ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඥානසාර හිමිගේ අභියාචනය ප්‍රතික්ෂේපයි: මහේස්ත්‍රාත් අධිකරණය නියම කළ සිර දඬුවම මහාධිකරණය තහවුරු කරයි
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 2
ඉස්ලාම් දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කිරීම මගින් ජාතීන් අතර සංහිඳියාව බිඳ හෙළීමට ක්‍රියා කළේ යැයි චෝදනා ලබා වරදකරු කළ බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියම කරන ලද මාස 9ක සිර දඬුවම සහ රුපියල් 1,500ක දඩය කොළඹ මහාධිකරණය අඟහරුවාදා (ජූනි 23) තහවුරු කළේ ය.
එම සිර දඬුවමින් තමන් වහන්සේ නිදොස්කොට නිදහස් කරන ලෙස ඉල්ලා ඥානසාර හිමියන් විසින් ඉදිරිපත් කරන ලද අභියාචනයක් ප්‍රතික්ෂේප කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මෙම තීන්දුව ලබා දුන්නේ ය.
ඉකුත් වසරේ දුන් තීන්දුව
2016 වසරේ කිරුළපන ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී ඉස්ලාම් දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් කිරීමෙන් ජාතීන් අතර සංහිඳියාව උල්ලංඝනය වන ආකාරයෙන් කටයුතු කළේ යැයි චෝදනා කරමින් දණ්ඩ නීති සංග්‍රහය යටතේ පොලිසිය විසින් ඥානසාර හිමියන්ට එරෙහිව නඩුවක් ගොනු කරනු ලැබ තිබිණි.
නඩු විභාගයකින් අනතුරුව එම චෝදනාවට වැරදිකරු කළ ඥානසාර හිමියන්ට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් 2025 වසරේ ජනවාරි මස 9 වන දා මාස 9ක සිර දඬුවමක් සහ රුපියල් 1,500ක් දඩයක් නියම කර තිබිණි.
අභියාචනය ප්‍රතික්ෂේප කිරීම
අනතුරුව ඥානසාර හිමියන් මෙම අභියාචනය කොළඹ මහාධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබිණි.
එම අභියාචනය විභාගයෙන් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ, ආගමික සංහිදියාව උල්ලංඝනය වන ආකාරයෙන් ප්‍රකාශ නිකුත් කිරීම නීතියට පටහැනි ක්‍රියාවක් බව ය.
එවැනි ක්‍රියා වැළැක්වීම නීතියේ මෙන් ම අධිකරණ ක්‍රියාවලියේ වගකීමක් බව ද විනිසුරුවරයා සඳහන් කළේ ය.
ඒ අනුව, විත්තිකරු වරදකරු කරමින් දඬුවම් පැමිණවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා ගත් තීරණය නීතියට පටහැනි නොවන බව ද මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ ය.
අනතුරුව විත්තිකරු වරදකරු කිරීමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනය ඉවත දමන බව මහාධිකරණ විනිසුරුවරයා සිය තීන්දුවේ වැඩිදුරටත් සඳහන් කළේ ය.