ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඩොලර් බිලියනයක් රටින් පිට කිරීම: පෞද්ගලික බැංකු නිලධාරීන් ගැන මහේස්ත්‍රාත් ගත් තීරණය
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 3
භාණ්ඩ ආනයනය කිරීමේ මුවාවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියනයකට අධික මුදලක් නීතිවිරෝධී ලෙස රටින් බැහැර කිරීම සහ ආධාර අනුබල දීම යන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ව්‍යාපාරිකයෙකු සහ පෞද්ගලික බැංකු නිලධාරීන් සිව් දෙනෙකු සැප්තැම්බර් මස 03 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (අගෝ: 20) නියම කළේ ය.
කොළඹ මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම එසේ නියම කළේ, අදාළ සැකකාර බැංකු නිලධාරීන් සිව් දෙනාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමිනි.
අධිකරණයේදී කරුණු දැක්වීම්
පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීහු අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙසේ පැවසූහ.
"මෙම නඩුවේ ප්‍රධාන සැකකාර ව්‍යාපාරිකයා වන මොහොමඩ් ජිෆ්රි නමැත්තා අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔහුගේ සේවකයින්ගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගැනීම සිදුකළා. එහිදී අනාවරණය වූ කරුණු මත තමයි, මෙම සිද්ධියේ සෙසු සැකකරුවන් වශයෙන් නම් කර සිටින බැංකු නිලධාරීන් හතර දෙනා අත්අඩංගුවට ගැනීම සිදු කළේ. මෙම නඩුවේ ප්‍රධාන විත්තිකරු වන මොහොමඩ් ජිෆ්රි නමැති ව්‍යාපාරිකයා මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කිරීම සම්බන්ධයෙන් ඔහු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරලා සැප්තැම්බර් මස දෙවන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. එමෙන් ම මත්ද්‍රව්‍ය වෙළෙඳාමෙන් උපයා ගත් රුපියල් 6,050,000ක මුදලක් ඔහුගේ බැංකු ගිණුමක තැන්පත් කිරීම සම්බන්ධයෙන් විෂ මත්ද්‍රව්‍ය පනත යටතේ අධිචෝදනා ගොනු කර තිබෙනවා. විදේශ විනිමය නීති විරෝධී ලෙස ප්‍රේෂණය කිරීම කූට ලේඛන සැකසීම අන් අයෙකු ලෙස පෙනී සිටීම සහ රේගු ආඥා පනත යටතේ මෙම සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා."
එසේ සඳහන් කළ විමර්ශන නිලධාරීන් පැවසුවේ, මෙම සැකකරුවන්ට අදාළ සාක්ෂි සම්පිණ්ඩන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර තිබෙන බව ය.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින මෙම සැකකරුවන්ගෙන් බන්ධනාගාරය තුළදී ප්‍රකාශ සටහන් කර ගැනීම සදහා අවසර ලබා දෙන ලෙස විමර්ශන නිලධාරීහු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.
මෙම නීතිවිරෝධී ජාවාරමට තවත් නිලධාරීන් සම්බන්ධ වී තිබේ දැයි වැඩිදුර විමර්ෂණ සිදුකරන බවත් විමර්ශන නිලධාරීහු පැවසූහ.
ඉන් අනතුරුව ප්‍රධාන සැකකාර ව්‍යාපාරිකයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.එම්. සුහයිර් අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉල්ලා සිටියේ, සිය සේවාදායකයා ඇප මත මුදා හරින ලෙස ය.
සෙසු බැංකු නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය ඇතුළු නීතිවේදීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවාදායකයින්ගේ සේවය මේ වන විට අත්හිටුවා තිබෙන බැවින් ඔවුන්ට මෙම විමර්ශනයට බාධා කිරීමට හැකියාවක් නොමැති බව සඳහන් කළේ ය.
ඒ අනුව ඔවුන් ඇප මත මුදා හරින ලෙසත් නීතිවේදීහු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.
සැකකාර බැංකු නිලධාරීන්ට ඉහළින් සිටියේ කවුද?
මෙහිදී මහේස්ත්‍රාත්වරයා විමර්ශන නිලධාරීන් වෙත ප්‍රශ්නයක් යොමු කරමින් විමසුවේ, මෙම සැකකාර බැංකු නිලධාරීන්ට ඉහළින් සිටින නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබේ ද? යනුවෙනි.
ඊට ප්‍රතිචාර දක්වමින් විමර්ශන නිලධාරීන් කියා සිටියේ, එම උසස් නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බවත් මෙම සැකකාර බැංකු නිලධාරීන් ඉදිරිපත් කළ දත්ත විශ්වාස කරමින් කටයුතු කර ඇති බවට එම උසස් නිලධාරීන් සඳහන් කළ බවත් ය.
ඉන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා තවත් ප්‍රශ්නයක් මතු කරමින්, "මුලින් ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් කර තිබුණා සමාගම් 89ක බැංකු 12ක පවතින ගිණුම් පිළිබඳව විමර්ශන සිදුකරන බවට. මේ සමාගම් සියල්ල ප්‍රදාන සැකකරුට අයත් ඒවා ද?" යනුවෙන් විමසීය.
ඊට ප්‍රතිචාර දක්වමින් විමර්ශන නිලධාරීන් කියා සිටියේ, එම සමාගම් අතරින් සමාගම් 36ක් පමණක් මෙම සැකකරුට අයත් බවට තොරතුරු ලැබී ඇති බව ය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙය සංකීර්ණ විමර්ශනයක් බැවින් මෙම අවස්ථාවේදී ඇප ප්රදානය කළහොත් ඉදිරි විමර්ශනවලට බාධා සිදුවිය හැකි බැවින් සැකකාර බැංකු නිලධාරීන් හතර දෙනාගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන බව සඳහන් කළේ ය.
ඉන් අනතුරුව සියලු සැකකරුවන් ලබන 03 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කෙරිණි.
මෙහිදී මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේ, මෙම සිද්ධියට අදාළව බැංකු වෙතින් සිදුවී තිබෙන අතපසුවීම් සහ මෙම ක්‍රියාවට සම්බන්ධ සෙසු නිලධාරීන් සිටි නම් ඒ පිළිබඳව විමර්ශන සිදුකර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ය.