Exclusive: ප්‍රමාදයට හේතු සොයා සාගරිකා දුම්රියෙන් බෙලිඅත්තේ සිට කොළඹ කොටුවට බීබීසීය ගිය ගමන

    • Author, සම්පත් දිසානායක සහ හරිනි දිසානායක
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 9

"දුම්රිය ප්‍රමාදය නිසා උදේ අට හමාරට ඉන්න ඕනේ අය දහය හමාරට විතර ඔෆිස් එකට යනවා කියන්නේ ඔෆිස් එකට ගිහිල්ල වැඩක් කරන්න පුළුවන් ද? දවස ම නිකං මස්තබාල්දු වෙලානේ අපි ඔෆිස් එකට ගිහිල්ලා වැඩ කරන්නේ. උදේ ම ගිහිල්ලා වැඩ කරන කොට තමයි, අපිට යම් කිසි ගැම්මක් එන්නේ; වැඩක් කරන්න හිත දෙන්නේ. ඔෆිස් එකේ නිලධාරිනුත් ඊට පස්සේ හිතන්නේ මොකද් ද? කීයට ද ඔෆිස් එන්නේ, කීයට ද යන්නේ, පැය කීය ද ඔෆිස් එකේ ඉන්නේ. එතකොට අපිට කියන්න පුළුවන් ද අපි එන්නේ දුම්රියෙන් කියලා. ඒවා ඔෆිස්වලට දෙන්න පුළුවන් උත්තර නෙමෙයි නේ."

ප්‍රමාදයන් ගැන නිතර අසන්නට ලැබෙන මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදය නිසා මගීන්ට විඳීමට සිදුව ඇති දුෂ්කරතා ගැන සොයා බැලීම සඳහා බීබීසී අපි මැයි 25 වැනි සඳුදා බෙලිඅත්තේ සිට කොළඹ කොටුව දක්වා උදෑසන කාර්යාල දුම්රියෙන් පැමිණි ගමනේදී එම දුම්රියෙන් දිනපතා කොළඹට පැමිණෙන ලලිත් පන්නිල කියා සිටියේ ය.

බෙලිඅත්තේ සිට සාගරිකා දුම්රියෙන්...

සාගරිකා ශීඝ්‍රගාමී දුම්රිය බෙලිඅත්තෙන් දෛනිකව ගමන් ආරම්භ කරන්නේ අළුයම 4.15ටය. එය මාතර දක්වා සියලු ම දුම්රිය ස්ථානවල නතර කරයි.

මෙම දුම්රිය කොළඹ කොටුවට ළඟා වන වේලාව පෙරවරු 8.19 ලෙසත්, මරදාන දුම්රිය ස්ථානයට ළඟා වන වේලාව පෙරවරු 08.26 ලෙසත් දුම්රිය දෙපාර්තමේන්තුව සිය වෙබ් අඩවියේ සඳහන් කර තිබේ.

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයෝ බහුතරයක් දෛනිකව මෙම දුම්රියේ ගමන් කරති.

රාජ්‍ය ආයතන බොහෝමයක රාජකාරි කටයුතු පෙරවරු 8.30ට ආරම්භ වන අතර රාජකාරි නිමා වන්නේ පස්වරු 4.15ට ය.

එදින පෙරවරු 4ට පමණ අපි බෙලිඅත්ත දුම්රිය ස්ථානය වෙත යන විටත් මගීන් රැසක් දුම්රියට ගොඩ වී සිටින අයුරු අපට දැක ගත හැකිවිය.

දුම්රිය පිටත්වන වේලාව ආසන්නවත් ම ත්‍රීරෝද රථවලින් හා යතුරු පැදිවලින් බසිමින් මගීන් වේගයෙන් දුම්රිය වෙත දිවයන අයුරු ද අපට දැකගත හැකිවිය.

දෙවැනි පන්තියේ ප්‍රවේශ පත්‍ර මිල දී ගනිමින් අපි සාගරිකා දුම්රියට ගොඩ වුණෙමු.

බෙලිඅත්තේ සිට කොළඹ කොටුව දක්වා දෙවැනි පන්තියේ දුම්රිය ප්‍රවේශ පත්‍රයක මිල රුපියල් 650කි.

බෙලිඅත්තේ සිට මාකුඹුර (කොට්ටාව) දක්වා අධිවේගී මාර්ගයේ ගමන්ගන්නා බස් රථ ප්‍රවේශපත්‍රයක මිල රුපියල් 1290කි. ඒ අනුව බලන විට සාගරිකා දුම්රියේ දෙවන පන්තියේ ප්‍රවේශ පත්‍රයක මිල අධිවේගී මාර්ගයේ බස් රථයේ ප්‍රවේශපත්‍ර ගාස්තුවෙන් අඩකට අසන්න අගයකි. තුන්වන පන්තියේ දුම්රිය ප්‍රවේශපත්‍රයක ගාස්තුව රුපියල් 340කි.

දුම්රිය ගාස්තු සාපේක්ෂව අඩු වීම මෙන් ම, ගමන් විඩාව හා තෙහෙට්ටුව අඩුවීම නිසා තමන් රාජකාරි ස්ථානය වෙත යාමට දුම්රිය තෝරා ගන්නා බව දුම්රිය මගීහු අප වෙත පැවසූහ.

ඔවුන් සඳහන් කළේ ප්‍රමාදයකින් තොරව නිසි නඩත්තුවකින් යුතුව ධාවනය වන්නේ නම් තමන්ට පහසුම ප්‍රවාහන මාධ්‍ය දුම්රිය සේවය බවයි.

"මේ ට්‍රේන් එක යන්නේ හරියට අපි අර කතාවට කියන නාකි බල්ලෝ කොළඹ යනවා වගේ. අන්න ඒ විදිහේ ගමනක් තමයි මේ යන්නේ. සමහර වෙලාවට මේක නවත්තන්නේ නැති ස්ටේෂන්වලිනුත් බහින්න පුළුවන් මට්ටමේ ස්ලෝ. මේ වගේ තත්ත්වයක් තියාගෙන එක්ස්ප්‍රස් ට්‍රේන් යන්න බැහැනේ," ලලිත් පන්නිල පැවසීය.

ඔහු කියා සිටියේ‍ පසුගිය අප්‍රේල් මස වාද්දූව ප්‍රදේශයේදී සාගරිකා දුම්රිය පීලි පැනීමෙන් පසු දුම්රිය ප්‍රමාදය තවත් උග්‍ර වී ඇති බවයි.

එම සිද්ධියෙන් පසු, මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ස්ථාන ගණනාවක වේග සීමා පනවා ඇති අතර දුම්රිය රියැදුරන් ඒ අනුව කටයුතු කරමින් දුම්රිය ධාවනය කරයි.

බීබීසී සිංහල එදින නිරීක්ෂණය කළ පරිදි අළුයම 4.17ට බෙලිඅත්තෙන් ගමන් ආරම්භ කළ සාගරිකා ශීඝ්‍රගාමී දුම්රිය සිය ගමනාන්තය වූ මරදාන දුම්රිය ස්ථානයට ළඟා වූයේ පෙරවරු 08.43ට ය.

දුම්රිය ප්‍රමාදයෙන් රටට අහිමි වන මිනිස් පැය

සාගරිකා දුම්රිය පමණක් නොව, මුහුදුබඩ මාර්ගයේ ධාවනය වන සෙසු දුම්රිය ද මෙම වේගසීමා පැනවීම නිසා ප්‍රමාද වන බව දුම්රිය මගීහු අප වෙත පැවසූහ.

සාගරිකා දුම්රියේදී අපට හමුවූ නදීරා ඛේතකී පැවසූවේ, තමන් දුම්රිය බලධාරීන්ගෙන් කරන 'එක ම ඉල්ලීම දුම්රිය වේලාවට ධාවන කිරීම' බවයි.

කළුතර සිට රත්මලාන දක්වා දෛනිකව දුම්රියෙන් ගමන් කරන ඇය කියා සිටියේ, පසුගිය මස සිදුවූ දුම්රිය පීලිපැනීමේ සිද්ධියෙන් පසු දුම්රිය විනාඩි 30 - 40 ප්‍රමාද වන බවයි.

මුහුදු බඩ දුම්රිය මාර්ගය පමණක් නොව සෙසු දුම්රිය මාර්ගවල ද අවධානයෙන් දුම්රිය ධාවනය කළ යුතු ස්ථාන නම්කර වේගසීමා පනවා ඇති බව දුම්රිය රියැදුරු වෘත්තීය සමිති බීබීසී සිංහල වෙත කියා සිටියේ ය.

එක් දුම්රියක මගීන් 1000-2000කට ආසන්න සංඛ්‍යාවක් ගමන් ගන්නේ යැයි උපකල්පනය කළහොත් දුම්රියක මිනිත්තු කිහිපයක ප්‍රමාදයකින් රටට අහිමිවන මිනිස් පැය වල වටිනාකම මිල කළ නොහැකි තරම් ය. එය රටේ සමස්ත කාර්යක්ෂමතාවට සහ ඵලදායීතාවයට ඍජුව ම බලපායි.

"මේ ට්‍රේන් එකේ බහුතරයක් ඉන්නේ, ට්‍රේන් ස්ටේෂන් එකේ ඉඳලා කිලෝමීටර් 10, 15 , 20, 30 ඇතුළේ ඉඳන් එන මිනිස්සු, මම කිලෝ මීටර් 28ක් එනවා බයිසිකලයේ, ඇවිල්ලා තමා මේ ට්‍රේන් එකට නගින්නේ හික්කඩුවෙන්. එන්න 28යි, යන්න 28යි කිලෝ මීටර් 56ක් දවසකට බයික් එකේ යනවා. වරුසාවේ තෙමීගෙන, ඉටි රෙදි පෙරවගෙන පිස්සෝ වගේ. ට්‍රාන්සර් ඉල්ලුවා ඒවා හම්බෙන්නෙත් නැහැ. පෙන්ෂන් පේපර් ටික භාර දීලා ගෙදර නතර වෙන්න තමා මේ අවුරුද්ද අවසන් වෙන කොට සැලසුම් කරගෙන ඉන්නේ. ඒ තරම් ම තිත්ත වෙලා තියෙන්නේ," කොළඹ රජයේ දෙපාර්තමේන්තුවක සේවය කරන රාජ්‍ය නිලධාරියෙකු දුම්රිය ප්‍රමාදය නිසා තමන්ට දෛනිකව විදීමට සිදුව ඇති දුෂ්කරතා පිළිබඳ බීබීසී සිංහල වෙත එලෙස කියා සිටියේය.

නම හෙළි නොකරන ලෙස ඉල්ලා සිටිමින් බීබීසී සිංහල වෙත කතා කළ ඔහු මෙන් ම සාගරිකා දුම්රියෙන් දිනපතා රාජකාරී ස්ථානයට යාමට පුරුදුව සිටින තවත් මගීන් රැසක් තම කටුක අත්දැකීම් අප වෙත විස්තර කළේ මෙසේ යි.

'එන වෙලාවත් එක්ක ෂෝට් ලීව්වලින් කැපෙනවා'- මගීන්ගේ මැසිවිලි

"ෂොට් ලීව් දෙකයි, ට්‍රේන් ලේට් දෙකයි දෙන්නේ මාසයකට. ට්‍රේන් ලේට් දෙකකින් එහාට දෙන්නේ නැහැ මාසයකට. ඉතින් මේක ලේට් වුණොත් අපි ලේට් ඒක කවර් කරලා තමා එන්නේ හවසට. ඉදලා එන්න ඕනේ, ෆින්ගර් ප්‍රින්ට් එකනේ තියෙන්නේ, අපි හතරයි කාලට ඕෆ් වෙනවා නේ. එතකොට විනාඩි 10ක් ලේට් වුණොත් 4.25ට ඕෆ් වෙලා යන්තම් දුවගෙන යන්න පුළුවන් කොටුවට. ගිහිල්ලා මේක අල්ලගන්නවා. බැරිවුණොත් හික්කඩුව එකේ හරි සමුද්‍රේ හරි ඔහොම තමයි එන්නේ."

"ආයතනය පැත්තෙන් අපිට සහනයක් නැහැ. අපේ ආයතනයේ මාසික දිරි දීමනාවක් දෙන ආයතනයක්, ඒ හින්දා ඒගොල්ලෝ කියන්නේ කෝච්චියෙන් වෙලාවට එන්න බැරි නම් බස් එකේ හරි එන්න කියලා," මහලේකම් කාර්යාල දුම්රිය නැවතුමට ආසන්නව පිහිටි රාජ්‍ය දෙපාර්තමේන්තුවක සේවය කරන තවත් නිලධාරියෙක් අප වෙත පැවසීය.

ගාල්ල සහ බම්බලපිටිය අතර දිනපතා දුම්රියෙන් ගමන් කරන චතුර රාජපක්ෂ කියා සිටියේ, දුම්රිය අවම පැය භාගයක් පමණ ප්‍රමාද වන බවයි.

"හාෆ් ඩේ නම් හාෆ් ඩේ. නැත්නම් ෂෝට් ලීව් තුනක් ගිහිල්ලා හාෆ් ඩේ එකක් කැපෙනවා. මම බම්බලපිටියෙන් බැහැලා වෙන ට්‍රන්ස්පෝට් එකක යනවා. බොහෝ වෙලාවට බම්බලපිටියට විනාඩි 25-30ක් පරක්කු වෙනවා. අපි කාර්යාලයට එන වේලාවත් එක්ක එක්කෝ ෂෝට් ලීව්වලින් කැපෙනවා. නැත්නම් හාෆ් ඩේවලින් කැපෙනවා. ඔෆිස් එකට යනකොට නමය කිට්ටු වෙනවා, නැත්නම් 9 පහු වෙනවා. නිවාඩු 45ක් තියෙනවා. දැන් 45න් භාගයක් ගිහිල්ලා මේ ටිකට."

"රැකියා ස්ථානයත් එක්ක අපි කතා කළා. මීට ඉස්සර තිබ්බා රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයක් නිකුත් කරලා ඒ ප්‍රමාදයට සහන දෙන්න කියලා. අපි කියන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය දැනුවත් කරලා අපිට සහන දෙන්න පුළුවන් නම් හොඳයි. ඒක මීට වැඩිය හොඳයි. මොකද මිනිස් පැය නේ මේ යන්නේ."

'අපිට කියනවා මිනිහෙක් ඇවිදන් යන වේගයට කෝච්චියක් එලවන්න කියලා' - දුම්රිය රියැදුරන්ගෙන් චෝදනා

දුම්රියක් සැලසුම් කළ වේලාවට ධාවනය කිරීමට හොඳ ධාවන තත්ත්වයේ ඇති දුම්රියක්, හොඳින් නඩත්තු කළ දුම්රිය මාර්ගයක් මෙන් ම හොඳ සංඥා පද්ධතියක් අත්‍යවශ්‍ය සාධක වනු ඇත.

ලොකොමෝටිව් නිලධාරීන්ගේ සංගමයේ ලේකම් S.R.C.M. සේනානායකගෙන් බීබීසී සිංහල මේ සම්බන්ධයෙන් විමසීමක් කළේ ය.

ඔහු කියා සිටියේ දුම්රිය වේග සීමා පැනවීම මෙම ප්‍රමාදයන්ට දැඩිව බලපා ඇති බවයි.

"කොළඹ කොටුවේ ඉඳන් මරදානට යද්දි පැයට කිලෝමීටර් 8 යන්නත් තැන් තියෙනවා. පැයට කිලෝ මීටර් 8ක් කියන්නේ මිනිස්සු ඇවිදන් යන වේගය. ලෝකේ පැයට කිලෝමීටර් 600 - 700ට කෝච්චි දුවනවා. අපිට කියනවා මිනිහෙක් ඇවිදන් යන වේගයට කෝච්චියක් එලවන්න කියලා. අපිට මේක දැකලා දැකලා විහිළු නොවුණට වෙන මිනිස්සුන්ට මේවා විහිළු."

දැනට මෙරට දුම්රිය, සංඥා පද්ධති සහ මාර්ග යන අංශ තුන ම දුම්රියක් ධාවනය කිරීමට සුදුසු තත්ත්වයක නොමැති බව ද ඔහු සඳහන් කළේ ය.

"මාර්ග සම්බන්ධයෙන් ගත්තොත් දරුණු ඛේදවාචකයක් තමා දැනට තියෙන්නේ, අපිට කොළඹ කොටුව සිට පානදුර දක්වා මාර්ගය ධාවනය කරන්න සෑහෙන්න අපහසු තත්ත්වයක් තියෙන්නේ. වේග සීමා සෑහෙන්න පනවලා තියෙනවා."

ඔහු කියා සිටියේ, දැනට ධාවනය කරන ඇතැම් දුම්රිය එන්ජින්වල වේග මාපක පවා නොමැති බවයි.

"අපේ තියෙන බොහෝ දුම්රියවල වේග මාපකවත් නැහැ. බොහෝ දුම්රිය එන්ජින් රියැදුරන් තමන්ගේ හිතේ මිම්මට තමා දුම්රිය එලවන්නේ. සමහර ඒවගේ නිවැරදිතාව කොච්චර ද කියලා අපිට ගැටලු තියෙනවා. බෙහෝ දුම්රියවල මේවා නෑ. තියෙන එවගෙත් ප්‍රශ්නයක් තියෙනවා. පැයට කිලෝමීටර් 10, 15, 20, 30 කියලා මේ ගොල්ලෝ ස්පීඩ් ලිමිට් දාගෙන යනවා, නමුත් දුම්රිය එන්ජින් රියදුරාගේ හිතේ මිම්මට තමා මේක යන්නේ. එතකොට සෑහෙන ප්‍රශ්නයක්. ඉතින් මහජන ආරක්ෂාව සහ මේවා ගැන නොහිතන එකම ඇත්තමට නීතිවිරෝධී වැඩක් කියන එක තමා අපි හිතන්නේ."

මේ අතර දුම්රිය වෘත්තීය සමිති පෙන්වා දෙන ආකාරයට කොවිඩ් සමයට පෙර දෛනිකව ධාවනය වූ දුම්රිය ගමන් වාර සංඛ්‍යාව 450කට ආසන්න විය.

කොවිඩ් සමයෙන් පසු එම දුම්රිය ගමන්වාර සංඛ්‍යාව 350කට පමණ අඩුවී තිබේ. දිට්වා සුළි කුණාටුවෙන් උඩරට දුම්රිය මාර්ගය, මහනුවර - මාතලේ අතර දුම්රිය මාර්ග ඇතුළු දුම්රිය මාර්ග පද්ධතියට දැවැන්ත හානියක් සිදුවිණි.

මේ හේතුවෙන් දැන් දෛනිකව ධාවනය වන දුම්රිය ගමන්වාර සංඛ්‍යාව 184කට පමණ සීමා වී තිබේ.

'ඔය වේග සීමා තියෙද්දි ම තමා වෙලාවට ආවේ, ඔය වේග සීමා තියෙද්දි ම තමා වෙලාවට ආවේ නැත්තෙත්' - දුම්රිය සාමාන්‍යාධිකාරී

"මගී හා භාණ්ඩ ප්‍රවාහනය සඳහා ආරක්ෂිත, විශ්වාසදායී, නියමිත වේලාවට ධාවනය වන, සකසුරුවම් හා කාර්යක්ෂම දුම්රිය ප්‍රවාහන සේවා සපයමු," යන්න ශ්‍රී ලංකා දුම්රිය සේවයේ මෙහෙවර ප්‍රකාශය ලෙස දැක්වෙයි.

දුම්රිය මාර්ගය හා පාලම් නිසා පරිදි නඩත්තු කිරීම වෙනුවට දැනට සිදුවන්නේ වේග සීමා පැනවීම වැනි පැලැස්තර විසඳුම් බවත්, මෙම තත්ත්වයට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ප්‍රමුඛ නිලධාරීන් වගකිව යුතු බවත්, දුම්රිය මගීහු අප සමග කියා සිටියහ.

ඒ අනුව මෙම චෝදනා සහ දුම්රිය මගීන්ගේ මැසිවිලි සහ දුම්රිය ප්‍රමාදය නතර කිරීම සඳහා ගෙන ඇති පියවර සම්බන්ධයෙන් දුම්රිය සාමාන්‍යාධිකාරී රවීන්ද්‍ර පද්මප්‍රියගෙන් බීබීසී සිංහල විමසා සිටියේ ය.

ඔහු සඳහන් කළේ මාර්ගය පිලිසකර කිරීම සඳහා රේල්පීලි 10,000ක් ගෙන්වීමට පියවර ගෙන ඇති බවයි.

"අපි පුළුවන් තරම් ජනතාවට උපරිම සේවයක් දෙන්න උත්සහ කරනවා. පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒක අද ඊයේ ඇති වෙච්ච ප්‍රශ්න ටිකක් නෙමෙයි. මේවා එක පාර විසඳන්න බැහැ. අපි උත්සහ කරනවා සැලකිය යුතු අඩු කාලයකින් අවසන් කරන්න සහ තව අවුරුදු 5කින් බලන්න පුළුවන් හොඳ සර්විස් එකක් දෙපාර්තමේන්තුවෙන්. දැන් ඒකට සැලසුම් සකස් කරලා තියෙන්නේ."

"වේග සීමා ඉතින් සාමාන්‍යයෙන් දාලා තියෙනවා හැම තැන ම වගේ, හේතුව තමා මුහුදු ඛාදනයත් තියෙනවනේ එක පැත්තක, ඒවගේ තැන්වල ගොඩක් වෙලාවට වේගසීමා අඩු කරලා ඇති, පාලම් 10ක් අලුත්වැඩියා කරන්න තියෙනවා. ඒ පාලම් දහයේ වේග සීමා දාලා ඇති."

"ඊට අමතරව නම් වේග සීමා දාපු තැන් නැහැ. මොකද දැන් ගොඩක් පාර හදලා තියෙන්නේ, පොඩි පොඩි තැන් ටිකක් තමා තියෙන්නේ, පාලම් ටිකත් හැදෙන්න පටන් අරන් තියෙන්නේ, කරගෙන යනවා ඒ ටික. 2027 අවසන් වෙන කොට අපි බලාපොරොත්තු වෙනවා පාලම් 10 හදලා ඉවර කරන්න. අපිට ඉතුරු වෙන ලොකු ම එක කැලණි පාලම විතරයි. ඒකට ටික දවසක් යයි. කොස්ටල් ලයින් එකේ පාලම් ටිකනම් ට්‍රයි කරනවා ලබන අවුරුද්දේ අන්තිම වෙන කොට ඉවර කරන්න."

දුම්රිය ප්‍රමාදයට හේතුව වේගසීමා පැනවීම ම නොවන බව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා කියා සිටියේ ය.

"ඒක පාර නිසා නෙමෙයි. ඩ්‍රයිවර්ලා ඕනෑ කමින් කරන එකක්. ඔය වේග සීමා තියෙද්දි ම තමා වෙලාවට ආවේ, ඔය වේග සීමා තියෙද්දි ම තමා වෙලාවට ආවේ නැත්තෙත්, ඒක ඒගොල්ලන්ගේ එකක්. අපි ඒගොල්ලන්ගේ ඉල්ලීමක් කළා එහෙම කරන්න එපා කියලා. දැන් ටිකක් හරි ගිහිල්ලා තියෙනවා. දැන් ටිකක් ප්‍රමාදයි. හරි ගිහිල්ලා තියෙනවා."

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා කියා සිටියේ, දුම්රියේ සේවයේ ඉදිරි සංවර්ධන කටයුතු ඉදිරි වසරවලදී දැක ගැනීමට හැකිවනු ඇති බවයි.

"දුම්රිය දෙපාර්තමේන්තුවට ලොකු මුදලක් ලැබිලා තියෙනවා මේ අවුරුද්දේ, බිලියන 60කට ආසන්න මුදලක්" ඔහු කියා සිටියේ ය.