කොරියානු රැකියා සඳහා අයැදුම් කිරීමේ නිවැරදි ක්‍රමවේදය කුමක් ද?

    • Author, බීබීසී සිංහල
  • කියවීමේ කාලය: මිනිත්තු 4

ඔබත් දකුණු කොරියානු රැකියාවකට යාමට සිහින දකින අයෙක් ද? එසේ නම් මෙම ලිපිය ඔබටයි.

කොරියානු රැකියා සිහිනය ජය ගැනීමේ මාර්ගය ගැන ඔබට මෙමගින් පැහැදිලි අවබෝධයක් ලබා ගත හැක.

වර්තමානය වන විට මෙරට තරුණ තරුණියන් අතර කොරියානු රැකියා සඳහා අයැදුම් කිරීම කෙරෙහි පවතින්නේ ඉහළ තරගකාරීත්වයකි.

අයැදුම් කිරීමේ ක්‍රමවේදය කුමක් ද?

විදේශසේවා නියුක්ති කාර්යාංශයට අනුව දකුණු කොරියාව රැකියා සඳහා ශ්‍රමිකයින්‌ යොමු කිරීමේදී පහත සඳහන් ක්ෂේත්‍ර හතර සඳහා එය සිදු කෙරේ. මෙම යොමු කිරීම් සිදු කරන්නේ විදේශ සේවා නියුක්ති කාර්යංශයේ මැදිහත් වීම මතයි.

  • ධීවර
  • නිෂ්පාදන
  • ඉදිකිරීම්
  • නාවික යාත්‍රා නිෂ්පාදන

දැන් අප කොරියානු රැකියා සිහිනයට යාමට ඇති ගමන් මග ගැන පියවරෙන් පියවර අවබෝධයක් ලබා ගමු.

කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය

ඔබ කොරියානු රැකියාවකට යාමට සිහින දකින අයෙකු නම් ඒ වෙනුවෙන් ඔබට ලැබෙන පළමු අභියෝගය වන්නේ, කොරියානු භාෂා ප්‍රවීණාතා විභාගයයි. කොරියානු රැකියාවක් සඳහා යන සියලු දෙනා මෙම විභාගය සමත් වීම අනිවාර්ය වේ.

මෙම විභාගයෙන් සිදු කරන්නේ, ඔබ සතුව පවතින කොරියානු භාෂා හැකියාව මැන බැලීමයි. මෙම විභාගය මුහුණ දෙන අයැදුම්කරුවන්ගේ ස්වභාවය මත කොටස් 3කට වෙන් කර ඇත.

සාමාන්‍ය කොරියානු භාෂා ප්‍රවීණතා පරීක්ෂණය (Normal EPS Topik)

මෙම පරීක්ෂණයට සුදුසුකම් ලැබෙන්නේ පළමු වරට දකුණු කොරියානු රැකියාවක් සඳහා අයැදුම් කරන අයදුම්කරුවන් වේ.

  • මෙම විභාගය Employment Permit System - Test of Proficiency in Korean ලෙස හඳුන්වයි. මෙම විභාගය සඳහා අයැදුම් කිරීමට පහත සඳහන් සුදුසුකම් සපුරා තිබිය යුතු ය.
  • වයස සීමාව අවුරුදු 18 වශ 39 අතර වීම.
  • අයැදුම්කරුවන් සිරගත වීමක් හෝ බරපතළ දඬුවමකට ලක්ව නොසිටීම.
  • අයැදුම්කරුවන් සඳහා කොරියානු ජනරජයෙන් පිටුවහල් කිරීමේ හෝ පිටත්වීමේ නියෝගයක් නිකුත් කර නොතිබීම.
  • කොරියාවේ නීති විරෝධී ලෙස එක් දිනක් හෝ රැඳී නොසිටිය යුතු ය.
  • අයැදුම්කරුවන් ශ්‍රී ලංකාවෙන් පිටත්වීමේ තහනමකට ලක් නොකො‌ට තිබීම.
  • අයැදුම්කරුවන් වර්ණ අන්ධතාවයෙන් හෝ වර්ණ දුර්වලතාවයෙන් තොර වීම.
  • E9 හා E10 වීසා කාණ්ඩය යටතේ වසර 5ක් හෝ වැඩි කාලයක් කොරියාවේ සේවයේ යෙදී සිටි පුද්ගලයින් හට මේ සඳහා ඉල්ලුම් කළ නොහැක.

මෙහිදී E9 වීසා යනුවෙන් හඳුන්වනුයේ නිෂ්පාදන, ඉදිකිරීම් ආශ්‍රිත රැකියා සඳහා ලබා දෙන සාමාන්‍ය වීසා වන අතර E10 වීසා යනුවෙන් හඳුන්වන්නේ ධීවර හා නාවික සහ ධීවර යාත්‍රා නිශ්පාදන අශ්‍රිත රැකියා සඳහා ලබා දෙන වීසා වේ.

මෑතකාලීනව මෙරට අයැදුම්කරුවන් සඳහා E8 වීසා කාණ්ඩයේ රැකියා අවස්ථා ලබා දීම ද ආරම්භ කර ඇත. එනම්, කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා ද ලබා දීමට විදේශ සේවා නියුක්ති කාර්යංශය කටයුතු කරමින් සිටී.

මෙම රැකියාවලට යාමේදී ඉදිරියේදී ඒ පිළිබඳ කුසලතාවක් ලබා තිබීම අතිශය වැදගත් වනු ඇත. භාෂා ප්‍රවීණතාව මෙන් ම මෙම රැකියා ආශ්‍රිත කුසලතාව ඉදිරියේදී සලකා බලනු ඇති අතර ඒ කෙරෙහි ද අවධානය යොමු කිරීම අතිශය වැදගත් වේ.

කොරියානු භාෂා පරීක්ෂණය මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පමණක් පැවැත්වෙන අතර භාෂා පරීක්ෂණය සමත්වන අයැදුම්කරුවන් නිපුණතා පරීක්ෂණයකට හා කුසලතා පරීක්ෂණයකට යොමු කෙරේ.

පසුව සම්මුඛ පරීක්ෂණ සඳහා යොමු කෙරේ. ඉන් අනතුරුව වෛද්‍ය පරීක්ෂණ වාර්තාව සහ පොලිස් වාර්තාවක් ලැබුණු පසු ලිපිගොනු සම්පූර්ණ කර කොරියානු රැකියා වෙබ් අඩවියේ ලියාපදිංචි කරනු ලැබේ.

අනතුරුව දකුණු කොරියානු සේවා යෝජකයින්ගේ තේරීම මත සේවා ගිවිසුම නිකුත් කෙරේ. සේවා ගිවිසුම අත්සන් කළ අය සඳහා පෙර විගමනික පුහුණුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා ලබා දෙන අතර අනතුරුව විදේශගත වීම සිදු කෙරේ.

විශේෂ කොරියානු භාෂා ප්‍රවීණතා පරීක්ෂණය (Special EPS Topik)

කුණු කොරියාවේ රැඳී සිටීමට ලබා දී ඇති අවුරුදු 4යි මාස 10ක කාලය නීත්‍යනුකූලව අවසන් කර ස්වකැමැත්තෙන් මෙරටට පැමිණ නැවත දකුණු කොරියාවේ රැකියා අවස්ථාවකට යාමට කැමති අයැදුම්කරුවන් සඳහා පමණක් මෙම පරීක්ෂණය පැවැත්වේ.

මෙහිදී මුලින් ම සිදුවන්නේ, දකුණු කොරියානු මානව සම්පත් ආයතනය මගින් මෙම විභාගයට සුදුසුකම් ලබන අයගේ නාම ලේඛනයක් මෙරට විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත එවීමයි.

අනතුරුව එය විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිල වෙබ් වන www.slbfe.lk වෙබ් අඩවිය හරහා ප්‍රසිද්ධ කරනු ලැබේ. අනතුරුව විභාග අයැදුම්පත් එම වෙබ් අඩවිය හරහා ම නිකුත් කරන අතර මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පමණක් පරීක්ෂණය පැවැත්වේ. පරීක්ෂණය සමත්වන අයැදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණ සඳහා යොමු කෙරේ.

නැවත පිටත් කිරීම (Re-entry)

දකුණු කොරියාවේ එක ම සේවා ස්ථානයක වසර 4ක් සහ මාස 10ක් සේවය කර මෙරටට පැමිණ, නැවත එම සේවා ස්ථානයට ම පිටත්ව යාමට එකඟව පැමිණෙන රැකියා අයැදුම්කරුවන් මේ සඳහා සුදුසුකම් ලබයි.

මේ සඳහා සුදුසුකම් ලබන අයැදුම්කරුවන් ලංකාවට පැමිණ දින 14ක් තුළ විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පරිගණක ඒකකය වෙත පැමිණ ලියාපදිංචි විය යුතුයි. මෙහිදී ගිවිසුම නිකුත් කරනු ලබන්නේ අදාළ සේවා යෝජකයා වේ.

ඉහත ආකාරයන්ට ඔබේ කොරියානු රැකියා සිහිනය සැබෑ කර ගැනීමට හැකියාව ඇත. මේ සඳහා කොරියානු භාෂා ප්‍රවීණතාව පමණක් නොව කුසලතා කෙරෙහි ද අවධානය යොමු කිරීම අතිශය වැදගත් වේ. එබැවින් කර්මාන්ත ආශ්‍රිත කුසලතාව සංවර්ධනය කර ගැනීමට කටයුතු කිරීම අතිශය වැදගත් වේ.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිල වෙබ් අඩවිය පරිශීලනය කරන්න.