තමන්ට බරපතළ ලිංගික අපරාධයක් කළ බව කියන අනුරාධපුර ප්‍රධාන පෙළේ හිමිනමක් ගැන 15 හැවිරිදි දැරියක් අධිකරණයේදී හෙළි කරයි

ගැහැනු දරුවෙකුගේ බව පෙනී යන අතක්. ඇඟිලි විහිදාගෙන සිටින්නේ, යමක් ප්‍රතික්ෂේප කිරීමක් අඟවමිනි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, බීබීසී සිංහල
  • කියවීමේ කාලය: මිනිත්තු 4

අනුරාධපුර පුද බිමේ පිහිටි ප්‍රධාන විහාරස්ථානයක විහාරාධිපති හිමිනමක සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකු විසින් වරින් වර අවස්ථා ගණනාවකදී 15 හැවිරිදි බාලවයස්කාර දැරියක බරපතළ ලිංගික අපරාධයකට ලක් කිරීම සහ ලිංගික අපයෝජනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකර එම විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න ගම්පහ කොට්ඨාසයේ පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය නියෝග කර තිබේ.

අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙසේ නියෝග කර ඇත්තේ, ගම්පහ කොට්ඨාස පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය 22424/2026 අංක දරන බී වාර්තාව මගින් අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමිනි.

ඒ අනුව, අධිකරණයට කරුණු දක්වමින් ගම්පහ කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය ප්‍රකාශ කළේ, ලැබුණු තොරතුරකට අනුව, කළ සෝදිසි කිරීමකදී 15 හැවිරිදි බාලවයස්කාර දැරියක නිට්ටඹුව පොලිස් බල ප්‍රදේශයේ ලැගුම්හලක තම පෙම්වතා බව කියන පිරිමි පුද්ගලයෙකු සමග රැඳී සිටියදී පොලිස් භාරයට ගත් බව ය.

බාල වයස්කාර දැරියගේ පෙම්වතා බව කියන පුද්ගලයා ද පොලිස් අත්අඩංගුවට ගත් බව අධිකරණයට දැනුම් දී ඇති ගම්පහ කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය, අනතුරුව පොලිස් භාරයට ගත් බාලවයස්කාර දැරිය ගම්පහ මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා හමුවට අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ඉදිරිපත් කළ බව ද ප්‍රකාශ කර තිබේ.

මෑත දින කිහිපයකදී සහ මෙයට පෙර අවස්ථා කිහිපයකදී ද දැරිය ලිංගික අපරාධයකට ලක්ව ඇති බව විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා සිය අධිකරණ වෛද්‍ය පරීක්ෂණයේදී තහවුරු කර ඇති බව ද පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ ය.

අනුරාධපුරයේ විහාරාධිපති හිමිනම ගැන කළ අනාවරණය

තමන්ව මුලින් ම ලිංගික අපරාධයකට ලක් කළේ, අනුරාධපුර පුද බිමේ පිහිටි ප්‍රධාන විහාරස්ථානයක විහාරාධිපති හිමිනමක බව ප්‍රශ්න කිරීම්වලදී දැරිය ප්‍රකාශ කළ බවට පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

ඉන්පසුව සිය පෙම්වතා සහ ඥාති සහෝදරයෙකු ද තමන්ව ලිංගික අපරාධයකට ලක් කළ බව ද දැරිය ප්‍රශ්න කිරීම්වලදී තවදුරටත් ප්‍රකාශ කර ඇති බව ද අධිකරණයට දැනුම් දී ඇති ගම්පහ කොට්ඨාස පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය මෙම අපරාධය සම්බන්ධයෙන් දැනටමත් විමර්ශනයක් අරඹා ඇති බවත්, එකී විමර්ශනවල ප්‍රගතිය වාර්තා කිරීමට අධිකරණයේ අවසරය ලබා දෙන ලෙසත් පොලිසිය ඉල්ලා තිබේ.

ගම්පහ කොට්ඨාස පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ මෙම කරුණු දැක්වීම සැලකිල්ලට ගෙන ඇති අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න ඔවුන්ට නියෝග කර ඇත්තේ, මෙම අපරාධය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකර එම විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස යි.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

මේ අතර, මෙම අපරාධය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන සහකාර පොලිස් අධිකාරිවරයෙකු සහ ගම්පහ කොට්ඨාස පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනිය ඇතුළු විශේෂ පොලිස් විමර්ශන කණ්ඩායමක් අනුරාධපුරයට පැමිණ දින කිහිපයක් අනුරාධපුරයේ රැඳී සිටිමින් මේ සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින විහාරාධිපති හිමියන් වැඩ සිටින අනුරාධපුර පුදබිමේ පිහිටි අදාළ විහාරස්ථානයට ගොස් උන්වහන්සේගෙන් පැය 3කට අධික කාලයක් දීර්ඝව ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

විහාරාධිපති හිමියන් මෙම අපරාධය සිදු කළ බව කියන විහාරස්ථානයේ ස්ථානීය පරීක්ෂණයක් සඳහා වින්දිත බාල වයස්කාර දැරිය ද එම ස්ථානයට රැගෙන විත් විමර්ශනයක් කර ඇත.

මීට අමතරව, විමර්ශනවලට අදාළව ත්‍රිරෝද රථ රියැදුරන් ඇතුළුව තවත් පාර්ශ්ව කිහිපයකින් ද මේ දිනවල එම විශේෂ විමර්ශන පොලිස් කණ්ඩායම ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටී.

අපරාධය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින විහාරාධිපති හිමිනම මුලින් ම තමාව ලිංගික අපරාධයකට ලක් කිරීමෙන් පසුව රුධිරය තැවරුණු ඇදුම් තමන් වළ දැමු බව ද දැරිය සිය ප්‍රකාශ මගින් පොලිසියට දැනුම් දී ඇති බව අනාවරණය වී තිබේ.

දැරියගේ පියා සහ මව අදාළ විහාරාධිපති හිමියන්ගෙන් වරින් වරින විශාල මුදලක් ලබාගෙන තම 15 හැවිරිදි බාල වයස්කාර දියණිය එම හිමියන්ට ලබා දී ඇති බව ද මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇතැයි අධිකරණයට දැනුම් දී තිබේ.

මෙම අපරාධයට ලක්ව ඇත්තේ, මැදවච්චිය, රඹෑව, වැලෑව ප්‍රදේශයේ දැරියකි. මෙම අපරාධය සම්බන්ධයෙන් ගම්පහ කොට්ඨාස පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට 22424/2026 අංක දරන බී වාර්තාව මගින් කරුණු වාර්තා කර ඇත්තේ, 1995 අංක 22 දරන පනතින් සංශෝධිත ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 364(2) සහ 365(ආ)(2)(ආ) වගන්ති ප්‍රකාරව ය.

වින්දිත බාල වයස්කාර දැරිය දැනට රාගම ප්‍රදේශයේ පිහිටි විශේෂ ළමා නිවාසයක ආරක්ෂාව යටතේ රඳවා සිටී.