කෙහෙල්බද්දර පද්මේට එරෙහි නඩු විභාගයේදී අනාවරණය වූ කරුණු මොනවා ද?

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 4

ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙනවිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා ගෙන සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන කෙහෙල්බද්දර පද්මේ හෙවත් මන්දිනු පද්මසිරි පෙරේරා නමැත්තා සැප්තැම්බර් 3 වන දා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේ ය.

මෙම සැකකරු දැඩි ආරක්ෂක විධිවිධාන මැද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අඟහරුවාදා (අගෝ: 25) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවට ඉදිරිපත් කෙරිණි.

වීඩියෝව නරඹන්න

විමර්ශනවලදී හෙළි වී ඇති තොරතුරු මොනවා ද?

එහිදී සැකකාර කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු මෙලෙස කරුණු දැක්වූහ.

"ස්වාමීනී... ජාත්‍යන්තර පොලිසිය විසින් නිකුත් කළ රතු නිවේදනයකට අනුව මෙම සැකකරු ඉන්දුනීසියාවෙන් පිටුවහල් කළා. ඉන් පසුව 2025 සැප්තැම්බර් 2 වන දා කටුනායක ගුවන් තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මොහු අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත විමර්ශන කළා.

"ඔහු රඳවා ගැනීම පිළිබඳව අවස්ථා කිහිපයකදී ම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම දැනුවත් කළා. මෙම සැකකරු භාරයේ තිබී ජංගම දුරකතන 8ක් සොයා ගත්තා. ඒවායේ දත්ත මකා තිබුණා. පසුව එම දත්ත ප්‍රතිඋත්පාදනය කර ගත්තා. එම ජංගම දුරකතනවල තිබී දුරකතන ඇමතුම් 8841ක් පිළිබඳ තොරතුරු අනාවරණය වුණා. ඡායාරූප 32,6671ක් අනාවරණය කර ගත්තා. දුරකතන පටිගත කිරීම් 1101ක් සොයා ගත්තා. වීඩියෝ දර්ශන 5,039ක් හමු වී තිබෙනවා."

තවදුරටත් කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු මෙලෙස පැවසූහ.

"ස්වාමීනී... එම ජංගම දුරකතන දත්ත විශ්ලේෂණය කිරීමේදී ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 20 දෙනෙකු පිළිබඳ තොරතුරු අනාවරණය වුණා. ඒ පිළිබඳව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය දැනුවත් කළා.

"ඔහුගේ දුරකතනවල තිබී බන්ධනාගාර නිලධාරීන් 13 දෙනෙකුගේ දුරකතන අංක හමුවී තිබෙනවා. ඒ පිළිබඳව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දැනුවත් කළා. නිළියන් සහ නිරූපණ ශිල්පිනියන් 7 දෙනෙකු පිළිබඳ තොරතුරු අනාවරණය වුණා. දේශපාලනඥයින් 9 දෙනෙකු පිළිබඳ ඡායාරූප සහ දුරකතන සංවාද හමුවී තිබෙනවා. ඒ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරනවා."

තව ද එම නිලධාරීන් සඳහන් කළේ, සැකකරුගේ ජංගම දුරකතනයේ තිබී සොයා ගත් ඡායාරූප අතර විවිධ අපරාධ ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයින්ගේ විදේශ ගමන් බලපත්‍ර 19ක ඡායාරූප හමු වී ඇති බව ය.

"ඊට අමතරව බැංකු ගිණුම් 17ක් ගැන විමර්ශන කරනවා. මෙම සැකකරු 2021 මැයි මස 21 වන දා සිට නීත්‍යනුකූල විදේශ ගමන් බලපත්‍රයෙන් විද්ශගත වී තිබෙනවා. මොහු ඩුබායි, ඉන්දුනීසියාව, රුසියාව, ජපානය, සිංගප්පූරුව, මැලේසියාව, ලාඕසය ඇතුළු රටවල් 13කට අවස්ථා 15කදී පමණ ගොස් තිබෙනවා. මෑතකදී ගිනිඅවි සොයා ගැනීම් සම්බන්ධයෙන් ද මෙම සැකකරු ගැන විමර්ශනය කරනවා," යනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු තවදුරටත් අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉල්ලා සිටියේ සැකකරු රිමාන්ඩ් භාරයට පත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ය.

වැලිසර බන්ධනාගාරය තුළ මෙම සැකකරුගේ විරුද්ධවාදීන් සිටින බැවින් ඔහු වැලිසර හැර වෙනත් ඕනෑ ම බන්ධනාගාරයක රඳවා තැබීමේ නියෝගයක් නිකුත් කරන ලෙස මෙහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චමින්ද අතුකෝරළ අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉල්ලා සිටියේ ය.

අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු සැප්. 3 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළේ ය.

එහිදී සැකකරු වඩාත් ආරක්ෂිත සුදුසු බන්ධනාගාරයක රඳවා තැබීමට පියවර ගන්නා ලෙස ද අධිකරණය විසින් බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කෙරිණි.

තව ද කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණය හමුවේ ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු සැප්. 4 වන දා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින වෙනත් නඩු කටයුත්තක් සඳහා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස ද නියෝග කළේ ය.

ඉකුත් වසරේ අගෝ: 28 දින මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළේ, දින 7ක විශේෂ මෙහෙයුමකින් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ඉන්දුනීසියානු පොලිසිය සහ ජාත්‍යන්තර පොලිසිය ඒකාබද්ධව සිදු කළ මෙහෙයුමකින් කෙහෙල්බද්දර පද්මේ ඇතුළු අපරාධ කල්ලි සාමාජිකයින් බව කියන පුද්ගලයින් 5 දෙනෙකු ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් බව ය.

2025 වසරේ පෙබරවාරි 19 වන දා අලුත්කඩේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුව තුළදී පාතාල කල්ලි නායක ගණේමුල්ල සංජීව හෙවත් සංජීව කුමාර සමරරත්න නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූයේ කෙහෙල්බද්දර පද්මේ නමැති සංවිධානත්මක අපරාධකරුට ය.

මේ අතර, රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන පානදුර නිලංග හෙවත් නිලංග සම්පත් සිල්වා නමැත්තා ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අඟහරුවාදා (අගෝ: 25) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර ඔහු ද සැප්තැම්බර් 3 වන දා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.