දරුවන් අපේක්ෂාවෙන් පසුවන කාන්තාවන් නීත්‍යානුකූල නොවන ශුක්‍රාණු දායකයන්ගේ ගොදුරු බවට පත්වෙන හැටි

    • Author, ගෙමා ඩන්ස්ටන්
    • Role, බීබීසී වේල්ස් ගවේෂණ
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 9

දරුවෙකු ලැබීමේ දැඩි අපේක්ෂාවෙන් පසුවන කාන්තාවන් ලිංගික හිංසනයන්ට ලක් කරමින්, නීතිවිරෝධී සහ මිල අඩු ශුක්‍රාණු සාම්පල අන්තර්ජාලය හරහා අලෙවි කිරීමේ ජාවාරමක් ගැන තොරතුරු කරළියට පැමිණ තිබේ.

සරුභාවය සඳහා නිසි ප්‍රතිකාර ලබාගැනීමට වත්කමක් හෝ අවස්ථාවක් නොමැති ඇතැම් කාන්තාවන්, සමාජ මාධ්‍ය ඔස්සේ මෙවැනි විකල්ප සෙවීමට පෙළඹී ඇත. මෙය කිසිදු නියාමනයක් නොමැති, ශීඝ්‍රයෙන් වර්ධනය වන කළු කඩ නිර්මාණය කිරීමට හේතු වී ඇති අතර, ඇතැම් කාන්තාවන් "ශුක්‍රාණු සෙවීම සඳහාම වෙන්වූ ටින්ඩර්" (Tinder for sperm) වැනි වෙබ් අඩවිවල පිහිට සොයා යන බව හෙළි වී තිබේ.

බීබීසී වේල්ස් විසින් සිදුකළ රහසිගත ගවේෂණයකදී, තම ශුක්‍රාණු "බේබි බැටර්" යන නමින් අන්තර්ජාලය හරහා ප්‍රචාරය කළ පුද්ගලයෙකුගෙන් පවුම් 100ක මුදලකට පසුදිනම නිවසටම ගෙන්වා ගත හැකි පරිදි ශුක්‍රාණු සාම්පලයක් ඇණවුම් කළේය. එම සාම්පලය එවා තිබුණේ ශීත කළ තක්කාලි පේස්ට් පැකට්ටුවක් දමන ලද පාර්සලයක් තුළය.

එක්සත් රාජධානියේ සරුභාවය පිළිබඳ නියාමන ආයතනය අනතුරු අඟවන්නේ කාන්තාවන් නිසි ප්‍රමිතියකින් තොරව ක්‍රියාත්මක වන "කොල්ලකාරී පරිත්‍යාගශීලීන්ගේ" සූරාකෑම්වලට සහ වංචාවලට ලක්වීමේ බරපතළ අවදානමක් පවතින බවය.

ගවේෂණයේ කොටසක් ලෙස, අන්තර්ජාලය හරහා ශුක්‍රාණු ලබා ගැනීම කොතරම් පහසුදැයි සොයා බැලීමට මට අවශ්‍ය වූ අතර, බොහෝ පිරිමින් ඔවුන්ගේ සේවාවන් ලබා දෙන බව මට පෙනී ගියේය.

අන්තර්ජාලය ඔස්සේ පළ කර තිබූ එක් වෙළඳ දැන්වීමක සඳහන්ව තිබුණේ තැපැල් මාර්ගයෙන් කෙරෙන බෙදා හැරීමක් සඳහා ජෝ ඩෝනර් නමැති පුද්ගලයෙකු කෙරෙහි මට විශ්වාසය තැබිය හැකි බවයි.

ඔහු ලොව පුරා ලිංගික සබඳතා සහ කෘතිම සංසේචනය මඟින් දරුවන් 180 දෙනෙකු බිහිකිරීමට දායක වී ඇති බවට පවසන, ඉතා ක්‍රියාකාරී ශුක්‍රාණු දායකයෙකි.

නියාමනය නොකළ ශුක්‍රාණු පරිත්‍යාගයේ ඇති අනතුරුදායක බව ඉස්මතු කිරීම සඳහා කාඩිෆ් හි පැවැති නඩු විභාගයකින් පසු පවුල් අධිකරණ විනිසුරුවරයෙකු විසින් දුර්ලභ තීරණයක් ගනිමින් ඔහුගේ සැබෑ නම රොබට් ඇල්බන් බව ප්‍රසිද්ධියේ හෙළිදරව් කළේය.

අපි ඔහුව අන්වර්ථ නාමයක් භාවිතා කරමින් සම්බන්ධ කර ගත් අතර ඔහුගෙන් පසුදිනම ශුක්‍රාණු සාම්පලයක් ලබා ගැනීමට අපට ගත වූයේ ඊමේල් පණිවිඩ කිහිපයක් සහ කෙටි දුරකථන ඇමතුමක් පමණි. එහිදී අප කවුදැයි තහවුරු කර ගැනීමට හෝ අපට පරීක්ෂා කිරීම සඳහා ඔහුගේ සෞඛ්‍ය වාර්තාවක් ඉදිරිපත් කිරීමට ඔහු කිසිදු උත්සාහයක් නොගත්තේය.

ඒ සඳහා ඔහු අපෙන් මුදලින් පවුම් 100ක් අය කළ අතර, තැපැල් මාර්ගයෙන් ශුක්‍රාණු අඩංගු සිරින්ජය අප වෙත එවීමට කටයුතු කළේය. එය සිසිල්ව තබා ගැනීම සඳහා අයිස් කැට වෙනුවට ශීත කළ තක්කාලි පේස්ට් පෙට්ටියක් ඒ තුලට බහා තිබිණි.

අපට සාම්පල ලැබීමෙන් පැය හතරක් ගතව යාමෙන් අනතුරුව එය බලපත්‍රලාභී රසායනාගාරයකින් පරීක්ෂාවට ලක් කළ අතර එහිදී ඔවුන් තහවුරු කළේ එම සිරින්ජය තුළ වූ සියලුම ශුක්‍රාණු සෛල මියගොස් ඇති බවයි.

නියැදිය ගබඩා කර ප්‍රවාහනය කළේ කෙසේදැයි ඔහු අපගෙන් ප්‍රශ්න කළේය. සංසේචනය සඳහා ප්‍රමාණවත් තරම් ශුක්‍රාණු සාමාන්‍යයෙන් ජීවී ලෙස පවතින බවත්, එය බොහෝ සාර්ථක ගැබ්ගැනීම් වලට හේතු වූ බවත් ඔහු පැවසීය.

ඇල්බන් ඇතුළු තවත් සිය ගණනක් පිරිමින් ශුක්‍රාණු අපේක්ෂාවෙන් පසුවන කාන්තාවන් සම්බන්ධ කර ගැනීමට ෆේස්බුක් සමාජ මාධ්‍යය භාවිත කරති. මේ වන විට එවැනි ඇතැම් ෆේස්බුක් සමූහයන්හි සාමාජිකයින් 40,000 ක් පමණ සිටිති.

මම කිසිදු තොරතුරක් නොමැති හිස් ගිණුමකින් මෙම ශුක්‍රාණු දායකයින්ගේ සමූහයකට සම්බන්ධ වූයෙමි. එහිදී සැබෑ වුවමනාවකින් පණිවිඩ එවූ කිහිපදෙනෙකු සිටියද බොහෝ දෙනෙකු සිදු කළේ ලිංගික සබඳතා පැවැත්වීමට ඇරයුම් කිරීම හෝ සාම්පල සඳහා මුදල් අවශ්‍ය බව යෝජනා කිරීමයි. තවත් පිරිසක් පෞද්ගලික ඡායාරූප ඉල්ලා සිටි අතර, දිගින් දිගටම පණිවිඩ එවමින් කෙසේ හෝ හමුවීම සඳහා උත්සාහ කළහ.

ඇතැම් පිරිමින් ගැබ් ගැනීමට ලාභම හා ඵලදායීම ක්‍රමය බව පවසමින් ලිංගිකව එක්වන ලෙස මට නැවත නැවතත් බලපෑම් කළහ.

එමෙන්ම, උතුරු වේල්සයේ පදිංචි පුද්ගලයෙකුගෙන් ශුක්‍රාණු ලබාගත් කාන්තාවක විසින් පළ කර තිබූ අනතුරු ඇඟවීමක් ද මම දුටුවෙමි. එම පුද්ගලයා ලිංගික අපරාධ සම්බන්ධයෙන් වරදකරු වූ අයෙකු බව ඇය අනාවරණ කරගෙන තිබුණාය.

බ්‍රිතාන්‍යයේ මානව ප්‍රජනන සහ කලලවේද අධිකාරිය පවසන පරිදි, ඔවුන්ගේ බලපත්‍රලාභී මධ්‍යස්ථානයකින් බැහැරව සිදු කෙරෙන ඕනෑම ශුක්‍රාණු පරිත්‍යාගයක් නියාමනය නොකළ පරිත්‍යාගයක් ලෙස සැලකෙන අතර, එය එක්සත් රාජධානියේ නීතියට අනුව සාපරාධී වරදකි.

දකුණු වේල්සයේ පදිංචි ටියානා සහ ඇගේ බිරිඳ වන නිකී, මෙලෙස නියාමනය නොකළ මාර්ග ඔස්සේ ශුක්‍රාණු ලබා ගැනීමට යොමුව සිටි යුවළකි. ඔවුන් බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවයේ ප්‍රතිපාදන ලබා ගැනීමට සුදුසුකම් ලබා නොසිටි අතර පෞද්ගලික සායනවලින් ප්‍රතිකාර ලබා ගැනීම මිල අධික ක්‍රියාවලියක් බව වැටහී තිබිණි.

"මට මවක් වීමේ අවශ්‍යතාව තිබුණා. අපේ පවුලේ මොකක් හරි අඩුවක් තියෙනවා කියලා අපි දැනගෙන හිටියා" ටියානා පැවසුවාය.

මෙහිදී පවතින අවදානම පිළිබඳව තමන් දැනුවත්ව සිටි බවත්, දායකයින්ගෙන් එල්ල විය හැකි පීඩනය පිළිබඳව දැඩි අවධානයකින් පසු වූ බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

"සම්පූර්ණයෙන්ම වැරදි චේතනා ඇතිව මේවාට සම්බන්ධ වුණු විකෘති මානසික තත්ත්වයක් තියෙන මිනිස්සුත් මේ අතර ඉන්නවා," ඇය පැවසුවාය.

"දැන් වෙබ් අඩවියක් තියෙනවා, ඒක හරියට බඩු බාහිරාදිය තෝරන කැටලොග් එකක් සහ ටින්ඩර් වගේ ඇප් එකක් එකතු වෙලා හැදුණු එකක් වගේ තමයි පේන්න තියෙන්නේ. අපිට අවශ්‍ය ඇස්වල පාට, කොණ්ඩේ පාට වගේ දේවල් ෆිල්ටර් කරලා, අපිට හරියටම ගැලපෙන කෙනාව තෝරගන්න පුළුවන්."

මෙම යුවළ බලාපොරොත්තු වූයේ කෘත්‍රීම සංසේචන ක්‍රමයක් වුවද, එහි සිටි පිරිමින් නිතරම නිර්දේශ කර තිබුණේ ලිංගිකව එක්වීම වඩාත්ම සුදුසු විකල්පය බවයි.

"මටයි මගේ බිරිඳටයි අපි දෙන්නට දෙන්නා හිටිය නිසා අපිට අකමැති දෙයක් කරන්න කාටවත් බලපෑම් කරන්න බැරි වුණා. ඒක ලොකු උදව්වක් වුණා. මොකද දරුවෙක් හදන්න විතරක් ම ලොකු වුවමනාවක් තියෙන වෙලාවක, ඕනෑම කෙනෙක් මානසිකව ගොඩක් අසරණ මට්ටමකයි ඉන්නේ."

ටියානා සහ නිකී අවසානයේදී තමන්ට විශ්වාසදායක යැයි හැඟුණු පරිත්‍යාගශීලියෙකු හවුල් භාරකත්වය සම්බන්ධීකරණය කරන වෙබ් අඩවියක් හරහා සොයා ගත්හ. අනතුරුව දරුවා ලැබුණු පසු එකිනෙකා අතර පැවැත්විය යුතු සබඳතා සහ දෙමාපිය අයිතිවාසිකම් පිළිබඳ සැලසුම් සියලු දෙනාම පැහැදිලිව අවබෝධ කරගැනීම සඳහා ඔවුන් ගිවිසුමක් ද සකස් කර ගත්හ.

නමුත් මෙය නීත්‍යානුකූල බලපෑමක් ඇති ගිවිසුමක් නොවේ.

"අනාගතයේ යම් දවසක ඔහු ඇවිත් දරුවාගේ අයිතිය ඉල්ලා අපට විරුද්ධව උසාවි යාමට තවමත් ඉඩකඩක් තිබෙනවා," ටියානා එලෙස පවසමින් අවදානමක් පවතින බව පිළිගත්තාය.

''නමුත් මම හිතනවා එවැනි දෙයක් සිදුවෙන එක වළක්ව ගන්න කරන්න පුලුවන් හැමදේම අපි කරලා තියෙනවා කියලා. ඔහු අපිට කවදාවත් එහෙම දෙයක් කරන එකක් නැහැ කියලත් මම හිතනවා.''

ඔවුන්ට දැන් වයස අවුරුද්දක් වන පුතෙකු සිටියි.

"අපි හුඟක් කාලෙක ඉඳන් දරුවෙක් බලාපොරොත්තුවෙන් හිටියා. ඇත්ත, අපි ගත්තේ ලොකු අවදානමක්. නමුත් ඒ වෙනුවෙන් ගත්තු අවදානම ඇත්තට ම වටිනවා."

නිසි නියාමනයකට යටත් නොවන මෙවැනි ශුක්‍රාණු පරිත්‍යාගශීලීන් විවිධ ක්‍රම ඔස්සේ තම සේවාවන් සපයති. ඒ අතර කිසිදු මුදලක් අය නොකර ලිංගික සබඳතා පැවැත්වීමට කැමති අයගේ සිට, කෘත්‍රීම සංසේචනය සඳහා ලොව පුරා සංචාරය කිරීමට යන වියදම් පමණක් අය කරන පුද්ගලයෝ පවා සිටිති.

ඇමෙරිකා එක්සත් ජනපදයේ පදිංචි 25 හැවිරිදි ඩැනියෙල් බේයන් ද එවැනි පුද්ගලයෙකි. ඔහු 2025 වසරේ ගිම්හාන සෘතුවේදී කෘත්‍රීම සංසේචන ක්‍රමය මඟින් දරු උපතක් සඳහා දායකවීමට බ්‍රිතාන්‍යය බලා සංචාරය කළේය. ඔහු පවසන පරිදි එම සංචාරයෙන් පමණක් මේ වන විට දරුවන් සිව්දෙනෙකු මෙලොවට බිහි වී තිබේ.

අන්තර්ජාලය ඔස්සේ පළ කරන වීඩියෝ මඟින් තමන් වැඩිම මුදලක් අය කරන ශුක්‍රාණු පරිත්‍යාගශීලියා මෙන්ම ලාභ නොලබන සේවා සපයන්නෙකු ලෙසද හඳුන්වා ගන්නා ඩෑන් නමැත්තා සමඟ බීබීසී මාධ්‍යවේදීන් දින තුනක් පුරා රූගත කිරීම්වල නිරත විය.

"මගෙන් සේවාව ලබාගන්නා අය මගේ ගමන් වියදම් විතරක් නෙවෙයි, මගේ සෞඛ්‍ය සහ ජීවන වියදම් පවා පියව ගන්න උදව් කරන්න ඕනේ," ඔහු පැවසීය.

"ඒ වගේම සන්නිවේදන කටයුතු, සෞඛ්‍යය, ඉන්ස්ටග්‍රෑම් ඔස්සේ වීඩියෝ පළ කිරීම, තොරතුරු සමාජගත කිරීම සහ දැනුවත් කිරීම් වැනි දේවලුත් මීට ඇතුළත්."

එක්සත් රාජධානියේ සිටින සේවාලාභීන්ගෙන් තමන් අය කරන්නේ ගමන් වියදම් පමණක් බව පැවසුවද, වෙනත් ස්ථානවලදී එක් ශුක්‍රාණු පරිත්‍යාගයක් සඳහා තමන්ට ඇමරිකානු ඩොලර් 20,000ක් දක්වා මුදලක් පිරිනමා ඇති බවටද ඔහු මීට පෙර ප්‍රකාශ කර තිබුණේය.

දරු උපතක් වෙනුවෙන් මුදල් වියදම් කිරීමට සූදානමින් සිටින මිනිසුන්ගෙන් අනවශ්‍ය ලෙස වාසි ලබා ගන්නා බවට බීබීසී පුවත් සේවය ඔහුට අභියෝග කළ විට "අනිත් මිනිස්සු හිතන දේ ගැන මට වැඩක් නැහැ. මට වැදගත් වෙන්නේ මාත් එක්ක වැඩ කරන පවුල්වලට සහ දරුවන්ට හොඳම දේ මොකක්ද කියන එක විතරයි." යනුවෙන් ඔහු ඒ සඳහා ප්‍රතිචාර දැක්වීය.

ඩෑන් තමන්ව 'විවෘත ශුක්‍රාණු පරිත්‍යාගශීලියෙකු' (open donor) ලෙස හඳුන්වා ගන්නා අතර දරුවන් ඔහුගේ අනන්‍යතාවය දැනගන්නවාට ඔහු කැමැත්තක් දක්වයි. එමෙන්ම ඔහු තමාගේ ජීවන රටාව සහ සෞඛ්‍ය පරීක්ෂණ වාර්තා පිළිබඳවද වීඩියෝ අන්තර්ජාලයට එක් කරයි. එහෙත් ඔහු හැම දෙයක්ම එලෙස විවෘතව නොපවසයි.

"පරිත්‍යාගශීලියෙකු විදිහට තමන්ව ආරක්ෂා කරගන්න නම්, තමන්ගේ නමට ගොඩක් වත්කම් තියාගන්න හොඳ නැහැ. කාට හරි වුවමනා වුණත් ඔබේ ජීවිතය හෝ පවුල විනාශ කරන්න බැහැ කියන විශ්වාසය තමයි වැදගත්" ඔහු පැවසුවේය.

"ඇත්තෙන්ම මම හිතන්නේ ඔබේ සෞඛ්‍ය තත්වය සහ ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග පිළිබඳ වාර්තා පිළිබඳ බොරු කළ යුතු නැහැ. නමුත් ඔබ රැකියාව කරන්නේ කොහේ ද, කරන්නේ මොනවා ද කියන එක එක වගේ ඔබෙන් සේවාව ලබා ගන්නා තැනැත්තාට ඔබට එරෙහිව නඩු පැවරිය හැකි තොරතුරු ලබා නොදෙන එක වරදක් නෙමෙයි. උදාහරණයක් විදිහට ඔබේ සම්පූර්ණ නම හෝ ලිපිනය වගේ දේවල්."

බ්‍රිතාන්‍යය තුළ ශුක්‍රාණු පරිත්‍යාග සිදු කිරීමේදී තමන් කිසිදු නීතියක් උල්ලංඝනය කර නොමැති බව ද ඩෑන් අවධාරණය කළේය.

එක්සත් රාජධානිය තුළ බලපත්‍රලාභී සායන සියල්ලම මානව ප්‍රජනන සහ කලලවේද අධිකාරිය මඟින් නියාමනය කරනු ලබන අතර, මේ පිළිබඳ පවතින නීතිමය තත්ත්වය මහජනතාවට හඳුන්වා දීම සඳහා එම ආයතනය විසින් සිය නිල වෙබ් අඩවියේ විශේෂ පිටුවක් ද වෙන්කර ඇත.

නිසි ලියාපදිංචියකින් තොරව කටයුතු කළ ශුක්‍රාණු පරිත්‍යාගශීලීන් කිහිපදෙනෙකු පිළිබඳ තොරතුරු මේ වන විට පොලිසිය වෙත යොමු කර ඇති බව එම ආයතනය ප්‍රකාශ කළේය.

"නියාමනය නොකළ හෝ ලියාපදිංචි නොකළ පරිත්‍යාගශීලියෙකුගෙන් ශුක්‍රාණු ලබාගැනීම වරදක් නොවන අතර, එමඟින් කිසිදු නීතියක් උල්ලංඝනය නොවේ. නමුත්, අදාළ ශුක්‍රාණු ලබාදීමේ ක්‍රියාවලියට සම්බන්ධ වන පරිත්‍යාගශීලීන් හෝ වෙනත් අතරමැදි පුද්ගලයන් බරපතළ අපරාධයකට වැරදිකරුවන් විය හැකියි." එම ආයතනය අවධාරණය කරයි.

එරට පවතින මානව ප්‍රජනන සහ කලලවේද පනතට අනුව මිනිස් ප්‍රජනන කටයුතු සඳහා ඩිම්බ හෝ ශුක්‍රාණු භාවිත කිරීම, ගබඩා කිරීම, සපයා ගැනීම, පරීක්ෂාවට ලක් කිරීම, සැකසීම සහ බෙදාහැරීම යන සියලුම ක්‍රියාකාරකම් එම ආයතනයේ නිසි බලපත්‍රයක් සහිත සායනයක් මඟින් සිදු කළ යුතුය. එසේ නොමැතිව සිදු කරන සෑම ක්‍රියාවක්ම නීති විරෝධී වේ.

මානව ප්‍රජනන සහ කලලවේද අධිකාරියේ උපායමාර්ගික හා ආයතනික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂිකා ක්ලෙයාර් එටින්හවුසෙන් ප්‍රකාශ කළේ, ඇල්බන් නමැති පුද්ගලයාගෙන් තමන් වෙත ලැබුණු ශුක්‍රාණු බෙදාහැරීමේ තොරතුරු අතිශය කම්පන සහගත බවයි.

"නීතියට අනුව මානව කලල විද්‍යා සහ විද්‍යාත්මක අධිකාරිය වෙතින් ලබාගත් නිසි බලපත්‍රයක් නොමැතිව ශුක්‍රාණු සැකසීම හෝ බෙදාහැරීම සිදුකළ නොහැකි බව ඉතා පැහැදිලියි. ඔහු මේ වන විට තැපැල් මගින් හෝ වෙනත් ක්‍රම මගින් ඒවා යැවීම හරහා සිදුකරමින් සිටින්නේ ද එයයි."

පෞද්ගලිකව ශුක්‍රාණු පරිත්‍යාග කිරීම සහ ඒ සඳහා මුදල් අය කිරීම නීත්‍යානුකූල බව තමන් වටහාගෙන සිටි බැවින්, අදාළ නීති රීති තමන්ට අදාළ නොවන බව ඇල්බන් පැවසුවේය.

එසේම තමන් අවදානමට ලක්විය හැකි කිසිඳු කාන්තාවකට "සෘජු තර්ජනයක්" නොවූ බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර, ෆේස්බුක් සමාගමේ මව් සමාගම වන මෙටා ආයතනය මෙලෙස නීතිය උල්ලංඝනය කිරීමට අනුබල දෙන බව එටින්හවුසෙන් පැවසුවාය. ඇය මේ බව පසුගිය මාර්තු මාසයේදී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් හමුවේද පෙන්වා දී තිබුණාය.

බ්‍රිතාන්‍යයේ මානව ප්‍රජනන සහ කලල විද්‍යා අධිකාරිය විසින් ද මේ සම්බන්ධයෙන් මෙටා සමාගම සෘජුවම දැනුවත් කර ඇති බව ඇය පැවසුවාය. කෙසේ වෙතත්, මෙවැනි සමාජ මාධ්‍ය කණ්ඩායම් සම්පූර්ණයෙන්ම වසා දැමුවහොත්, මෙම ජාවාරම වෙනත් තැනක ආරම්භ වීමට ඉඩ ඇති බැවින්, ඇය ඒ පිළිබඳව යථාර්ථවාදීව සිතන බවද සඳහන් කළාය.

"මේ පිළිබඳව අඛණ්ඩව සෞඛ්‍ය අනතුරු ඇඟවීම් නිකුත් කිරීම සහ ආරක්ෂිතව ප්‍රතිකාර ලබාගත හැකි ස්ථාන පිළිබඳ විකල්ප හඳුන්වා දීමෙන් ගැටලුව සම්පූර්ණයෙන්ම විසඳිය නොහැකි වුවත්, එය විශාල උපකාරයක් වේවි"

පුද්ගලික ආරක්ෂාව පිළිබඳව ද ඇය මෙහිදී දැඩි කනස්සල්ල පළ කළාය.

"ඇතැම් දායකයින් ස්වභාවික ක්‍රමයට පමණක් ශුක්‍රාණු පරිත්‍යාග කරන බව පවසමින් දැන්වීම් පළ කරනවා. මෙයින් සිදුවන්නේ සමහර අවස්ථාවලදී කාන්තාවන් අකමැත්තෙන් වුවද ලිංගිකව එක්වීමට පොළඹවා ගැනීමයි,"

මේ පිළිබඳව අදහස් දක්වමින් ෆේස්බුක් හි මව් සමාගම වන මෙටා සමාගම ප්‍රකාශ කළේ, තමන් වෙත යොමු කරන ඕනෑම සමූහයක් හෝ සටහනක් පරීක්ෂා කර, තම නීති රීති උල්ලංඝනය කරන අන්තර්ගතයන් ඉවත් කිරීමට පියවර ගන්නා බවයි.

"අපගේ ප්‍රතිපත්ති උල්ලංඝනය නොකළද, දේශීය වශයෙන් නීති උල්ලංඝනය වන අන්තර්ගතයන් පිළිබඳව නියාමන ආයතනවලට අප වෙත වාර්තා කිරීම සඳහා වෙනම ක්‍රමවේදයක් සකස් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් අප අදාළ බලධාරීන් සමඟ සමීපව කටයුතු කරමින් සිටිනවා," එම සමාගම සඳහන් කළේය.

"නියාමනය නොකළ ක්‍රමවේද ඔස්සේ ශුක්‍රාණු පරිත්‍යාග කිරීම තුළින් විශාල අවදානමක් මතු වෙනවා, එමඟින් අසරණ තත්ත්වයට පත් වූවන් සූරාකෑමට ලක්වීමේ දැඩි ඉඩකඩක් පවතිනවා. එබැවින් මෙම අවදානම පිළිබඳව මැනවින් වටහාගෙන, නීත්‍යානුකූල සහ නියාමනය කරන ලද ක්‍රමවේදයන්ට පමණක් යොමුවන ලෙස අප මහජනතාවගෙන් තරයේ ඉල්ලා සිටිනවා," ජාතික පොලිස් ප්‍රධානීන්ගේ කවුන්සිලයේ ප්‍රකාශකයෙකු පැවසුවේය.

"මේ සම්බන්ධයෙන් යම් අයෙකුට ගැටලුවක් හෝ සැකයක් පවතිනවා නම්, ඒ පිළිබඳව පොලිසියට වාර්තා කරන ලෙස අප ඔවුන්ව දිරිමත් කරනවා. එවිට අපට ඔවුන්ට අවශ්‍ය සහයෝගය ලබා දීමටත්, ඒ පිළිබඳව විමර්ශන සිදු කිරීමටත් හැකියාව ලැබෙනවා."