ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඉන්දීය සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර්, ඉම්රාන් ඛාන්ගේ නායකත්වය යටතේ පකිස්ථානයට ක්‍රීඩා කළ බව ඔබ දැන සිටියා ද?
- Author, මිර්සා ඒ. බී. බෙයිග්
- Role, බීබීසී උර්දු, දිල්ලි සිට
- කියවීමේ කාලය: මිනිත්තු 7
මෙය සිදුවූයේ අද මෙන් බොහෝ ක්‍රිකට් තරග රූපවාහිනිය ඔස්සේ විකාශය නොකළ සමයක වන අතර, ඉන්දියාවේ සිටින ක්‍රිකට් ලෝලීන් ක්‍රිකට් පිළිබඳ තොරතුරු පුවත්පත්වලින් දැන සිටි කාලයකදී ය. ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලිවල සිදුවන සිද්ධි, සහීර් අබ්බාස් ග්ලෝසෙස්ටර්ෂයර් වෙනුවෙන් දැක්වූ දක්ෂතා, ජාවෙඩ් මියන්ඩාඩ් ග්ලැමෝගන් වෙනුවෙන් දැක්වූ දක්ෂතා හෝ ඉම්රාන් ඛාන් සසෙක්ස් වෙනුවෙන් දැක්වූ දක්ෂතා පවා ඔවුන් දැන ගත්තේ පුවත්පත්වලිනි..
මේ අතරතුර, බොම්බේහිදී (වර්තමානයේ මුම්බායි) පැවති හැරිස් පළිහ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේදී තරුණ ඉන්දියානු ක්‍රීඩකයින් දෙදෙනෙකු ලකුණු 664ක නොබිඳුණු සබඳතාවක් ගොඩනගමින් ලෝක වාර්තාවක් පිහිටවූ අතර එය එම අවස්ථාවේදී ඕනෑ ම මට්ටමේ තරගයකදී ඕනෑ ම කඩුල්ලක් වෙනුවෙන් වාර්තා කර තිබූ ඉහළ ම ලකුණු සංඛ්‍යාව විය.
මෙම වාර්තාව සචින් තෙන්ඩුල්කාර් (නොදැවී ලකුණු 326) සහ විනෝද් කම්බ්ලි (නොදැවී ලකුණු 349) එක රැයකින් වීරයන් බවට පත් කළ නමුත්, අනතුරුව අවධානය සචින් තෙන්ඩුල්කාර් වෙත යොමු වූ අතර ක්‍රිකට් විචාරකයෝ ඔහු 'Wonder Boy' ලෙස හැඳින්වීමට පටන් ගත්හ. අද වයස අවුරුදු 15ක පසු වන ක්‍රිකට් ක්‍රීඩක වෛභාව් සූර්යවංශි 'අනාගත තෙන්ඩුල්කාර්' ලෙස හඳුන්වන ලෙස ම එදා තෙන්ඩුල්කාර්, එදා මෙදා තුර ක්‍රිකට් ඉතිහාසයේ බිහිවූ ශ්‍රේෂ්ඨතම පිතිකරුවා වන ශ්‍රීමත් ඩොන් බ්‍රැඩ්මන් සමග සංසන්දනය කළේ ය.
2026 අප්‍රේල් 24 වන දා තෙන්ඩුල්කාර්ට වයස අවුරුදු 53ක් සපිරුණු අතර, ඉන්දියාව තුළ ක්‍රිකට් ක්‍රීඩාවේ 'දෙවියන්' ලෙස හඳුන්වන ඔහුගේ නම ඉදිරියේ ප්‍රධාන පෙළේ සියලු ම පිතිකරණ වාර්තා පවතී.
නමුත් සචින් තෙන්ඩුල්කාර් සහ පකිස්ථානය අතර සබඳතාවක් පැවති බව ඔබ දැන සිටියා ද? මෙය සිදුවූයේ ඔහු කිසිදු ලෝක වාර්තාවක් පිහිටුවා නොතිබූ කාලයක වූ අතර, ඉන්දීය ක්‍රිකට් සමාජයේ ස්වර්ණ ජයන්තිය සැමරීම සඳහා ප්‍රදර්ශන තරගයක් පැවැත්වූ අවස්ථාවේදී ඉම්රාන් ඛාන්ගේ නායකත්වයෙන් යුතු පකිස්ථාන කණ්ඩායම ඉන්දියාවේ තරග සංචාරයක නිරත වෙමින් සිටියදී ය.
ජාවෙඩ් මියන්ඩාඩ් සහ අබ්දුල් කදීර් දිවා ආහාරය සඳහා පිටියෙන් ඉවතට ගිය අවස්ථාවේදී පකිස්ථාන කණ්ඩායමේ කළමනාකරු සංවිධායකයින්ගෙන් අතිරේක ක්‍රීඩකයෙකු ඉල්ලා සිටි අතර, ඔවුන් පිටියට යොමු කළේ, 13 හැවිරිදි වියේ පසුවූ තෙන්ඩුල්කාර් ය. එම අවස්ථාවේදී ඔහු පැයක පමණ කාලයක් පකිස්ථාන ජර්සියෙන් සැරසී පන්දු රැකීමේ නිරතව සිටි අතර කපිල් දේව් ලබා දුන් උඩපන්දුවක් පවා රැක ගත් බව පැවසේ.
පළමු ටෙස්ට් තරගය
නමුත්, ඉන් වසර දෙකකට පසුව වයස අවුරුදු 15දී තෙන්ඩුල්කාර් පකිස්ථානයට එරෙහිව සිය පළමු ටෙස්ට් තරගය ක්‍රීඩා කළ අතර, එහිදී පකිස්ථානය වෙනුවෙන් සිය පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ වකාර් යුනිස් ඔහුව ලකුණු 15කට දවා ගත්තේ ය.
ෆයිසලාබාද්හි පැවති දෙවන තරගයේදී ඔහු ලකුණු 59කට ඉම්රාන් ඛාන්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියේ ය. දෙවන ඉනිමේදී, ඔහු ලකුණු 8ක් ලබා සිටියදී දුවද්දී දැවී ගියේ ය. ලාහෝර්හි පැවති තුන් වන ටෙස්ට් තරගයේදී අබ්දුල් කදීර් ඔහු ලකුණු 41කට දවා ගත්තේ ය.
සයිලකොට්හිදී ක්‍රීඩා කළ සිව් වන තරගයේදී, වසීම් අක්රම් තෙන්ඩුල්කාර් ලකුණු 35ක් ලබා සිටියදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකරගෙන දවා ගත් අතර එම තරගයේ දෙවන ඉනිමේදී කඩුලු රකින්නා අතට උඩ පන්දුවක් ලබා දෙමින් ඉම්රාන් ඛාන් යැවූ පන්දුවක් හමුවේ ලකුණු 57කට දැවී ගියේ ය.
තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර සචින් තෙන්ඩුල්කාර්ට අර්ධ ශතක දෙකක් ලබා ගැනීම හැර වෙනත් කිසිදු විශිෂ්ට ජයග්‍රහණයක් අත්පත් කර ගැනීමට නොහැකි විය.
නමුත් ඉන් අනතුරුව 1989 දෙසැම්බර් 16 වන දා පේශාවර්හිදී පැවති තරගය මේ දක්වා පවතින එදිරිවාදිකම්වල සන්ධිස්ථානයක් බවට පත්විය. එක්දින තරගය පන්දු වාර 20 තරගයක් බවට පත්වූ අතර එය ජාත්‍යන්තර තරගයකට වඩා ප්‍රදර්ශන තරගයක් විය.
මෙම තරගය, තෙන්ඩුල්කාර් පසුකාලීනව ඔහුගේ ක්‍රිකට් දිවියේ සංධිස්ථානයක් බවට පත්වූ අතිවිශිෂ්ට ක්‍රීඩා විලාසය ප්‍රථම වරට ප්‍රදර්ශනය කළ තරගය විය.
ක්‍රිකට් ක්‍රීඩක ආකාෂ් චොප්රා සමග තරගය පිළිබඳ අදහස් දක්වමින් තෙන්ඩුල්කාර් පැවසුවේ: ''මුෂ්ටාක් (අහ්මඩ්) පන්දු යවමින් සිටියා. ඔහුට හතරේ පහරක් සහ හයේ පහර දෙකක් එල්ල වුණා. ඊට පස්සේ අබ්දුල් කදීර් මා සිටි තැනට ඇවිත් ' මෙතන ඉඳන් මම බෝල් කරන්නම්, පුළුවන් නම් ඒවටත් ගහලා පෙන්වන්න' කියලා කිව්වා. අපි කිව්වා, 'ඔබ හරි ම ප්‍රවීණ ක්‍රීඩකයෙක්, අපට ඒ තරම් ලේසියෙන් ඔයාට ගහන්න බැරි වෙයි කියලා. ඒත් ඒ මොහොතේ ඉඳන් හඹා යාම ආරම්භ වූ අතර ඒ පන්දු වාරයේදී ලකුණු 28ක් විතර රැස් කළා."
ඇත්ත වශයෙන් ම, මෙම පන්දුවාරය තුළදී තෙන්ඩුල්කාර් පළමු පන්දුවට හයේ පහරක්, දෙවන පන්දුවට ලකුණු නොලබා, තුන් වන පන්දුවේදී හතරේ පහරක් සහ අනතුරුව අඛණ්ඩව හයේ පහර තුනක් එල්ල කළේ ය.
කෙසේ වෙතත්, පළමු එක්දින තරගයේදී තෙන්ඩුල්කාර් යළිත් වරක් වකාර් යූනිස්ගේ පන්දුවක් හමුවේ ලකුණු නොලබා දැවී ගියේ ය. ඉන් අනතුරුව පැවැති තරගවලදී සචින්ට අවස්ථාවක් හිමි නොවීය.
පකිස්ථානයට එරෙහි වැඩි ම ලකුණු සංඛ්‍යාව
පසුව 1996 වසරේදී සිංගප්පූරුවේ පැවති සිංගර් කුසලාන තරගාවලියේ පකිස්ථානයට එරෙහිව තෙන්ඩුල්කාර් සිය පළමු ශතකය රැස් කළේ ය. අනතුරුව 1998 වසරේ පැවැති රිදී ජුබිලි කුසලාන තරගාවලියේදී ඔහු ලකුණු 95ක් රැස් කළ අතර, පකිස්ථානයට එරෙහිව කඩුලු 3ක් දවා ගත්තේ ය. ඔහු පකිස්ථානයට එරෙහිව එක්දින තරගවලදී ඉන්දියාව වෙනුවෙන් වැඩි ම ලකුණු ලබා ගත් ක්‍රීඩකයා වූ අතර එයට ශතක 5ක් ඇතුළත් විය.
ටෙස්ට් තරගවලදී, පකිස්ථානයට එරෙහිව රැස් කළ ලකුණු අනුව ගවස්කාර්ට වඩා පිටුපසින් සිටි නමුත් සමස්තයක් වශයෙන් ගත් කළ ටෙස්ට්, එක්දින සහ විස්සයි 20 තරගවලදී ඔහු දෙරට අතර එකිනෙකාට එරෙහිව ලබා ගත් ලකුණු අනුව ඉදිරියෙන් පසුවන්නේ තරග 63කදී ලකුණු 3,583ක් ලබා ගනිමිනි. ඔහුගේ සාමාන්‍යය, ඉනිමකට ලකුණු 40ක් වන අතර, ඔහුට පිටුපසින් සිටින්නේ තරග 63කදී ලකුණු 60කට වැඩි සාමාන්‍යයකින් ලකුණු 3403ක් ලබා ඇති ජාවෙඩ් මියන්ඩාඩ් ය.
තම කාලයේ සිටි සියලු ම භයානක පන්දු යවන්නන්ට එරෙහිව තෙන්ඩුල්කාර් ඔහු සතුව පවතින පිතිකරණයේ දක්ෂතාව ඔප්පු කර පෙන්වා තිබේ. එක් පසෙකින් ඔහු බ්‍රෙට් ලී, මැග්‍රාත්, වසීම් අක්රම්, වකාර් යුනිස්, කර්ට්නි වෝල්ෂ්, කර්ට්ලි ඇම්බ්‍රෝස්, ඇලන් ඩොනල්ඩ්, ෂෝන් පොලොක් සහ ජේම්ස් ඇන්ඩර්සන් වැනි වේග පන්දු යවන්නන්ට මුහුණ දුන් අතර, අනෙක් පසින් ෂේන් වෝන්, මුත්තයියා මුරලිදරන් සහ ෂක්ලේන් මුෂ්තාක් වැනි දඟ පන්දු යවන්නන්ට මුහුණ දුන්නේ ය.
නමුත් සචින් තෙන්ඩුල්කාර්ට අනුව, ඔහු වැඩි ම අසීරුතාවට මුහුණ දුන් පන්දු යවන්නා වී සිට ඇත්තේ, දකුණු අප්‍රිකානු හිටපු නායක හැන්සි ක්‍රොන්යේ වන අතර පසුව පකිස්ථානයේ අබ්දුල් රසාක්ගේ අනපේක්ෂිත පන්දු යැවීම හමුවේ ද ඔහු අසරණ වී ඇත.
ඔහුගේ බොහෝ වාර්තා මේ වන විට බිඳ වැටෙමින් පැවතිය ද, කිසි දා බිඳ දැමිය නොහැකි වාර්තා රැසක් ද ඔහු සතුව පවතී. ඔහුගේ ආක්‍රමණශීලී සහ ස්ථාවර ලකුණු ලබා ගැනීම නිසා, තෙන්ඩුල්කාර්ගේ ක්‍රීඩා කරන විලාසය බලා සිටීමෙන් ඔහුට තමාගේ ක්‍රීඩා විලාසය මතකයට නැගෙන බව බ්‍රැඩ්මන් ද පැවසීය.
ක්‍රීඩා දිවිය
සචින්ගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය වසර 24කට ආසන්න කාලයක් පමණ පැවතිණි. ඔහු ටෙස්ට් තරග 200කට ක්‍රීඩා කර ශතක 51ක් සමග ලකුණු 15,921ක් රැස් කළ අතර, එක්දින ජාත්‍යන්තර තරග 463කදී ශතක 49ක් සමගින් ලකුණු 18,426ක් රැස් කළේ ය. ඔහු ක්‍රීඩා කළේ, පන්දුවාර 20 - 20 එක් ජාත්‍යන්තර තරගයක් සඳහා වන අතර එහිදී ඔහු ලකුණු 10ක් රැස් කර ගත් අතර ඔහුගේ නිල ජර්සියේ අංකය ද එය විය.
ඔහු එක්දින ජාත්‍යන්තර තරගයකදී ද්විත්ව ශතකයක් රැස් කළ පළමු ක්‍රීඩකයා බවට ද පත්විය.
අපි ඔහුගේ වාර්තා ගැන කතා කරන්නේ නම්, ඉන්දීය පිතිකරු විරාත් කෝලි එක්දින ජාත්‍යන්තර තරගවලදී ඔහු ශතක සඳහා තබා ඇති වාර්තාව පමණක් බිඳ දැමූ අතර, අනෙක් සියලු ම වාර්තා සචින් සතු ය.
සචින් නොවැම්බර් 14 වන දින බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව පැවති ඔහුගේ අවසන් තරගය ක්‍රීඩා කළ විට, ඔහු අමතක නොවන ශතකයක් රැස් කර ගනු ඇතැයි සෑම අයෙකු ම අපේක්ෂා කළේ ය. ඔහු ඊට පෙර විස්සයි 20 සහ එක්දින ජාත්‍යන්තර තරගවලින් සමුගන්නා බව ප්‍රකාශ කර තිබිණි.
ඔහුගේ උපන් බිම වූ මුම්බායිහි පිහිටි වන්කඩේ ක්‍රීඩාංගණයේදී ඔහු සිය අවසන් තරගය ක්‍රීඩා කළේ ය. ඔහු ලකුණු 74ක් ලබා සිටියදී ඩියෝනරීන්ගේ පන්දුවක් හමුවේ ඩැරන් සැමීගේ අතට උඩ පන්දුවක් ලබා දෙමින් දැවී ගිය අතර එම අවස්ථාවේදී තරගය නරඹමින් සිටි මිලියන සංඛ්‍යාත ඉන්දීය ක්‍රීඩා ලෝලීන් එම අවස්ථාව හුස්ම නොහෙළා බලා සිටියහ.
තරගය ජය පරාජයෙන් තොරව අවසන් වනු ඇතැයි බොහෝ දෙනෙකු සිතුව ද, සචින් දෙවන ඉනිම ක්‍රීඩා කරනු ඇතැයි බොහෝ පිරිසක් අපේක්ෂා කළහ. නමුත් ඉන්දීය කණ්ඩායම තුන්වන දිනයේදී තරගය ඉනිමකින් සහ ලකුණු 126කින් ජයග්‍රහණය කළේ ය.
භාරත රත්න සම්මානය
තෙන්ඩුල්කාර් වෙනුවෙන් පැවැත්වූ උපහාර උළෙල සඳහා ඉන්දීය කොංග්රස් පක්ෂ නායකයින් විශාල පිරිසක් සහභාගි වූ අතර, එහිදී ඔහුට ඉන්දියාවේ ඉහළ ම සිවිල් සම්මානය වන 'භාරත රත්න' සම්මානය පිරිනැමීය.
මෙම සම්මානය දිනා ගත් ළාබාලතම පුද්ගලයා ද ඔහු වන අතර, තවමත් ජීවතුන් අතර සිටින අතළොස්සක් පිරිස අතර ද ඔහු සිටියි.
ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව පවා ක්‍රිකට් සමග ඔහුගේ සම්බන්ධතාව හදවතින් ම බැඳී පවතී. ඔහු IPL තරගාවලියේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කළ අතර, තවමත් ඔවුන්ගේ කණ්ඩායමේ උපදේශකයෙකු ලෙස කටයුතු කරයි.
ඔහු සාමාන්‍යයෙන් මතභේදාත්මක ප්‍රකාශ සිදු කිරීමෙන් වැළකී සිටින නමුත්, මෑතකාලීනව පකිස්ථානයට එරෙහිව ඉන්දීය හමුදාව ගෙන ගිය මෙහෙයුමේදී ඉන්දීය සොල්දාදුවන් දැක්වූ ඒකාබද්ධ උත්සහය අගය කළේ ය.
ඔහුගේ උපන් දිනයට දින කිහිපයකට පෙර ඔහු මධ්‍යම ඉන්දියාවේ චතිස්ගාර් ප්‍රාන්තයේ පිහිටි දන්තේවාඩාහිදී ඔහුගේ උපන් දිනය සැමරුවේ ය.
මේ දිනවල ඔහු තම දියණිය සාරා තෙන්ඩුල්කාර් සහ ලේලිය වන සානියා චන්දොක් සමග නැක්සලයිට්වරුන්ගෙන් (මාඕවාදී මතවාදය සහිත සටන්කාමී කණ්ඩායමක්) තොර ප්‍රදේශයේ ක්‍රීඩාව දිරිගැන්වීම සඳහා කටයුතු කරමින් සිටින බව වාර්තා වන අතර" ඒ සමග ම දීප්තිමත් නවක ක්‍රීඩකයෙකු වන වෛභාව් සූර්යවංශි හැකි ඉක්මනින් ඉන්දීය කණ්ඩායමට ඇතුළත් කිරීම පිළිබඳ උත්සහයක ද නිරත වී සිටී. එය තෙන්ඩුල්කාර්ගේ පළමු ටෙස්ට් නායක ක්‍රිෂ්ණමාචාරි ශ්‍රීකාන්ත් ද නිර්දේශ කර ඇත.