ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ගංවතුර සහ නායයාම් මැද ඉදිරි පැය 24 තුළ කාලගුණයට කුමක් වෙයි ද?
මහවැලි ගඟ, කැලණි ගඟ සහ කළු ගඟ යන ගංගා ද්‍රෝණිවල ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් තද වැසි ඇද හැලෙමින් තිබේ.
අද (අගෝ: 03) පෙරවරු 3.30න් අවසන් වූ පැය 24 තුළ වැඩි ම වර්ෂාපතනයක් වාර්තා වී ඇත්තේ, නුවරඑළිය දිස්ත්‍රික්කයේ කැනියන් ප්‍රදේශයෙනි. එම අගය මිලිමීටර් 191කි.
ඊයේ රාත්‍රියේදී නාවලපිටිය, වටවල, නානුඔය ඇතුළු ප්‍රදේශවලයට ද ඉතා තදවැසි ලැබී තිබේ.
මහවැලි ගඟ ආශ්‍රිතව මහ ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක්
ඉදිරි පැය 48ක කාලය තුළ මහවැලි ගඟ ආශ්‍රිතව මහ ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. ඊට හේතුවී ඇත්තේ, මහවැලි ගඟ ආශ්‍රිත ප්‍රදේශවලට ඉදිරි වර්ෂාපතන පුරෝකථන සහ කොත්මලේ ජලාශයේ වාන්දොරටු විවෘත කිරීමේ අවදානම හේතුවෙනි.
එම අවදානම පවතින්නේ,
- උඩුනුවර
- උඩපළාත
- යටිනුවර
- දොළුව
- කොත්මලේ
- පස්බාගේ
- ගඟ ඉහළ කෝරළේ
- පස්බාගේ කෝරළේ
- ගඟවට කෝරළේ
- හාරිස්පත්තුව
- පාතදුම්බර
එබැවින් එම ප්‍රදේශවල මහවැලි ගඟට සමාන්තරව පවතින නිම්න ආශ්‍රිත පදිංචි මහජනතාවගෙන් ඒ සම්බන්ධව දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත්, ඇතිවිය හැකි ගංවතුර තත්ත්වයකින් ආරක්ෂාවීමට කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ඉල්ලා සිටිනු ලැබේ. මේ සම්බන්ධව අවශ්‍ය සියලුම හදිසි ආපදා කළමනාකරණ අංශවලින් ඉල්ලා සිටිනු ලැබේ. ඉදිරියේදී තවදුරටත් වැසි ලැබෙන අපේක්ෂාවෙන් කටයුතු කරන ලෙසත් මහජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.
මේ අතර, පවතින කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සියලුම අධ්‍යයන කටයුතු සහ විභාග, නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව අත්හිටුවීමට පේරාදෙණිය විශ්වවිද්‍යාල පාලනාධිකාරිය තීරණය කර ඇත.
කැළණි ගඟ ද්‍රෝණියට නිකුත් කළ ගංවතුර අනතුරු අඟවීම දීර්ඝ කරයි
කැලණි ගඟ ද්‍රෝණියේ ලක්ෂපාන, නෝර්වුඩ් ප්‍රදේශවලට ඉතා තද වැසි ලැබී ඇත.
"සමහර පහත්බිම් ජලයෙන් යටවෙන්න පුළුවන් - අවිස්සාවේල්ල, කිතුල්ගල සහ නෝර්වුඩ් අතර පහත් බිම් යටවීමේ අවදානම පවතිනවා," වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාරණ අධ්‍යක්ෂ එල්.එස්. සූරියබණ්ඩාර සඳහන් කළේ ය.
ඒ අනුව කැළණි ගඟ ද්‍රෝණියට නිකුත් කළ ගංවතුර අනතුරු අඟවීම ඉදිරි පැය 48 සඳහා දීර්ඝ කර තිබේ.
මේ අතර, රත්නපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට තද වැසි ඇති වී තිබෙන අතර, රත්නපුරයේ කළු ගඟ ආශ්‍රිත ඇතැම් පහත්බිම් යටවීමේ අවදානමක් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. කළු ගඟේ ජල මට්ටම අවදානම් මට්ටම දක්වා වැඩි වී පැවතිය ද, විශාල ගංවතුර අවදානමක් නැතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසීය.
එම දෙපාර්තමේන්කුව සඳහන් කළේ, නිල්වලා සහ ගිං ගඟ ආශ්‍රිතව ගංවතුර තත්ත්වයක් අපේක්ෂා නොකර බව ය.
ඊට අමතරව, මහඔය සහ අත්තනගලු ඔය ආශ්‍රිතව ද ගංවතුර තත්ත්වයක් අපේක්ෂා නොකෙරේ.
මඩකලපුව දිස්ක්‍රික්කයට ද තද වැසි ලැබී ඇතත්, ගංවතුර අවදානමක් නැතැයි වාරිමාර්ග දොපාර්තමේන්තුව සඳහන් කළේ ය.
තද වැසි සමග ගංගාවල ජල මට්ටම් ක්ෂණිකව වැඩි වීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳව සැලකිලිමත් වන ලෙස වාරිමාර්ග දෙපාර්තෙම්න්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ඉදිරි පැය 24 තුළ වැසි ඇති වන්නේ කුමන ප්‍රදේශවලට ද?
මධ්‍යම, සබරගමුව, ඌව, නැගෙනහිර සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර, එම ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තෙම්න්තුව සඳහන් කළේය.
සබරගමුව පළාතේත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකි යි.
බස්නාහිර, වයඹ සහ උතුරු-මැද පළාත්වල වැසි වාර කීපයක් ඇති වනු ඇත.
මුලතිව් දිස්ත්‍රික්කයේ පස්වරු 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි ය.
උතුරු-මැද, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තෙම්න්තුව සඳහන් කළේ ය.
ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
නායයාම් අවදානම ඇති ප්‍රදේශ මොනවා ද?
පවතින අධික වර්ෂාව සමග නායයාම් අවදානම හේතුවෙන්, මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළය සහ ගඟඉහළ කෝරළය යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල පදිංචිකරුවන්ට ඉවත් වීමේ රතු නිවේදනය නිකුත් කර තිබේ.
මීට අමතරව,
- මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර සහ උඩපළාත
- කෑගල්ල දිස්ත්‍රික්කය යටියන්තොට සහ අරණායක
- නුවරඑළිය දිස්ත්‍රික්කයේ - නුවරඑළිය, නෝර්වුඩ්, අඹගමුව, කොත්මලේ බටහිර සහ කොත්මලේ නැගෙනහිර
- රත්නපුර දිස්ත්‍රික්කයේ, ඕපනායක, ඉඹුල්පේ සහ රත්නපුර
මීට අමතරව
- මහනුවර දිස්ත්‍රික්කයේ - පන්විල සහ මැදදුම්බර
- කෑගල්ල දිස්ත්‍රික්කයේ - දෙහිඕවිට සහ දැරණියගල
- රත්නපුර දිස්ත්‍රික්කයේ - නිවිතිගල සහ කුරුවිට අදියර 01 යටතේ විමසිලිමත් වන ලෙසට අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ.
වැසි සහ තද සුළං ඉදිරි පැය 24 තුළදීත්
සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන්, දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල පවතින වැසි සහිත සහ සුළං සහිත කාලගුණ තත්ත්වය ඉදිරි පැය 24 තුළත් අඛණ්ඩව පවතිනු ඇත.
සබරගමුව පළාතේ මෙන් ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැක.