ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
චාමිකගේ DNA පරීක්ෂණයක් කරන්නැයි ගුවන් නියමුවරියක කළ ඉල්ලීම ගැන අධිකරණය දුන් තීන්දුව
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 3
ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න සම්බන්ධයෙන් DNA පරීක්ෂණයක් සිදු කිරීම සඳහා ඔහුගේ රුධිර සාම්පල ලබා දෙන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා කෙරුණු ඉල්ලීමක් කොළඹ දිසා අධිකරණය අද (අගෝ: 4) ප්‍රතික්ෂේප කළේ ය.
සිය දරුවා ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නට දාව ඉපදුණු බවත් එම දරුවාගේ පියා චාමික කරුණාරත්න බවට උප්පැන්න සහතිකයක් නිකුත් කරන ලෙස රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගුවන් නියමුවරියක වන රසිකා සෙව්වන්දි ඉදිරිපත් කර තිබූ පැමිණිල්ලකට අදාළව ඉදිරිපත් වූ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කරනු තැබී ය.
මෙම නියෝගය ප්‍රකාශයට පත් කරමින් අධිකරණය සඳහන් කළේ, පැමිණිලිකාරිය ඉල්ලා සිටින සහනය ප්‍රදානය කිරීම සඳහා ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් වී නොමැති බව ය.
ඒ අනුව, එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවත් අධිකරණය සදහන් කළේ ය.
කෙසේ වෙතත්, මෙම පැමිණිල්ල ඉදිරි පියවර සඳහා ඔක්තෝබර් මස 9 වන දා නැවත කැඳවන ලෙසත් අධිකරණය නියෝග කර සිටියේ ය.
දරුවාගේ පියා චාමික කරුණාරත්න බවට ප්‍රකාශයක් නිකුත් කරන්නැයි ඉල්ලීමක්
අදාළ පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න, ඔහුට දාව උපන් බව කියන ආර්යන් කරුණාරත්න, රෙජිස්ට්‍රාර් ජනරාල් ඇතුළු පිරිසක් නම් කර තිබේ.
පැමිණිලිකාරිය වන රසිකා සෙව්වන්දි කියා සිටින්නේ, තම ආර්යන් කරුණාරත්න නමැති බාල වයස්කාර දරුවා ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නට දාව 2025 වසරේ සැප්තැම්බර් මස 29 වන දා ඉපදුණු බව ය.
2023 වසරේ හෝ ඊට ආසන්න කාලයක ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න තමා සමග සමීප සම්බන්ධතා පැවැත්වූ අතර ලිංගික සම්බන්ධතා සඳහා පොළඹවා ගත් බවත් ඇය සඳහන් කළා ය.
පසුව තමා ගැබ් ගැනීමෙන් පසුව ඔහු තමන් මග හැරීමට උත්සහ කළ අතර දරුවාගේ පීතෘභාවය භාර ගැනීම ප්‍රතික්ෂේප කළ බවටත් ඇය චෝදනා කරයි.
ඒ අනුව අදාළ දරුවාගේ පියා චාමික කරුණාරත්න බවට ප්‍රකාශයක් නිකුත් කරන ලෙසත් ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියි.
අදාළ දරුවාගේ පියා චාමික කරුණාරත්න බවට සඳහන් කරමින් උප්පැන්න සහතිකයක් නිකුත් කරන ලෙස රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් ඇය ඉල්ලා තිබිණි.
අදාළ දරුවා සහ චාමික කරුණාරත්න DNA පරීක්ෂණයකට භාජනය කිරීමට අවශ්‍ය නියෝගයක් නිකුත් කරන ලෙසත් ඇය වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා තිබිණි.