අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨාභය ගොනු කළ පෙත්සම සලකා බැලීම ඇරඹේ: අධිකරණයේදී සිදුවූයේ මොනවා ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 4
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඉදිරිපත් කරන ලද රිට් පෙත්සම බ්‍රහස්පතින්දා (ජූනි 18) අභියාචනාධිකරණය හමුවේ සලකා බැලීම ආරම්භ විය.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ සරත් දිසානායක යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම සලකා බැලීම සිදුවිය.
'පුද්ගලයෙකු රිමාන්ඩ් භාරයට පත් කිරීම දඬුවමක් නොවිය යුතුයි'
මෙහිදී පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ අධිකරණ ස්වාධීනත්වය මෙන් ම පුද්ගල නිදහස අයිතිවාසිකමක් ලෙස පිළිගෙන තිබෙන බව ය.
එම නිදහස සීමා කළ හැක්කේ අතිශය සීමිත අවස්ථාවල බවත් පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයින් බවට පත් පුද්ගලයින්ට යුක්තිය ඉටු කිරීම යනු කිසිදු සාධාරණ පදනමකින් තොරව පුද්ගලයින් අත්අඩංගුවට ගෙන සිරගත කිරීම නොවන බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේ ය.
පුද්ගලයින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කිරීම සඳහා නීතියෙන් අවසර හිමි වී තිබෙන්නේ සීමිත අවස්ථාවල පමණක් යැයි පැවසූ ජනාධිපති නීතිඥවරයා පුද්ගලයෙකු රිමාන්ඩ් භාරයට පත් කිරීම දඬුවමක් නොවිය යුතු බව ද සඳහන් කළේ ය.
සිය සේවාදායකයා කිසිදු විමර්ශනයක් සඳහා කැඳවා නොමැති බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා ඔහු අදාළ විමර්ශනයේ කිසිදු සාක්ෂිකරුවෙකුට බලපෑම් එල්ල කර නොමැති බව ද සඳහන් කළේ ය.
කිසිදු සාධාරණ පදනමක් නොමැතිව වගඋත්තරකරුවන් සිය සේවා දායකයාට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙතින් විදෙස් ගමන් තහනමක් ලබා ගෙන තිබෙන බව පැවසූ ජනාධිපති නීතිඥවරයා, පදනමකින් තොරව ඔහුගේ නිදහස සීමා කිරීමට විමර්ශනයකින් කටයුතු කර තිබෙන බවට චෝදනා කළේ ය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිය සේවා දායකයා අත්අඩංගුවට ගනු ලැබුවහොත් ඔහුට ඇප ලබා ගැනීමට තිබෙන නිදහස අහිමි කෙරෙන අතර පෙත්සම්කරු මෙම අධිකරණය හමුවට පැමිණ සිටින්නේ ඒ නිසා බවත් ජනාධිපති නීතිඥවරයා පැවසීය.
විනිසුරුවරයෙකුගෙන් ප්‍රශ්නයක්
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
යම් විමර්ශනයක් පැය 24ක් තුළ අවසන් කිරීමට නොහැකි අවස්ථාවක "මෙවැනි නීතිමය ප්‍රතිපාදන භාවිත කිරීම සිදු වනවා නේ ද?" යනුවෙන් මෙහිදී විනිසුරු සරත් දිසානායක ප්‍රශ්නයක් මතු කළේ ය.
ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති නීතිඥවරයා ප්‍රකාශ කළේ, පුද්ගල නිදහස අහිමි කිරීම සඳහා එවැනි අණ පනත් භාවිත කිරීමට හැකියාවක් නොමැති බව ය.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව සොයා බැලීම සඳහා පත් කෙරුණු වත්මන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත් පරීක්ෂණ කොමිසම විසින් දින 214ක් තුළ පුද්ගලයින් 257 දෙනෙකුගෙන් සාක්ෂි සටහන් කර ගෙන තිබූ බව ද ජනාධිපති නීතිඥවරයා තවදුරටත් කරුණු දක්වමින් පැවසීය.
ඊට අදාළව එම කොමිසම විසින් වෙළුම් හයකින් යුත් වාර්තාවක් ඉදිරිපත් කළ බවත් එහි කිසිදු ස්ථානයක මෙම පෙත්සම්කරු ගැන සඳහන් කර නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේ ය.
තව ද අදාළ සිදුවීම සම්බන්ධයෙන් සොයා බැලූ ජයිකි ද අල්විස් කොමිසම විසින් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වාගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවකට අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ එහි හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න යන අයට එරෙහිව අපරාධ නීතිය යටතේ නඩු පැවරීමට කටයුතු කරන ලෙස නිර්දේශ කර තිබූ බව ද ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේ ය.
'නීතිපති දෙපාර්තමේන්තුව ද අසරණ වෙලා'
ඊට අමතරව 2018 වසරේ මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිමවලට ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධිය පිටුපස විදේශීය ත්‍රස්ත සංවිධානයක මැදිහත්වීමක් තිබෙන බවට කරුණු හෙළිදරව් වී තිබියදී ජාත්‍යන්තර පොලිසියේ සහය ලබාගෙන ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කිරීමට එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර කටයුතු නොකළ බවට ද ඔහු චෝදනා කළේ ය.
ඒ සම්බන්ධයෙන් ඔහු නොසැලකිල්ලෙන් කටයුතු කළ බවට තවදුරටත් චෝදනා කළ ජනාධිපති නීතිඥවරයා එවැනි අයෙකු සිය සේවා දායකයා අනීතික ලෙස අත්අඩංගුවට ගැනීමට උත්සහ කරන බව ද පැවසීය.
එවැනි පුද්ගලයෙකු වර්තමානයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කරමින් පාස්කු ප්‍රහාර විමර්ශනය මෙහෙය වීම ගැටලුසහගත තත්ත්වයක් බවත් මෙවැනි පුද්ගලයෙකු විවිධ පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දෙපාර්තමේන්තුවට ඉල්ලීම් කරන බවත් එහිදී නීතිපති දෙපාර්තමේන්තුව ද අසරණ වී තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේ ය.
'එය ජනමාධ්‍ය ඉලක්ක කරගෙන සිදු කරන ප්‍රකාශයක්'
එම අවස්ථාවේදී නැගී සිටි වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂී හේරත් අධිකරණය හමුවේ කරුණු දක්වමින් චෝදනා කළේ, උගත් ජනාධිපති නීතිඥවරයා නීතිපති දෙපාර්තමේන්තුව රූකඩයක් ලෙස හඳුන්වා දීමට උත්සහ කරන බවත් එය හුදෙක් ම ජනමාධ්‍ය ඉලක්ක කරගෙන සිදු කරන ප්‍රකාශයක් බවත් චෝදනා කළා ය.
එහෙත් එම චෝදනාව ප්‍රතික්ෂේප කළ ජනාධිපති නීතිඥවරයා තමා කිසිදු අවස්ථාවකට නීතිපතිවරයාට චෝදනා නොකරන බව සඳහන් කළ අතර නීතිපති දෙපාර්තමේන්තුව එවැනි තත්ත්වයකට පත්ව තිබෙන ආකාරය පෙන්වා දුන් බව පැවසීය.
ඉන් අනතුරුව පෙත්සම් වැඩිදුර සලකා බැලීම ලබන 24 වන දා දක්වා කල් තැබීමට ද අධිකරණය නියම කළේ ය.






























