මැද පෙරදිග යුද්ධයෙන් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට සිදුව ඇති බලපෑම කෙබඳු ද?

Tourists

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, බීබීසී සිංහල
  • කියවීමේ කාලය: මිනිත්තු 6

ඇමෙරිකාව හා ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව දියත් කළ ප්‍රහාරවලින් පසුව මැද පෙරදිග කලාපයේ ඇති වූ යුදමය වාතාවරණය ලෝකයේ බොහෝ රටවලට විවිධ අයුරින් බලපෑම් කළේ ය.

ඒ අතරින් ඉන්ධන, ගෑස් වැනි බලශක්තිය ප්‍රධාන තැනක් ගන්නා අතර ඒ හරහා සෑම රටක ම පාහේ ආර්ථිකයට ඍජුව සහ වක්‍රව දැඩි බලපෑම් එල්ල විය.

ශ්‍රී ලංකාවේ බලශක්ති අර්බුදයක් ඇති වීමට යුද්ධය හේතු වූ අතර, විදේශ විනිමය උපයන ප්‍රධාන ක්ෂේත්‍රයක් වන සංචාරක කර්මාන්තයට එය බලපා ඇත්තේ කෙසේ ද?

සංචාරකයන් මෙරටට වැඩි වශයෙන් ඇදී එන මාර්තු හා අප්‍රේල් මාසවල ඇති වූ යුද වාතාවරණය හේතුවෙන් බොහෝ සංචාරකයන්ගේ සංචාර අවලංගු විය.

මාර්තු මාසයේ සංචාරකයින් පැමිණීම අඩු වූ හැටි

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන මණ්ඩලයේ දත්තවලට අනුව 2025 වසරට සාපේක්ෂව 2026 වසරේ මාර්තු මාසයේ මෙරට විදේශ සංචාරකයන්ගේ පැමිණීමේ අඩුවක් දක්නට ලැබේ.

2025 වසරේ මාර්තු මාසයේදී සංචාරකයන් 229,298 දෙනෙකු මෙරටට පැමිණ තිබූ අතර මේ වසරේ මාර්තු වන විට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 183,979 දක්වා පහත වැටී තිබේ.

එම දත්තවලට අනුව 2025 ජනවාරි මස සංචාරකයන් 252,761ක් පැමිණ ඇති අතර එය 2026 ජනවාරි වන විට 277,327ක් දක්වා වර්ධනය වී තිබිණි.

එමෙන් ම, 2025 පෙබරවාරි මාසයේදී සංචාරකයන් 240,217ක් මෙරටට පැමිණි ඇති අතර එය 2026 වසරේදී 279,328ක් දක්වා වර්ධනය වී තිබේ.

මේ අතර, 2026 අප්‍රේල් මාසයේ මුල් දින 5 තුළ සංචාරකයන් 26,800ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන මණ්ඩලයේ දත්තවල සඳහන් වේ.

ගුවන් ගමන් දහස් ගණනක් අවලංගු වෙයි

යුදමය තත්ත්වය හේතුවෙන් ගුවන් ගමන් බොහෝමයක් අවලංගු වූ අතර එය ද සංචාරකයන් පැමිණීමට බාධාවක් විය.

යුරෝපය ඇතුළු බටහිර රටවල සංචාරකයන් මෙරටට පැමිණීමේදී බොහෝ ගුවන් ගමන් මැද පෙරදිග රටවල් හරහා යෙදී ඇති අතර එම රටවල සිට සිදුකරනු ලබන ගුවන් ගමන් අවලංගු වීම මෙරටට දැඩි ලෙස බලපෑමක් එල්ල කර තිබේ.

එම කාලවකවානුවේදී මැද පෙරදිග හරහා මෙරටට පැමිණීමට නියමිතව තිබූ ගුවන් ගමන් දහසකට වැඩි සංඛ්‍යාවක් අවලංගු වූ බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.

"එක්දාස් ගාණක් කැන්සල් වෙලා තිබුණා. සීයට 65ක් 75ක් විතර ඉම්පැක්ට් එකක් තිබුණා අපිට ඒකෙන්. මිඩ්ල් ඊස්ට් සෙක්ටර් එකේ ඉඳන් එන කැරියර්ස්වල අඩුවක් තිබුණා. නමුත් ඒ ඉම්පැක්ට් එක අඩු වුණා සීයට 30කින් විතර දැනට සති දෙක තුනකට කලින්. දැන් ඒක සීයට 20 දක්වා විතර අඩු වෙලා තියෙන්නේ," සිවිල් ගුවන් සේවා අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරි දමින්ද රඹුක්වැල්ල බීබීසී සිංහල සේවයට කියා සිටියේ ය.

යුද්ධය හේතුවෙන් අවලංගු වූ ගුවන් ගමන් 80%ක් පමණ මේ වන විට යථා තත්ත්වයට පත්ව ඇති බව ද ඔහු පැවසීය.

Tourists

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ලංකාවේ හෝටල් කර්මාන්තයට සිදුවූ මිලියන ගණනක පාඩුව

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

විදේශ සංචාරකයන් විසින් මාර්තු මාසයේදී වෙන් කරන ලද හෝටල් වෙන් කිරීම් 40%ක් පමණ යුද්ධය හේතුවෙන් අවලංගු වූ බව ශ්‍රී ලංකා හෝටල් සංගමයේ ප්‍රධාන විධායක නිලධාරී ප්‍රියන්ත ප්‍රනාන්දු බීබීසී සිංහල සේවයට පැවසීය.

"මාර්තුවල තිබුණ බුකිංවල සීයට 40ක් විතර කැන්සලේෂන් ආවා අප්‍රේල්, මැයිවල තිබුණ බුකිංවල සීයට 35ක් විතර කැන්සලේෂන් ආවා. හැබැයි ඒක ගයිඩ් එකක් හැටියට ගන්න බැහැ. මොක ද මාර්තුවල තමයි ඕෆ් සීසන්වල නෝමලි එන බුකිං සීසන් එකේ කන්ට්‍රැක්ට් වෙන්නේ ඒවා අඩුවෙන් වෙලා තියෙන්නේ. දැන් යන විදියට අපිට හුඟක් දුරට වෙස්ටර්න් යුරෝපියන් රටවල්වල එන බුකිංවල අඩුවක් බලාපොරොත්තු වෙන්න පුළුවන් මේ යන ට්‍රෙන්ඩ් එක කන්ටිනියු වුණොත්," යැයි ඔහු පැවසීය.

ගුවන් ගමන් අඩු වීම සහ අවලංගු වීම සංචාරකයන් නොපැමිණීමට හේතුවක් වී ඇති බව ද ශ්‍රී ලංකා හෝටල් සංගමයේ ප්‍රධාන විධායක නිලධාරියා සඳහන් කළේ ය.

"ඩොලර් එයිට් මිලියන් ටු නයින්ටි මිලියන් විතර ලොස් එකක් තිබුණා අපේ මෙම්බර්ෂිප් හෝටෙල්ස්වල මාර්තු මාසයේ. ඕවර් රෝල් ලොස් එක ඊට හුඟක් වැඩි යි."

මැද පෙරදිග විදේශ ශ්‍රමිකයන්ගේ රැකියා අස්ථාවරභාවය, ඇඟලුම් කාර්මාන්තයට යුද්ධය හේතුවෙන් ඇතිව තිබෙන බලපෑම් නිසා මෙරටට දැඩි බලපෑම් ඇති විය හැකි බවත් ආර්ථිකයට ඉක්මනින් සහයක් ලබා දිය හැකි සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය අත්‍යවශ්‍ය බවත් ශ්‍රී ලංකා හෝටල් සංගමයේ ප්‍රධාන විධායක නිලධාරි ප්‍රියන්ත ප්‍රනාන්දු අවධාරණය කළේ ය.

"අපිට වෙස්ටර්න් යුරෝපියන් රටවලින් මාර්කට් එක අඩු වෙනවා නම් අපිට අනිත් රටවල් බලන්න පුළුවන් ඕස්ට්‍රේලියාව, ජපානය, දකුණු කොරියාව, තායිලන්තය වගේ මාර්කට්ස්වලට ප්‍රමෝෂන් ටිකක් කරලා, ඉන්දියාව ලොකු ම මකට් එක, ඉන්දියාවෙ ප්‍රමෝෂන් වැඩි කරලා ඒ රටවල්වලින් කොහොම ද ගෙන්න ගන්න පුළුවන් කියලා බලන්න ඕන."

2026 මිලියන 3ක සංචාරක ඉලක්කය සපුරා ගැනීම අපහසු වනු ඇතැයි පැවසූ ශ්‍රී ලංකා හෝටල් සංගමයේ ප්‍රධාන විධායක නිලධාරි ප්‍රියන්ත ප්‍රනාන්දු, ඔහු පෙන්වා දුන් අනෙකුත් රටවල ප්‍රචාරණ වැඩසටහන් දියත් කිරීම හරහා යම් සංචාරකයන් සංඛ්‍යාවක් මෙරටට ගෙන්වා ගැනීමට හැකි වනු ඇති බවට විශ්වාසය පළ කළේ ය.

සංචාරක රියැදුරන්ගේ තත්ත්වය

ජාතික සංචාරක රියැදුරු සංගමයේ ලේකම් ඩී.පී.එස්.ඒ. කුමාර බීබීසී සිංහල සේවයට පැවසුවේ, මැද පෙරදිග යුද්ධය හේතුවෙන් මෙරටට සංචාරකයින් පැමිණීම ක්‍රම ක්‍රමයෙන් පහත වැටී ඇති බව ය.

"ක්‍රම ක්‍රමයෙන් දැන් 80%ක් විතර සංචාරකයෝ එන එක අඩු වෙලා තියෙන්නේ. ගොඩක් ඔය කට්ටිය ඩුබායි හෝ කටර් එයාර්වේස් හරහා තමයි එන්නේ."

"ඊශ්‍රායල් සංචාරකයෝ ගොඩක් ආවා ඒක අඩු වෙලා තියෙනවා. මේ වෙනකොට යම් ප්‍රමාණයකට හරි රුසියන් සංචාරකයෝ ටිකක් එනවා, චයිනීස් කට්ටියත් එනවා ඒකත් දැන් ටිකක් අඩු වෙලා තියෙන්නේ," සංචාරක පැමිණීම ගැන සඳහන් කරමින් ඔහු කියා සිටියේ ය.

නොවැම්බර් සිට මාර්තු මස අවසන් වන තෙක් සංචාරකයන් මෙරටට පැමිණෙන කාල වකවානුව බව ද හෙතෙම පැවසීය.

"මං වගේ ම සංචාරක රියදුරෝ ඉන්නවා හත් දාහක් විතර. ඒ අයගෙන් ගොඩක් අයට තම තමන්ගේ සංචාරකයෝ ඉන්නවා. ආයතන හරහා නොවන විදියට එන අය ඉන්නවා. ඒ විදියට එන ගොඩක්, සීයට හැට හැත්තෑවක් විතර කැන්සල් වෙලා තියෙනවා," ජාතික සංචාරක රියදුරු සංගමයේ ලේකම්වරයා පැවසීය.

සංචාරකයන් පැමිණීම 18%කින් අඩු වෙයි

පසුගිය වසරේ මාර්තු මාසයට සාපේක්ෂව 2026 මාර්තු මාසයේදී 18%ක සංචාරකයන් පැමිණීමේ අඩුවක් සිදුව ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති බුද්ධික හේවාවසම් බීබීසී සිංහල සේවයට පැවසීය.

"ගිය අවුරුද්දට සාපේක්ෂව බැලුවා ම 18%ක විතර අඩුවක් තියෙනවා. ඒ 18%ක අඩුව තියෙන්නේ යුරෝපීය වෙළෙඳපොළවල් ටික තියෙනවා නේ සංචාරකයෝ එන, ඒ මාර්කට් ටිකේ තියෙනවා සීයට 33ක 34ක අඩුවක්. හැබැයි ඒ එක්ක ම ඉන්දියාව, ඒෂියා පැසිෆික් කලාපයේ රටවල් තායිලන්තයෙන්, චීනෙන් ආපු අය බැලුවා ම 26%ක වැඩි වීමක් තියෙනවා. ඒක නිසා තමයි 18%ක තත්ත්වයේ තියා ගන්න පුළුවන් වුණේ නැති නම් අපි සීයට 30ක 40ක පසුබෑමකට යනවා."

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට ගෙන ඇති පියවර

ආසියානු කලාපයේ රටවල්වල ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම මේ වන විට ආරම්භ කර ඇති බව සභාපතිවරයා පැවසීය.

"බංගලාදේශ සංචාරකයෝ ගිය අවුරුද්දේ පනස් දාහක් ලංකාවට ආවා. මේ අවුරුද්දේ අපේ ටාගට් එක තියෙනවා ලක්ෂයක් විතර ගෙන්න ගන්න. අපු ඊළඟට පටන් ගන්නවා ඉන්දියාවේ ප්‍රමෝෂන් ටික. මොක ද ඉන්දියාවේ ගොඩක් තිබුණ කොර්පරේට්ව් මාර්කට් එක ඒගොල්ලන්ගේ මීටිං, එක්සිබිෂන් වගේ ඒවාට ගියේ ඩුබායිවලට. දැන් ඩුබායි ක්ලෝස් වුණාට පස්සේ කොළඹට යම් ඩිමාන්ඩ් එකක් තියෙනවා."

එමෙන් ම සිංගප්පූරුව, තායිලන්තය, ඉන්දුනීසියාව, ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තයේ ද ශ්‍රී ලංකාවට සංචාරකයන් ගෙන්වා ගැනීමට අවශ්‍ය ප්‍රචාරණ කටයුතු සිදු කරන බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති බුද්ධික හේවාවසම් කියා සිටියේ ය.

සංචාරකයන් මිලියන 3ක ඉලක්කයට කුමක් සිදුවෙයි ද?

2026 වසරේදී සංචාරකයන් මිලියන 3ක් මෙරටට ගෙන්වා ගැනීමේ ඉලක්කය සම්බන්ධයෙන් ද බීබීසී සිංහල සේවය සභාපතිවරයාගෙන් විමසීමක් කළේ ය.

"දැන් තියෙන තත්ත්වය අනුව ගිය අවුරුද්දේ 2.36ක් තිබුණ නේ සංචාරකයෝ පැමිණීම. මේ අවුරුද්දේ කොහොමත් 2.5කට එහා පැත්තේ ගේන්න පුළුවන්. ඒ මොක ද මේ මාර්කට් එක රිටේල් වුණොත්. යුද්ධය නැති වුණොත් 3ක් නැතත් 2.8 මිලියන් 2.7 මිලියන් අතර ප්‍රමාණයක් ගේන්න පුළුවන්, යුද්ධය නතර වුණොත් අප්‍රේල් මාසේ ඉවර වෙනකොට. හැබැයි ලොකු බලාපොරොත්තුවක් නෑනේ ඒ ගැන. මිලියන 2.5ක වගේ ඉලක්කයකට වගේ තමයි යථාර්ථවාදීව යන්න පුළුවන් වෙන්නේ මේ තියන තත්ත්වය යටතේ."