එරෙහිව තවත් සිවිල් නඩු 299ක් පමණ තිබෙනවා. ඔහු හම්බ කරපු සියලු දේ වැය කරන්නේ නඩුවලටයි. ඔහුට වයස අවුරුදු 66යි. ඔහුට හෘද රෝගී තත්ත්වයක් තිබෙනවා. දණිස් ආශ්‍රිත රෝගී තත්ත්වයකුත් තිබෙනවා."

මෙම කරුණු සැලකිල්ලට ගෙන විත්තිකරුට ලිහිල් දඬුවමක් නියම කරන ලෙස නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් දීලීප පීරිස්

ඉන් අනතුරුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දීලීප පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉල්ලා සිටියේ; "ස්වාමීනී... විත්තිකරු සිදු කර තිබෙන්නේ ඉතා බරපතළ වරදක්. එය දැන් අධිකරණය හමුවේ ඔප්පු වී තිබෙනවා. ඒ අනුව දන්ඩ නීති සංග්‍රහයේ 300 වන වගන්තිය යටතේ බන්ධනාගාරගත වන ආකාරයේ උපරිම දඬුවම් නියම කරන්න," යනුවෙනි.

පූජිත් ජයසුන්දරගේ ප්‍රකාශය

ඉන් අනතුරුව මනුෂ්‍ය ඝාතනයට ආධාර අනුබල දීමේ චෝදනාවලට මරණීය දණ්ඩනය නියම කිරීමට පෙර කීමට යමක් කීමට තිබේදැයි බහුතර විනිසුරුවරු විත්තිකාර පූජිත් ජයසුන්දරගෙන් විමසූහ.

එම අවස්ථාවේදී සංවේදී වූ විත්තිකාර පූජිත් ජයසුන්දර:

"ස්වාමීනී... මම හිතලා කිසි ම මිනී මැරීමක් කරලා නෑ. හැමදා ම මහජන යහපත වෙනුවෙන් තමයි මම කටයුතු කළේ. මං මේ කටයුතු සියල්ල කළේ නිලධාරීන් සමූහයක් එක්කයි. දැන් සියලු දෙනා ම අතෑරලා, මාව විතරක් වැරදිකාරයා කරලා තියෙනවා.

"මං අසරණ වුණා. රැකියාව නැති වුණා. ඉන් පස්සේ මම ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් දැම්මා මගේ රස්සාව අහිමි කිරීම ගැන. අවුරුදු හතරකින් පස්සේ මගේ නීතිඥවරයා කිව්වා වැඩක් වෙන්නේ නෑ, ඒක ඉල්ලා අස්කර ගන්න කියලා.

"කිසි ම දවසක හිතාමතා මම කාටවත් වරදක් කරලා නෑ. මේක කරුමේ පළ දීමක් හැටියටයි මට හිතෙන්නේ. ඒ නිසා මෙම කරුණු අනුකම්පාවෙන් සලකා බලන්න," ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

අවසන් තීන්දුව

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු සිය නියෝගය මෙලෙස ප්‍රකාශයට පත් කළහ:

"පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට කලින් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගෙන රාජකාරිය නොකර හැරීම හේතුවෙන් පුද්ගලයින් 268 දෙනෙකු මරණයට පත් වී තවත් පුද්ගලයින් 586 දෙනෙකුත් තුවාල ලබා තිබෙනවා.

"අදාළ කාලය තුළ රටේ පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළේ මේ විත්තිකරු. පුරවැසියන් ආරක්ෂා කර ගැනීමේ සහ මහජන ආරක්ෂාව තහවුරු කිරීමේ වගකීම පැවරී ඇත්තේ ඔහු වෙතයි. නමුත් 2019 වසරේ අප්‍රේල් මස 20 වන දා සවස එවකට රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන පාස්කු ඉරු දින කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පිහිටි කිතුණු දේවස්ථාන, සංචාරක හෝටල්වලට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු මෙම විත්තිකරු වෙත ලබාදී තිබුණා.

"එහෙත් එම තත්ත්වය වළක්වා ගැනීමට ඔහු කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන තිබුණේ නැහැ. අපරාධ වළක්වා ගැනීම සඳහා රාජ්‍යය විසින් පත්කළ නිලධාරියා වශයෙන් ඔහු තමන්ගේ වගකීම් පැහැර තිබෙනවා."

ඒ අනුව, විත්තිකරුට එල්ල කර තිබූ චෝදනා 855න් චෝදනා 854කට ඔහු වරදකරු කරන බව බහුතර විනිසුරු මඩුල්ල තීන්දු කළේ ය.

විත්තිකරු සිදුකර තිබෙන වරදේ ස්වභාවය සැලකිල්ලට ගෙන ඔහුට මරණීය දණ්ඩනය නියම කරන බව ද අවසානයේදී විනිසුරු මඩුල්ල නියෝග කළේ ය.

හිටපු ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයාට ලැබුණු තීන්දුව

බහුතර තීන්දුව

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට ද කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු විසින් මරණීය දණ්ඩනය නියම කරන ලද අතර එම තීන්දුව ප්‍රකාශයට කරමින් සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මෙසේ පැවසීය:

"පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට විදේශීය බුද්ධි සේවයකින් එවකට රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන වෙත තොරතුරු ලැබී තිබුණා. ඔහු එම තොරතුරු විත්තිකරුට දැනුම් දී තිබුණා. ඉන් අනතුරුව පාස්කු ඉරුදින ප්‍රහාරයට පෙර එනම්, අප්‍රේල් මස 16 වන දා කාත්තන්කුඩි ප්‍රදේශයේ යතුරුපැදි පුපුරුවා හැරීමක් සිදුවුණා.

"එය පාස්කු ප්‍රහාරයට පෙර සිදු කළ පෙරහුරුවක් වශයෙන් පසුව හඳුනාගෙන තිබුණා. පසුව ඒ සම්බන්ධ තොරතුරු සහ ඡායාරූපත් රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලධාරීන් විසින් මේ විත්තිකරු වෙත යොමු කර තිබුණා.

"2017 වසරේ අප්‍රේල් මස 20 වන දා සවස 5.53ට පමණ සහ සහරාන් හෂීම් සහ ඔහුගේ අනුගාමිකයින් විසින් ඉදිරි පැය 24 තුළ කොළඹ හා ප්‍රදාසන්න ප්‍රදේශවල මරාගෙන මැරෙන ප්‍රහාර අටක් එල්ල කිරීමට සූදානම් වන බවට නිලන්ත ජයවර්ධන වෙත තොරතුරු ලැබී තිබුණා. පසුව එම තොරතුර නිලන්ත ජයවර්ධන විසින් වහා ම මේ විත්තිකරු වෙත ලබා දෙනු ලැබුවා.

"ඒ අවස්ථාවේදී විත්තිකරු ආරක්ෂක ලේකම්වරයා වශයෙන් සෑහීමකට පත්විය හැකි කිසිදු පියවරක් අරගෙන නැහැ. කිසි ම සුපරීක්ෂණයක් කර නැහැ. එම තොරතුර ලැබුණු පසු ඔහු පොලිස්පතිවරයාට දැනුම් දී තිබෙන්නේ , 'ඔයාගේ පැත්තෙන් කරන්න පුළුවන් දේ කරගෙන යන්න,' කීම පමණයි.

"මේ තොරතුර ලැබිලා පැය දොළහකට පමණ පසුව තමයි ප්‍රහාරය එල්ල වුණේ. එම කාලසීමාව තුළ එය වැළැක්වීම සඳහා විත්තිකරුට බුද්ධි අංශ සමග විශේෂ සාකච්ඡාවක් පවත්වා අවශ්‍ය පියවර ගැනීමට හැකියාව තිබුණා. ත්‍රිවිධ හමුදාව සමග සාකච්ඡා කර එම තත්ත්වය මැඩ පැවැත්වීමට පියවර ගන්න පුළුවන්කමක් තිබුණා.

"මේ අනතුර පිළිබඳව අදාළ අංශ දැනුවත් කරන්න කියලා අවශ්‍ය නියෝග නිකුත් කරන්න තිබුණා. නමුත් මේ විත්තිකරු ආරක්ෂක ලේකම් වශයෙන් එවැනි වගකිවයුතු පියවර කිසිවක් අරගෙන නැහැ. මේ නඩුවේදී ලංකා සංචාරක මණ්ඩලයේ නිලධාරියෙක් සාක්ෂි ලබා දුන්නා. ඔහුගේ සාක්ෂියේ සඳහන් කරලා තිබුණා, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට කිසිදු සංචාරක හෝටලයක් දැනුවත්කර නොතිබූ බවට.

"ඒ වගේ ම ප්‍රහාරයට ලක් වූ කටුවාපිටිය දේවස්ථානයේ පියතුමන් සාක්කි දුන්නා. ඔහු සඳහන් කර සිටියා මෙම ප්‍රහාරය ගැන තම දේවස්ථානයට කලින් දැනුම් දීමක් සිදු නොකළ බවට.

"ප්‍රහාරයට පෙර දින සවස ලබා දුන් තොරතුර විශ්වාසනීය දැයි මේ විත්තිකරු රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයාගෙන් විමසා තිබෙනවා. 'ඔව් සර්, මේක විශ්වාස කරන්න පුළුවන් තොරතුරක්. ඒ අයගෙන් මීට පෙරත් මේ වගේ තොරතුරු ලැබිලා තිබෙනවා,' යනුවෙන් රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන ඊට පිළිතුරු දෙමින් සඳහන් කළ බව සාක්ෂිවලින් අනාවරණය වුණා."

එවැනි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට විත්තිකරු කටයුතු කර නැති බවත් ඒ තුළින් ඔහුගේ රාජකාරිය නොකර හැරීම මනාව ඔප්පු වන බවත් විනිසුරුවරු සඳහන් කළහ.

ඉන් අනතුරුව විත්තිකරුට මෙම වැරදි සිදු කිරීම සඳහා මානසික අංගයක් [චේතනාවක්] තිබූ බව ද බහුතර විනිසුරුවරු තම තීන්දුවේ සඳහන් කළහ.

"මෙම විත්තිකරු පාස්කු ප්‍රහාරයෙන් පසුව මාධ්‍යවලට ප්‍රකාශයක් කර තිබුණා. ඒ තුළින් ඔහු ප්‍රකාශ කර තිබුණා, 'ගහනවා කියලා තොරතුරු ලැබිල තිබුණා. ඒත් මෙහෙම ගහයි කියලා අපි හිතුවේ නෑ,' යනුවෙන්.

"මෙම ප්‍රකාශය තුළින් මනාව පැහැදිලි වෙනවා මේ විත්තිකරු පාස්කු ඉරිදා ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට කලින් තොරතුරු දැනුවත්ව සිටි බවට. මෙම විත්තිකරු ප්‍රහාරය එල්ල වීමෙන් පසුව දුරකතනයෙන් ආරක්ෂක අමාත්‍යංශ නිලධාරීන්ට කතා කර රැස්වීමක් කරන්න සූදානම් වුණා.

"ප්‍රහාරයෙන් පසුව මෙවැනි රැස්වීමක් කිරීමට විත්තිකරුට හැකියාවක් තිබුණේ නම් එවැනි දෙයක් ප්‍රහාරය එල්ල කිරීමට පෙර ඔහුට කරන්න බැරි වුණේ ඇයි? මෙම ක්‍රියාව තුළින් විත්තිකරුගේ අධික නොසැලකිලිමත්භාවය පමණක් නොව ඉන් ඔබ්බට ගිය තත්ත්වයක් නිරූපණය වෙනවා.

"පාස්කු ප්‍රහාරය එල්ල වූ දින කතෝලික දේවස්ථානවලට වෙන උත්සවවලට ලබා දෙන ආරක්ෂාවවත් ලබා දී නොතිබූ බව සාක්ෂිවලින් පෙනී ගොස් තිබෙනවා. ජනාධිපතිවරයා හා චූදිතයා අතර කිසියම් පරස්පර තත්ත්වයක් තිබුණේ නම්, එය පැහැදිලි කළ යුත්තේ විත්තිකරුයි. නමුත් ඔහු එය සිදුකර නෑ.

"පුරවැසියා ආරක්ෂා කිරීමේ වගකීම ආරක්ෂක අමාත්‍යංශයට පැවරී තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාට එම වගකීමෙන් මිදෙන්න බැහැ. විත්තිකරු සඳහන් කරන ආකාරයට ආරක්ෂක ලේකම් කියන්නේ හුදු පරිපාලන තනතුරක් නෙවෙයි. ආරක්ෂක අමාත්‍යවරයා සමග සහයෝගයෙන් කටයුතු කළ නොහැකි තත්ත්වයක් තිබුණේ නම් විත්තිකරුට සිදු කළ යුතුව තිබුණේ ඉල්ලා අස්වීමයි.

"මෙවැනි ව්‍යසනයක් ඇතිවීමට ඉඩ සැලසීම නොවේ. එවැනි ප්‍රහාරයක් එල්ල වීම පිළිබඳ තොරතුරු ලැබී තිබෙන අවස්ථාවක ඒ පිළිබඳව ආරක්ෂක අමාත්‍යවරයා සමග සම්බන්ධීකරණය කිරීමේ වගකීම පැවරී තිබුණේ මේ විත්තිකරුටයි. ඔහු එය ඉටු කර නැහැ."

මෙම නොකර හැරීම තුළින් ඔහු මනුෂ්‍ය ඝාතනයට ආධාර අනුබල දීමක් සිදුකර තිබේ යැයි සඳහන් කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු, ඒ අනුව ඔහු අදාළ චෝදනාවලට වරදකරු කරන බව සඳහන් කළහ.

සුළුතර තීන්දුව

නමුත් සුළුතර තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු විරාජ් වීරසූරිය සඳහන් කළේ, "මේ විත්තිකරුට එරෙහි චෝදනා සාධාරණ සැකයෙන් ඔබට ඔප්පු වී නැහැ. නඩු විභාගයේදී ඉදිරිපත් වූ සාක්ෂිවලින් සාධාරණ සැකයක් මතු වෙනවා," යනුවෙනි.

ඒ අනුව, විත්තිකරු නිදොස් කොට නිදහස් කරන ලෙස නියෝග කරන බව ඔහු පැවසීය.

ඉන් අනතුරුව විත්තිකරුට දඬුවම් ලිහිල් කිරීම සඳහා කරුණු තීබේ නම් ඉදිරිපත් කරන ලෙස විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු විසින් දැනුම් දෙනු ලැබුවා.

හේමසිරි ප්‍රනාන්දුගේ නීතිඥවරයාගේ ප්‍රකාශය

ඒ අනුව, විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ චමින්ද අතුකෝරළ අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙසේ පැවසීය:

"ස්වාමීනී... විත්තිකරු වයස අවුරුදු 76ක පුද්ගලයෙක්. එම කාලය තුළ ඔහු මහජන බැංකුව, ශ්‍රී ලංකා ටෙලිකම් ආයතනය වැනි ආයතනවල සභාපති වශයෙන් කටයුතු කරලා තිබෙනවා. එම ආයතනවල අභිවෘද්ධිය වෙනුවෙන් විශාල සේවයක් කර තිබෙනවා.

"ඊට අමතරව ඔහු ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළා. මෙරට ක්‍රීඩාවටත් ඔහු විශාල මෙහෙවරක් කළා. පාස්කු සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් තීන්දුවකට අනුව ඔහු වන්දි ගෙවීම් සිදුකර තිබෙනවා.

"තවත් සිවිල් නඩු ගණනාවකටත් ඔහු මුහුණ දී තිබෙනවා. එපමණක් නෙවෙයි මෙම නඩුව කඩිනමින් අවසන් කරන්න ඔහු විශාල සහයෝගයක් අධිකරණයට ලබා දුන්නා. ඔහු කාරණා ගණනාවක් සම්බන්ධයෙන් පිළිගැනීම් සිදුකිරීම නිසා විශාල සාක්ෂි සංඛ්‍යාවක් මෙහෙයවීමට අධිකරණයට අවශ්‍ය වුණේ නැහැ.

"ඔහු මෑතකදී හෘද සැත්කමක් කලා. ඔහුගේ වෛද්‍යවරයා උපදෙස් දීල තිබුණා මෙඩිකල් එකක් දාලා නඩුවට නොගිහින් ඉන්න කියලා. ඔහු එහෙම කළේ නැහැ. ඔහුට අවශ්‍ය වුණේ මේ නඩුව ඉක්මනින් අවසන් කරගන්න."

එම නිසා විත්තිකරුට ලිහිල් දඬුවමක් නියම කරන ලෙස නීතිඥ චමින්ද අතකෝරළ අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

හේමසිරි ප්‍රනාන්දුගේ ප්‍රකාශය

ඉන් අනතුරුව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 280 වන වගන්තිය යටතේ මරණීය දණ්ඩනය නියම කිරීමට පෙර විත්තිකරුට යමක් කීමට තිබේදැයි බහුතර විනිසුරුවරු විමසා සිටියහ.

ඒ අනුව සිය ප්‍රකාශය ඉදිරිපත් කළ විත්තිකාර හේමසිරි ප්‍රනාන්දු මෙසේ පැවසීය:

"සභාපති විනිසුරුතුමා ඉදිරිපත් කළ කරුණු කෙරෙහි මම එකඟ වෙන්නේ නෑ. ස්වාමීනී... ආරක්ෂක ලේකම් කියලා තනතුරක් නෑ. ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් තනතුර තමයි තිබෙන්නේ. මම කටයුතු කළේ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් තනතුරේ.

"ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කියන්නේ අනිත් අමාත්‍යංශවල ලේකම්ලා වගේ ම යි. වෙනත් විශේෂ බලතල නෑ. අමාත්‍යවරයාගේ අනුදැනුම මත කටයුතු කිරීමටයි මට සිදුවන්නේ.

"සිද්ධිය වූ වකවානුවේ ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විදේශගතව සිටියා. ඒ වෙනුවෙන් වැඩ බැලීමට ඇමතිවරයෙකු ඔහු පත් කළේ නෑ. ඇමතිවරයා නැති අවස්ථාවක ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාගේ කටයුතු අක්‍රිය වෙනවා. ආරක්ෂක අමාත්‍යංශය කියන්නේ පුදුම අමාත්‍යංශයක්.

"එහි ලේකම්වරයා හුඟක් වෙලාවල්වල අසරණ වෙනවා. ආරක්ෂක අමාත්‍යංශය යටතේ ආයතන විසි ගාණක් තිබෙනවා. රාජ්‍ය බුද්ධි සේවයේ එවකට අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන එවකට ජනාධිපතිවරයා සමග සමීපව කටයුතු කළා. මා ආරක්ෂක ලේකම් වශයෙන් පත්වුණාට පස්සේ මම ජනාධිපතිගෙන් ඇහුවා බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් කටයුතු කරන්නේ කොහොමද කියලා.

"ඒ අවස්ථාවේදී ජනාධිපතිවරයා කියා සිටියා බුද්ධි තොරතුරු මට නිලන්ත ජයවර්ධන දැනුම් දෙනවා. ඔයා පරිපාලන වැඩ ටික කරගෙන ඉන්න කියලා. ඒ අනුව මම කළේ අමාත්‍යංශයේ පරිපාලන රාජකාරි ඉටු කිරීම පමණයි.

"ඒ අනුව අවුරුදු හතරක කාල සීමාව තුළ බුද්ධි තොරතුරු ජනාධිපතිවරයාට දැනුම් දීම සිදු කළේ නිලන්ත ජයවර්ධන විසින්. ප්‍රහාරයට පෙර දා නිලන්ත ජයවර්ධනගෙන් තමන්ට කිසිදු ලේඛනයක් ලැබුණේ තිබුණේ නෑ.

"WhatsApp පණිවිඩ දෙකක් පමණයි ලැබුණේ. අප්‍රේල් මස 9 වන දා බුද්ධි සමාලෝචන රැස්වීම තිබුණා. මුලින් ම කරුණු ඉදිරිපත් කරන්නේ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා. එදින පැවති රැස්වීමේදී නිලන්ත ජයවර්ධන මේ ප්‍රහාරය ගැන කිසි ම තොරතුරක් රැස්වීමට ඉදිරිපත් කළේ නෑ. එහෙම ඉදිරිපත් කළා නම් එතන යුද්ධ හමුදාව, නාවික හමුදාව වගේ ආයතනවල බුද්ධි ප්‍රධානීනුත් හිටියා. මේ බරපතළ කාරණය ඔවුන්ගේත් අවධානයට ලක්වෙනවා.

"නමුත් නිලන්ත ජයවර්ධන එසේ කළේ නෑ. මේ ගැන ඇහුවා ම ඔහු කියා සිටියේ ඒ තොරතුර ගැන හොයාගෙන යනවා, පසුව මම පසුව වාර්තාවක් ඉදිරිපත් කරන්නම් කියලා. එහෙම කිව්වට පස්සේ ස්වාමීනී, ඒ ගැන වාර්තාවක් ඉදිරිපත් කළ යුත්තේ ඔහුයි. ලේකම් හැටියට මම ඕක හොයා බලන්නේ නෑ.

"අප්‍රේල් මස 16 වන දා කාන්තන්කුඩි ප්‍රදේශයේ සිදුවූ පිපිරීමක් ගැන නිලන්ත මට ඡායාරූප එවලා තිබුණා. අපේ ටීම් එකක් නැගෙනහිරට ගිහිල්ලා පරීක්ෂණ කරනවා කියලත් ඔහු දැනුම් දුන්නා. මෙම තොරතුරු ලැබී තිබු අප්‍රේල් මස 1 වන දා හා 16 වන දා අතර කාල සීමාව තුළ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ හිටියා.

"නමුත් නිලන්ත ජයවර්ධන එම තොරතුරු ජනාධිපතිවරයාට දැනුම් දීමට හැකියාව තිබුණා. මේ ප්‍රහාර ගැන නිලන්ත ජයවර්ධනට තොරතුරු ඇවිල්ලා තිබුණේ. ඔහු ඒ ගැන දැන සිටියා. ඔහු ඒක හිතාමතා ම සැඟෙව්වා. ඔහු මේ තොරතුරු හත් වතාවක් සැඟවීමට කටයුතු කළා. රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා මේ ආකාරයෙන් කටයුතු කරනවා නම්, මට එහි වගකීම දාන්නේ කොහොම ද?

"ප්‍රහාරයට පෙර දින සවස නිලන්ත ජයවර්ධන මට කතා කරලා එල්ලවීමට නියමිතව තිබූ ප්‍රහාර පිළිබඳ තොරතුරු දැනුම් දුන්නා. මං ඇහුවා විශ්වාස ද කියලා. ඔහු පැවසුවා මේ ගැන අපි හොයාගෙන යනවා වාර්තා කරන්නම් කියලා. නිලන්ත ජයවර්ධන යටතේ රට පුරා බුද්ධි නිලධාරීන් 1500ක් පමණ සිටිනවා. ඔවුන් ලවා මේක ගැන පරීක්ෂා කරලා තහවුරු කරගන්න තිබුණා. නමුත් ඔහු එසේ කළේ නැහැ.

"ස්වාමීනී... මට හමුදාව කැඳවන්න බලය නෑ. ඇඳිරි නීතිය දාන්නවත් බලයක් තිබුණේ නෑ. සභාපති විනිසුරුතුමා මගේ තනතුරේ හිටියා නම් ඔබතුමත් මේ ටික ම තමයි කරන්නේ. වැඩබලන ආරක්ෂක ඇමති හැටියට රුවන් විජේවර්ධන පත් කරලා තිබුණා නම් අපිට යමක් කරන්න තිබුණා."

සිය ප්‍රකාශය ඉදිරිපත් කරමින් විත්තිකාර හේමසිරි ප්‍රනාන්දු තවදුරටත් මෙසේ පැවසීය:

"ස්වාමීනී... මේ ප්‍රහාරයෙන් පස්සේ ජනාධිපතිවරයා විනිසුරු විජිත් මළල්ගොඩ කමිටුව පත් කළා. නිලන්ත ජයවර්ධන ඉදිරිපත් කළ කරුණු මතයි එම කමිටුව තීරණ ගත්තේ. මේ කමිටුවට කිසි ම නීතිමය බලයක් නෑ.

"මේ කමිටුව නිලධාරීන් 14ක් ගැන චෝදනා කරලා තිබුණා. ජනාධිපතිවරයා විසින් නීතිපතිවරයාට කියලා තිබුණා අනිත් අයව අතෑරලා මටයි පොලිස්පතිටයි පමණක් පියවර ගන්න කියලා. මම නීතිපති දෙපාර්තමේන්තුවට දොස් කියන්නේ නෑ. ඔවුන් ඉන්නේ නඩු දාන්න. ඉන් පස්සේ මාව රක්ෂිත බන්ධනාගාරගත කළා.

"ප්‍රහාරයෙන් පසුව අප්‍රේල් මස 22 වන දා ජනාධිපතිවරයා ජාතිය අමතමින් ප්‍රකාශයක් කරමින් කියා සිටියා, මේ ප්‍රහාරයට මමයි පොලිස්පතියි වගකිවයුතු බවට. මේක සාහසික ප්‍රකාශයක් ස්වාමීනි. උපරිම දඬුවම් දෙනවා කියලත් ජනාධිපතිවරයා කිව්වා. ඒකෙ අවසන් ප්‍රතිඵලය තමයි මේ නඩු තීන්දුව. මේ නඩු තීන්දුව ගැන සතුටු වෙන දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් නිලන්ත ජයවර්ධන. අනිත් කෙනා තමයි මෛත්‍රීපාල සිරිසේන. නීතිපති දෙපාර්තමේන්තුව මුල සිට නිලන්ත ජයවර්ධන ආරක්ෂා කළා. මේ ගැන සතුටු වෙන්න පුළුවන් ඕලෙවල් පාස් නැති මිනිහෙකුට විතරයි. ස්වාමීනී.

"මම මෑතකදී සැත්කමක් කළා. එහි තුවාල හොඳ වෙලා නෑ. ස්වාමීනී... මම වයස අවුරුදු 76ක තැනැත්තෙක්. මාව බන්ධනාගාරගත කළත් ලැබෙන්න ඕන ප්‍රතිකාර ඒ ආකාරයෙන් ම ලබා දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. මොකද? එල්ලන්නත් මං ජීවත් වෙලා ඉන්න එපැයි. ඉතිහාසය කව දා හරි මාව නිදහස් කරයි," යනුවෙන් ප්‍රකාශ කළ විත්තිකරු තමන්ට ලිහිල් දඬුවමක් නියම කරන ලෙස ඉල්ලා සිටියේ ය.

අවසන් තීන්දුව

ඉන් අනතුරුව බහුතර විනිසුරුවරුන්ගේ තීන්දුව ප්‍රකාශයට පත් කළ සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මෙසේ පැවසීය:

"පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ වගකීම ආරක්ෂක අමාත්‍යංශයට පැවරී තිබෙනවා. මෙම විත්තිකරු ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා. මෙම අපරාධ වළක්වා ගැනීම සඳහා රාජ්‍යයෙන් පත් කළ නිලධාරියා වශයෙන් ඔහුට වගකීමක් තිබුණා. ඒ සඳහා ආරක්ෂක ලේකම්වරයාටත් වගකීමක් තිබෙනවා.

"ප්‍රහාරයක් පිළිබඳ බුද්ධි තොරතුරු ලැබී තිබියදී එය වළක්වා ගැනීමට පියවර නොගැනීම තුළින් ඔහු බරපතළ වරදක් සිදු කර තිබෙනවා. ඒ අනුව විත්තිකරුට එල්ල කර තිබූ චෝදනා 855න් චෝදනා 854 කට ඔහු වරදකරු කරනවා."

එම වරදේ බරපතළභාවය සැලකිල්ලට ගෙන ඔහුට මරණීය දණ්ඩනය නියම කරන බව ද බහුතර විනිසුරුවරු අවසානයේදී තීන්දු කළහ.