'අඟුරුවාතොට සෙනෙහසේ කැදැල්ල ලියාපදිංචි නොකළ එකක්': ජීවිත 12ක් අහිමි කළ ගින්න ගැන BBC අනාවරණය කරගත් තොරතුරු

'ලොකු අයියා' හෙවත් ඉසුරු අනුෂ්ක නමැති පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඡායාරූප ශීර්ෂ වැකිය, සෙනෙහසේ නවාතැන පවත්වාගෙන ගිය 'ලොකු අයියා' හෙවත් ඉසුරු අනුෂ්ක නමැති පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගැනිණි.
    • Author, ෂර්ලි උපුල් කුමාර, අඟුරුවාතොට සිට සහ දිනුක් හේවාවිතාරණ කොළඹ සිට
    • Role, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 7

අඟුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක හටගත් ගින්නෙන් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් තවත් කිහිප දෙනෙකු අතුරුදන්ව ඇතැයි එහි සිටින බීබීසී සිංහල වාර්තාකරු පවසයි.

මෙම වැඩිහිටි නිවාසය පවත්වාගෙන ගිය, Tik Tok සහ ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ 'ලොකු අයියා' හෙවත් ඉසුරු අනුෂ්ක නමින් පෙනී සිටි පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද අතර ඔහු ජූනි 11 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස හොරණ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

පෞද්ගලික ආයතනයක් ලෙස පවත්වාගෙන ගොස් ඇති මෙම රැකවරණ නිවාසය තුළ මානසික ආබාධ සහිත පුද්ගලයින් පිරිසක් ද නේවාසික වී සිටියහ.

සිදුවීම ගැන අප මෙතෙක් දන්නේ මොනවා ද?

අඟුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ පිහිටි 'මව්පිය සෙවණ සෙනෙහසේ කැදැල්ල' වැඩිහිටි රැකවරණ මධ්‍යස්ථානයේ ඊයේ (ජූනි 03) පස්වරුවේ හදිසි ගින්නක් හටගෙන තිබිණි.
ඡායාරූප ශීර්ෂ වැකිය, අඟුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ පිහිටි 'මව්පිය සෙවණ සෙනෙහසේ කැදැල්ල' වැඩිහිටි රැකවරණ මධ්‍යස්ථානයේ ඊයේ (ජූනි 03) පස්වරුවේ හදිසි ගින්නක් හටගෙන තිබිණි.

අඟුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ පිහිටි 'මව්පිය සෙවණ සෙනෙහසේ කැදැල්ල' වැඩිහිටි රැකවරණ මධ්‍යස්ථානයේ ඊයේ (ජූනි 03) පස්වරුවේ හදිසි ගින්නක් හටගෙන තිබිණි.

හොරණ ගිනි නිවීම් ඒකකයේ නිලධාරියෙකු බීබීසී සිංහල වෙත තහවුරු කළේ, ගින්න සම්බන්ධයෙන් පස්වරු 5.59ට පමණ තොරතුරු ලැබුණු අතර, ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ 04ක් සහ නිලධාරීන් අනුයුක්ත කරනු ලැබූ බව ය.

වැඩිහිටි රැකවරණ මධ්‍යස්ථානයේ නේවාසිකව සිටි පුද්ගලයින් රැකබලා ගැනීම සඳහා සේවකයින් දෙදෙනෙකු පමණක් සිට ඇති බවත්, වැඩිහිටි මධ්‍යස්ථානයේ රඳවා ඇති එක් පුද්ගලයෙකු රැකබලා ගැනීම සඳහා නේවාසිකයින්ගේ පවුලේ ඥාතීන්ගෙන් මාසිකව රුපියල් 35,000ක පමණ මුදලක් අය කරගෙන තිබෙන බවත් ඔවුන්ගේ ඥාතීන් බීබීසී සිංහල වෙත පවසා ඇත.

මහේස්ත්‍රාත් විමර්ශනයෙන් අනාවරණය වූ දේ

බීබීසී සිංහල වාර්තාකරු පැවසුවේ, ගින්නෙන් හානියට පත්වූ වැඩිහිටි රැකවරණ මධ්‍යස්ථානයේ ස්ථානීය පරීක්ෂණය සඳහා අද (ජූනි 04) පෙරවරුවේ හොරණ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය එම ස්ථානයට පැමිණි බව ය.

ගින්නෙන් හානියට පත්වූ වැඩිහිටි රැකවරණ මධ්‍යස්ථානය තුළදී ම පුද්ගලයින් 10 දෙනෙකු ගින්නට හසුවී ජීවිතක්ෂයට පත්ව තිබූ අතර, රෝහලගත කර සිටි තවත් පුද්ගලයින් දෙදෙනෙකු ද ජීවිතක්ෂයට පත්ව තිබේ.

ගින්න ඇති වන අවස්ථාවේ අදාළ වැඩිහිටි නිවාසය තුළ පුද්ගලයින් 69 දෙනෙකු පමණ සිට ඇති බවත්, හොරණ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරින්, පොලිසිය, සහන සේවා නිලධාරීන් සහ අසල්වැසියන් එක්ව එම මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයින් 51 දෙනෙකු පමණ නිරුපද්‍රිතව බේරාගෙන ඇති අතර, මේ වන විට ඔවුන් ආරක්ෂිත ස්ථානයක් වෙත යොමුකර ඇතැයි මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී කරුණු අනාවරණය වී ඇත.

මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වෙන අවස්ථාවේදී වැඩිහිටි රැකවරණ මධ්‍යස්ථානයේ කළමනාකරු ලෙස කටයුතු කළ ඉසුරු අනුෂ්ක පෙරේරා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ එම ස්ථානයට රැගෙනවිත් තිබූ බව අප වාර්තාකරු පැවසීය.

ගින්න ඇතිවීමට හේතුව කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සහ රජයේ රස පරීක්ෂකවරයා වැඩිදුර විමර්ශනය සිදු කරමින් සිටිති.

වීඩියෝ ශීර්ෂ වැකිය, 'දම්වැල්වලින් ගැටගහලා හිටපු අයව බේරගන්න බැරි වුණා'

ඇසින් දුටුවන්ගේ ප්‍රකාශ

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

මෙම ගිනිගැනීම සිදුවූ අවස්ථාවේදී වැඩිහිටි නිවාසයේ සිටි පුද්ගලයින් බේරා ගැනීම සඳහා උත්සහ ගත් සහ සිද්ධිය ඇසින් දුටු පුද්ගලයින් කිහිප දෙනෙක් බීබීසී සිංහල වෙත සිය අත්දැකීම් පිළිබඳව කරුණු පැහැදිලි කළහ.

තලහේන, බටගොඩ ප්‍රදේශයේ පදිංචි සඳයුරු ආකාශ් නම් වූ තරුණයෙකු බීබීසී සිංහල වෙත කියා සිටියේ, ගිනි ගනිමින් තිබූ වැඩිහිටි නිවාසයේ කොටුවී සිටි පිරිසක් නාන කාමරයක් තුළ කෑ ගසිමින් සිටි බවත් පුද්ගලයින් කිහිප දෙනෙකු දම්වැල් ආධාරයෙන් ගැට ගසා තිබූ හෙයින් ඔවුන් බේරා ගැනීමට නොහැකි වූ බවත් ය.

"මගේ යාළුවෙක් එයාගේ අක්කව එක්කන් යන්න කියලා මෙහෙට ආවා. එයා දැකලා තියෙනවා මෙතැනින් ලොකු දුමක් යනවා. එයා අපිට ඇවිල්ලා කිව්වා මෙහෙම ගිනි ගන්නවා එන්න කියලා. ඊට පස්සේ අපි යනකොට පාරේ 500ක් විතර හිටියා. අපි මෙතැනින් පැනලා ඇතුළට ගියා. ඊට පස්සේ කට්ටියක් කෑගහනවා පිටි පස්සේ බාත්රූම් එකේ, ගන්න ගන්න කියලා. අපි වහලේ තිබ්බ ෂීට් එකක් අයින් කරලා එතැනට පැනලා එතන හිටිය එක් එක්කෙනා උඩින් අර ගත්තා. ඒ අයව අල්ලනකොට හම එහෙම අතට එනවා. හරි ම අමාරුවෙන් තමයි අර ගත්තේ. තව එක්කෙනෙක් ගින්නට දිව්වා, මම පස්සේ දුවලා ගිහින් එයාව අරන් ආවා. සමහරු හිටියා දම්වැල් දාලා හය හත්දෙනෙක් විතර. ඒ අයව බේර ගන්න බැරි වුණා. එක්කෙනෙක් කෑ ගැහුවා බේර ගන්න කියලා. අඩි 06ක් විතර දිග දම්වැල් දාලා තිබ්බේ කකුල්වලට. සමහර බේර ගත්ත අය ආපහු ගින්නට දිව්වා. තුවාල වෙලා හිටිය පස්සේ අපි ඩිමෝ බට්ටා ලොරියකට පටවලා රෝහලට අරන් ගියා," ඔහු තම අත්දැකීම ගැන එලෙස විස්තර කළේ ය.

ගිනි ගන්නා ලද ස්ථානයේ දර්ශනයක්
ඡායාරූප ශීර්ෂ වැකිය, බටගොඩ ප්‍රදේශයේ පදිංචි අසේල විදුරංග නම් වූ තරුණයෙකු පැවසුවේ, තමන් නිවසේ සිටියදී ගින්න දුටු බවත් පසුව තමන් පැමිණ සිරවී සිටි පුද්ගලයින් බේරා ගැනීමේ කටයුතුවලට සහය වූ බවත් ය.

බටගොඩ ප්‍රදේශයේ පදිංචි අසේල විදුරංග නම් වූ තරුණයෙකු පැවසුවේ, තමන් නිවසේ සිටියදී ගින්න දුටු බවත් පසුව තමන් පැමිණ සිරවී සිටි පුද්ගලයින් බේරා ගැනීමේ කටයුතුවලට සහය වූ බවත් ය.

"මම ගෙදර ඉද්දි දැක්කා දුමක් යනවා. පස්සේ මම පහළට එද්දී කට්ටියක් වහලෙ උඩට නැගලා හිරවෙලා හිටිය අයව බේර ගන්නවා දැක්කා. පස්සේ මමත් ඒ අයත් එක්ක එකතු වෙලා උදව් කළා. පිටි පස්සේ දොර ළඟ ගැට ගහලා දෙන්නෙක් හිටියා. අපි එයාලව බේර ගන්න බැලුවත් ගැට ගහලා තිබ්බ නිසා ඒ දේ කරන්න බැරි වුණා. මෙතන වැඩ කරන දෙන්නෙක් හිටියා. ඒ අයත් එහෙට මෙහෙට දුව දුව වතුර ගහ ගහා හිටියේ. මේකේ ඉස්සරහා ලොකු යකඩ දොරක් දාලා තිබ්බ නිසා අපිට ඒක ඇර ගන්න බැරි වුණා. ඇත්තට ම කිව්වොත් හරි ම දුකයි මොක ද මේ මොනවා වුණත් මනුස්ස ජීවිතයක් නේ. මේ මිනිස්සුන්ව ගැට ගහන්නේ නැතිව තිබ්බ නම් ඒ අයට බඩ ගාගෙන හරි එන්න තිබ්බා බේරෙන්න," ඔහු පැවසීය.

සමාජ මාධ්‍ය ඔස්සේ පළවූ අදහස්

ගිනි ගන්නා ලද ස්ථානයේ දර්ශනයක්
ඡායාරූප ශීර්ෂ වැකිය, ලොකු අයියා හෙවත් ඉසුරු අනුෂ්ක විසින් පවත්වාගෙන යනු ලබන මෙම 'මව්පිය සෙවණ මානසික නිවාසය' නම් වූ රැඳවුම් මධ්‍යස්ථානය බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට සමත්ව ඇත්තේ ඔහු විසින් එහි සිටින වැඩිහිටි පුද්ගලයින් සමග සමාජ මධ්‍යයේ පළකරනු ලබන වීඩියෝ හේතුවෙනි.

මෙම වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය 'ලොකු අයියා' හෙවත් ඉසුරු අනුෂ්ක යන නම්වලින් යුත් Tik Tok සහ ෆේස්බුක් සමාජ මාධ්‍ය ගිණුම් දෙකට මිලියනයකට ආසන්න පරිශීලකයින් සංඛ්‍යාවක් සිටින බවට බීබීසී සිංහල වෙත නිරීක්ෂණය විය.

ලොකු අයියා හෙවත් ඉසුරු අනුෂ්ක විසින් පවත්වාගෙන යනු ලබන මෙම 'මව්පිය සෙවණ මානසික නිවාසය' නම් වූ රැඳවුම් මධ්‍යස්ථානය බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට සමත්ව ඇත්තේ ඔහු විසින් එහි සිටින වැඩිහිටි පුද්ගලයින් සමග සමාජ මධ්‍යයේ පළකරනු ලබන වීඩියෝ හේතුවෙනි.

"ජිවිතේ මොකක් හරි කරුමයක් තිබිලා මගේ ඇස් දෙකෙන් මේ වගේ දෙයක් ඇස් දෙකට බලන්න ලැබුණ එක තරම් පවුකාර ඇස් දෙකක් මට තියෙන්නේ. මාවත් මෙකේ ඇතුළේ පිච්චිලා ගියා නම් කියලා හිතෙන තරම් දුකයි" යනුවෙන් ඊයේ (ජූනි 03) එම නිවාසයේ ඇති වූ ගින්න දැක්වෙන වීඩියෝවක් 'ලොකු අයියා Maupiya Sewana Manasika Niwasaya' නම් වූ ෆේස්බුක් ගිණුමේ පළකර තිබිණි.

එම වීඩියෝවට පරිශීලකයින් 6,000කට අධික පිරිසක් අදහස් පළකර තිබිණි.

සාලිය රත්නායක නමැති පරිශීලකයෙකු සඳහන් කර තිබුණේ, "මේ දෙවැනි වතාව නේ බං දැන්වත් ඔය මිනිස්සු අල්ලගෙන හම්බකරන එක නවත්තලා, ඔය මිනිස්සු හරියට බලාගන්න තේරෙන සේවකයෝ ගන්න. එහෙම බැරි නම් වෙන නිවාසවලට යවන්න," යනුවෙනි.

ෆේස්බුක් සමාජ මධ්‍යයේ පළව තිබු අදහස්.

ඡායාරූප මූලාශ්‍රය, Facebook

ඡායාරූප ශීර්ෂ වැකිය, පරිශිලකයින් පිරිසක් අදහස් දක්වමින් ප්‍රශ්න කර සිටියේ පුද්ගලයින් 69 දෙනෙකු රඳවා සිටි මධ්‍යස්ථානයේ ඉඩ පහසුකම් සහ එහි ආරක්ෂාව ප්‍රමාණවත් අයුරින් තිබුනේද යන්නයි.

එමෙන් ම, අනුරාධා ඉන්දීවරී නමැති තවත් කාන්තාවක චෝදනා කර තිබුණේ, 'ඇතුළේ මිනිස්සු ගිනි ගනිද්දී මෙයා වීඩියෝ කරනව ද කොහෙ ද' යනුවෙනි.

''අද කාලේ තමන්ගේ දෙමව්පියොත් එළියට ඇදලා දාන කාලේ මේ මනුස්සයා කළේ කොච්චර හොඳ දෙයක් ද, පව්කාර කතා කියන්න එපා,'' මධු ගජවීර නමැති තවත් පරිශීලකයෙකු සඳහන් කර තිබිණි.

තවත් පරිශිලකයින් පිරිසක් ප්‍රශ්න කර තිබුණේ, පුද්ගලයින් 69 දෙනෙකු රඳවා සිටි මධ්‍යස්ථානයේ ඉඩ පහසුකම් සහ එහි ආරක්ෂාව ප්‍රමාණවත් අයුරින් තිබුණේ ද? යන්න පිළිබඳව ය.

මේ අතර බීබීසී සිංහල වාර්තාකරු පැවසුවේ, ගින්නට හසුවී ජිවිතක්ෂයට පත්ව සිටි පුද්ගලයින් 'දම්වැල් ආධාරයෙන් ගැට ගසා' තිබූ බවට ද තොරතුරු වාර්තා වී ඇති බව ය.

'මේ නිවාසය ලියාපදිංචි කරලා නැහැ'

මව්පිය සෙවණ සෙනෙහසේ කැදැල්ල වැඩිහිටි නිවාසයේ ඉදිරිපිට ඡායාරූපයක්.
ඡායාරූප ශීර්ෂ වැකිය, බීබීසී සිංහල කළ විමසීමකදී ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය සඳහන් කළේ, මෙම වැඩිහිටි නිවාසය කිසිදු රාජ්‍ය ආයතනයක ලියාපදිංචි කර නොමැති බව ය.

බීබීසී සිංහල කළ විමසීමකදී ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය සඳහන් කළේ, මෙම වැඩිහිටි නිවාසය කිසිදු රාජ්‍ය ආයතනයක ලියාපදිංචි කර නොමැති බව ය.

2024 වසරේ සිට පවත්වාගෙන ගොස් ඇති මෙම වැඩිහිටි නිවාසයේ සේවය සඳහා හිමිකරු ඇතුළු පුද්ගලයින් 05 දෙනෙකු පමණක් සිට ඇති බවත්, එහි මානසික ආබාධ තත්ත්වයෙන් පෙළෙන පුද්ගලයින් 62 දෙනෙකු සහ වැඩිහිටි පුද්ගලයින් 08 දෙනෙකු රැඳී සිට ඇති බවත් ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාල වාර්තාවේ සඳහන් වේ.

ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂක චතුර මිහිදුම් බීබීසී සිංහල වෙත ලබා දුන් වාර්තාවට අනුව වැඩිහිටියන්ට නේවාසික සත්කාරය සපයනු ලබන ආයතනයක් පිහිටුවා පවත්වාගෙන යන ස්වේච්ඡා හෝ අන්‍යාකාරයක සෑම තැනැත්තෙකු විසින් ම එම ආයතනය වැඩිහිටි පුද්ගලයින් 05 දෙනෙකුට වඩා නේවාසිකව සිටින ආයතනයක් වන්නේ නම්, වැඩිහිටි තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනතේ දැක්වෙන විධිවිධානවලට අනුව ලියාපදිංචි විය යුතු ය.

මෙම ආයතනය කිසිදු රජයේ ආයතනයක ලියාපදිංචි කිරීමකින් තොරව හා රජයේ නිසි මාර්ගෝපදේශවලට අනුකූල නොවන පරිදි පවත්වාගෙන යාම හේතුවෙන්, මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණ සිදුකර ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අඟුරුවාතොට පොලිස් ස්ථානය දැනුවත් කර ඇති බව වැඩිහිටි මහ ලේකම් කාර්යාලය නිකුත් කර ඇති වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.