පකිස්ථානයෙන් ලද ඔත්තුවකින් ඇමෙරිකාව සහ ශ්‍රී ලංකාව කොළඹදී සිදුකළ මත්ද්‍රව්‍ය මෙහෙයුම ගැන හෙළිවූ තොරතුරු

    • Author, බීබීසී උර්දු
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 5

ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර ක්‍රියාත්මක වූ මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලයක් සම්බන්ධයෙන් කළ විශේෂ මෙහෙයුමකදී විශාල මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් කිහිප දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව පකිස්ථාන මත්ද්‍රව්‍ය මර්දන නිලධාරීහු පවසති.

පකිස්ථාන මත්ද්‍රව්‍ය මර්දන බළකාය සමඟ සහයෝගයෙන් ශ්‍රී ලංකාවේ අගනුවර වන කොළඹදී ඇෆ්ගනිස්ථාන වැසියන් පිරිසකගේ මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලයක් එරෙහිව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී කරච්චි සහ කොළඹ වරායන්හිදී මෙතැම්ෆටමින් (අයිස්) කිලෝග්‍රෑම් 671ක් බලධාරින් භාරයට ගෙන ඇති අතර, එම ජාලයට සම්බන්ධ පුද්ගලයන් කිහිප දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇතැයි පකිස්ථාන මත්ද්‍රව්‍ය මර්දන බළකාය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

"ඇෆ්ගනිස්ථානයෙන් ජාවාරම් කරනු ලබන මත්ද්‍රව්‍ය සඳහා පකිස්ථානය දීර්ඝ කාලයක් පුරාවට සංක්‍රමණ මාර්ගයක් සහ ඉලක්කගත රටක් වී තිබෙනවා. ජාත්‍යන්තර බැඳීම්වල කොටසක් ලෙස, මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව පකිස්ථානය සෑමවිට ම ජාත්‍යන්තර නීතිය ක්‍රියාත්මක කරන ආයතන සමග සමීපව සහයෝගයෙන් කටයුතු කරනවා. මෙම සන්දර්භය තුළ, පකිස්ථානය හරහා ඇෆ්ගන් මත්ද්‍රව්‍ය ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත ප්‍රවාහනය කළ ජාලය හෙළිදරව් කිරීමෙන් පකිස්ථාන මත්ද්‍රව්‍ය මර්දන බළකාය සැලකිය යුතු සාර්ථකත්වයක් අත්කර ගත්තා," යනුවෙන් පකිස්ථාන මත්ද්‍රව්‍ය මර්දන බලකායේ ප්‍රකාශකයා සඳහන් කළේ ය.

"ලැබුණු බුද්ධි තොරතුරු මත, පකිස්ථාන මත්ද්‍රව්‍ය මර්දන බළකාය විසින් 2026 ජූලි මාසයේදී කරාචි වරායේ මෙහෙයුමක් පකිස්ථානයේ බහාලුමකින් අයිස් කිලෝග්‍රෑම් 200ක් සොයාගෙන තිබෙනවා. එම මෙහෙයුමේදී ජාලයේ ඇෆ්ගන් නායකයා වන එහ්සානුල්ලා ඇතුළු පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත්තා," එම ප්‍රකාශකයා පැවසුවේ ය.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීම්වලදී ලැබුණු තොරතුරු ශ්‍රී ලංකා බලධාරීන් සහ එක්සත් ජනපද මත්ද්‍රව්‍ය බලාත්මක කිරීමේ පරිපාලනය (DEA) සමග හුවමාරු කරගෙන තිබේ. පකිස්ථාන මත්ද්‍රව්‍ය මර්දන බළකාය ලබා දුන් තොරතුරු මත පදනම්ව, ශ්‍රී ලංකා බලධාරීන් ඒකාබද්ධ මෙහෙයුමක් සිදුකර කොළඹ වරායේ බහාලුම් දෙකකින් තවත් අයිස් කිලෝග්‍රෑම් 471ක් සොයාගෙන ඇති අතර, ජාලයේ තවත් සාමාජිකයන් 6 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.

පකිස්ථාන මත්ද්‍රව්‍ය මර්දන බළකාය පවසන පරිදි, ඇෆ්ඝනිස්ථානයේ ජාවාරම් කළ අයිස් කිලෝග්‍රෑම් 671ක් මෙම ඒකාබද්ධ මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, ඒවා පකිස්ථානය භූමිය යොදා ගනිමින් ගෝලීය වෙළෙඳපොළ වෙත ප්‍රවාහනය කිරීමට උත්සාහ කරමින් සිට ඇත.

"සම්පූර්ණ මෙහෙයුමේදී පකිස්ථාන මත්ද්‍රව්‍ය මර්දන බළකාය මූලික කාර්යභාරයක් ඉටු කළා. දියුණු බුද්ධි තොරතුරු මත පදනම් වූ උපාය මාර්ගයක් හරහා මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලය හඳුනා ගත්තා. කාලෝචිත තොරතුරු හුවමාරුව සහ ජාත්‍යන්තර සංවිධාන සමග කාර්යක්ෂම සහයෝගීතාව නිසා විදේශ රටවල ද විශාල මෙහෙයුම් සිදුකිරීමට හැකි වුණා," පකිස්ථාන මත්ද්‍රව්‍ය මර්දන බළකායේ ප්‍රකාශකයා පැවසුවේ ය.

මීට පෙර, ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ප්‍රකාශ කළේ, පකිස්ථානයෙන් ආරම්භ වූ ක්‍රිස්ටල් මෙත් හෙවත් 'අයිස්' තොගයක් කොළඹදී සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් බව ය. මේ සම්බන්ධයෙන් පකිස්ථාන ජාතිකයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා පොලිසිය තහවුරු කළේ ය.

"එක්සත් ජනපද මත්ද්‍රව්‍ය නීති බලාත්මක කිරීමේ පාලනාධිකාරියේ (DEA) නවදිල්ලි කාර්යාලය සහ ශ්‍රී ලංකා පොලිසියේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය (PNB), ශ්‍රී ලංකාව හරහා ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත ක්‍රිස්ටල් මෙත් ජාවාරම් කිරීමට උත්සහ කළ පකිස්ථානය පදනම් කර ගත් මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලයක් බිඳ දැමූ සාර්ථක ඒකාබද්ධ මෙහෙයුමක් සිදු කළා," ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය විසින් නිකුත් කරන ලද X නිවේදනයක සඳහන් විය.

ඇමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකා බලධාරීන් පවසන පරිදි, මෙම මත්ද්‍රව්‍ය "අත්පිස්නාවල සඟවා" තිබූ අතර, මේ සම්බන්ධයෙන් පකිස්ථාන ජාතිකයන් ඇතුළු සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඇමෙරිකා එක්සත් ජනපද නිලධාරීන් තවදුරටත් පවසන්නේ, අගෝස්තු 14 සිට 29 දක්වා කාලය තුළ පකිස්ථානයෙන් කොළඹට පැමිණි සැකකටයුතු බහාලුම් සම්බන්ධයෙන් ලැබුණු බුද්ධි තොරතුරු මත මෙම මෙහෙයුම සිදුකළ අතර, එහිදී "පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් ඇමරිකානු ඩොලර් මිලියන 21ක වටිනාකමකින් යුත් ක්‍රිස්ටල් මෙත් කිලෝග්‍රෑම් 463ක් පමණ සිය භාරයට ගනු ලැබූ," බව ය.

කොළඹදී සිදුකළ මෙහෙයුම සම්බන්ධයෙන් වාර්තා වූයේ කුමක් ද?

AFP පුවත් සේවයට අනුව ශ්‍රී ලංකා පොලිසිය බදාදා ප්‍රකාශ කළේ, පකිස්ථාන මත්ද්‍රව්‍ය ජාලයක් ඉලක්ක කර ගත් ඒකාබද්ධ මෙහෙයුමකින් පසුව ඇමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකා මත්ද්‍රව්‍ය මර්දන නිලධාරීන් ක්‍රිස්ටල් මෙත් ටොන් භාගයකට ආසන්න ප්‍රමාණයක් සිය භාරයට ගත් බව ය.

නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන මාධ්‍යවේදීන්ට පැවසුවේ, සති අන්තයේ කොළඹට පැමිණි බහාලුමකින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 463ක් අත්අඩංගුවට ගත් බව ය. මේ සම්බන්ධයෙන් පකිස්ථාන ජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය පැවසුවේ, තුවා තුළ සඟවා තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 21ක වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකාව හරහා ජාත්‍යන්තර වෙළෙඳපොළවලට ජාවාරම් කිරීමට නියමිතව තිබූ බව ය.

තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වූයේ, අගෝස්තු 14 සිට අගෝස්තු 29 දක්වා පකිස්ථානයෙන් පැමිණි නැව් බහාලුම් නිරීක්ෂණය කිරීමෙන් පසුව ඇමෙරිකා එක්සත් ජනපද මත්ද්‍රව්‍ය බලාත්මක කිරීමේ පරිපාලන කාර්යාලය සහ ශ්‍රී ලංකා පොලිසියේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මෙම ඒකාබද්ධ මෙහෙයුම සිදුකළ බව ය.

ඇමෙරිකානු නිලධාරීන්ට පවසන පරිදි, මෙම මෙහෙයුම මගින් "ත්‍රස්තවාදයට මූල්‍ය සහය සපයන සහ රටවල් දෙකෙහි ම ප්‍රජාවන්ට තර්ජනයක් වන ජාත්‍යන්තර අපරාධ සංවිධාන කඩාකප්පල් කිරීමේ ඇමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර පවතින හවුල්කාරිත්වයේ ශක්තිය පෙන්නුම් කරයි."

මේ අතර, නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන පැවසුවේ, මෑතකදී සිදුකළ අයිස් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් දේශීය පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බවත්, මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත්තේ "තොරතුරක්" ලැබීමෙන් පසුව බවත් ය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ, පසුගිය ඔක්තෝබර් මාසයේ සිට ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුම හේතුවෙන් නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ටොන් 14ක් පමණ අත්අඩංගුවට ගෙන ඇති බව ය.

අත්අඩංගුවට ගත් තොගයට අයිස් ලෙස ද හඳුන්වන ක්‍රිස්ටල් මෙත්, හෙරොයින් සහ කොකේන් ඇතුළත් විය.

ශ්‍රී ලංකාවේ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පාර්ලිමේන්තුවට පැවසුවේ, නීතිවිරෝධී මත්ද්‍රව්‍ය බොහොමයක් ඇෆ්ඝනිස්ථානයෙන් සහ පකිස්ථානයෙන් පැමිණෙන අතර, ඒවා මුහුදු මාර්ගයෙන් දිවයිනට රැගෙන එන බව ය.

මිලියන 22ක ජනගහනයක් සිටින ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් සංඛ්‍යාව 400,000ක් පමණ වන බව ද ඔහු පැවසීය.

2024 ඔක්තෝබර් මාසයේදී, හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් වරද පිළිගැනීමෙන් පසු ඉරාන ජාතිකයන් 10 දෙනෙකුට ශ්‍රී ලංකා අධිකරණයක් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළේ ය.

ශ්‍රී ලංකාවේ මෙතෙක් සිදුකළ විශාලතම තනි මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම වාර්තා වූයේ, 2016 දෙසැම්බර් මාසයේදී ය. එහිදී, ඉන්දියාවට යැවීමට නියමිතව තිබූ ලී බහාලුමකින් කොකේන් කිලෝග්‍රෑම් 800ක් රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබිණි.