ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කාවන්තිස්ස ඇතාගේ 'මරණයෙන්' පසු මෙතෙක් ඔබ දැනගත යුතු සියලු කරුණු
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 8
'කාවන්තිස්ස ඇතාට' වෙඩි තැබීමේ සිද්ධියෙන් පසු, සියලු අලි ඇතුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ක්රියාමාර්ග ගැනීමට බලධාරීන්ගේ අවධානය යොමුව තිබේ.
ඒ, වෙඩි වැදීමකට ලක්ව සිටි කාවන්තිස්ස ඇතා බේරා ගැනීමට නොහැකිව සම්බන්ධයෙන්, පරිසර අමාත්යවරයා ප්රමුඛ රජයටත්, වනජීවී සංරක්ෂණ දෙපාර්මේන්තුවටත්, වනජීවී පශු වෛද්යවරුන්ටත් සමාජ මාධ්ය ක්රියාකාරීන් ඇතුළු විවිධ පාර්ශවවලින් විවේඡන එල්ල වෙමින් පවතින පසුබිම තුළ ය.
මීගලෑව පොලිස් වසමේ සියඹලන්ගමුව ප්රදේශයේදී 'කාවන්තිස්ස' හස්තියා රෝගාතුරව ප්රතිකාර ලබමින් සිටියදී පසුගිය දා මිය ගියේ ය.
කාවන්තිස්ස ඇතාගේ මරණයට වගකිව යුතු බව පවසමින් සමාජ මාධ්ය ක්රියාකාරීන් ඇතුළු පරිසර හිතකාමී පිරිසක් පරිසර අමාත්ය ධම්මික පටබැදිට විරෝධය පළකරමින් පරිසර අමාත්යාංශය ඉදිරිපිට සඳුදා (ඔක්: 19) උද්ඝෝෂණයක ද නිරත වූහ.
ඔවුන් එහිදී අවධාරණය කළේ, පරිසර අමාත්යවරයා ධූරයෙන් ඉවත් විය යුතු බවට ය.
කාවන්තිස්ස ඇතාට වෙඩි තැබීමේ සිදුවීම පිටුපස රජයේ නිලධාරියෙකු සම්බන්ධ වී ඇති බවට දැනටමත් තොරතුරු ලැබී ඇති බැවින්, ඒ පිළිබඳව පුළුල් හා අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්විය යුතු බව පරිසර යුක්ති කේන්ද්රයේ සභාපති නීතිඥ රවීන්ද්රනාත් දාබරේ දැඩිව කියා සිටියි. මෙම අපරාධය සඳහා අදාළ නිලධාරියා මෙහෙයවනු ලැබුවේ ඉහළ බලධාරියෙකු විසින් ද යන්න අනාවරණය කර ගත යුතු බවත්, ඇතාගේ මරණය සිදුවූයේ ආහාර මාර්ගයේ ඇති වූ ගැටලුවලින් බවට නැගෙන චෝදනා විමර්ශනය කිරීම සඳහා ආහාර මාර්ගයේ අත්යවශ්ය කොටස් වැළලීමෙන් තොරව සුරක්ෂිතව තබා ගත යුතුව තිබූ බවත් ඔහු පවසයි.
වනජීවී පශු වෛද්යවරුන් පවසන පරිදි ඔවුන් මුහුණ දෙන ප්රායෝගික සහ සම්පත් හිඟකම් පිළිබඳ ගැටලුවලට රජය විසඳුම් දිය යුතු අතර ම, පරිසරවේදීන් පෙන්වා දෙන පරිදි රාජ්ය නිලධාරීන්ගේ වගවීම සහ විමර්ශනවල විනිවිදභාවය තහවුරු කිරීම ද අත්යවශ්ය වේ.
'කාවන්තිස්ස ඇතාට' වෙඩි තැබීමේ සිද්ධියෙන් අත්අඩංගුවට ගත් නිපුණතා සංවර්ධන නිලධාරියා ඇතුළු සැකකරුවෝ ලබන 28 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූහ.
කාවන්තිස්ස හස්තියාට වෙඩි වැදීමෙන් තුවාල සිදුවී ඇති බව අනාවරණය වීමෙන් පසු සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා වලාන මධ්යම දූෂණ මර්දන ප්රහාරක ඒකකයේ සහ බස්නාහිර පළාත් අඩවි වනජීවි කාර්යාලයේ නිලධාරීන් විසින් ඒකාබද්ධව විමර්ශන සිදුකරන ලදී.
ඒ අනුව, 2026.10.18 දින සවස අඹන්පොල පොලිස් වසමේ හුණුගල්ලෑව ප්රදේශයේදී මෙම සිද්ධියට සම්බන්ධ සැකකරු බෝර 12 වර්ගයේ ගිනි අවියක්, බෙහෙත් කොටන තුවක්කුවක්, එම පතරොම් 24ක් සහ වියළන ලද දඩමස් සමග අත්අඩංගුවට ගෙන ගල්ගමුව අඩවි වනජීවි කාර්යාලය වෙත ඉදිරිපත් කර ඇතැයි පොලිස් මාධ්ය කොට්ඨාසය සඳහන් කළේ ය.
සැකකරු අවුරුදු 56ක් වන ඇහැටුවැව, හුණුගල්ලෑව ප්රදේශයේ පදිංචිකරුවෙකි.
මේ අතර, 'කාවන්තිස්ස' ඇතාට වෙඩි තැබීමේ සිද්ධියට අදාළ වනජීවී සහ පොලිස් ඒකාබද්ධ මෙහෙයුමකින් තවත් සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අධිකරණයේදී සිදුවූයේ කුමක් ද?
කාවන්තිස්ස නමින් ප්රචලිත පිරිපුන් ඇත් දළ යුගලකට හිමිකම් පෑ ඇතාට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් වලාන මධ්යම දූෂණ මර්දන ප්රහාරක බළකාය සහ වනජීවී දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සිදු කළ මෙහෙයුමකදී, අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ ප්රාදේශීය ලේකම් කාර්යාලයක සේවය කරන නිපුණතා සංවර්ධන නිලධාරියෙකු සහ තවත් සැකකරුවෙකු මේ මස 28 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහව මහේස්ත්රාත් අනුරාධා සෙනෙවිරත්න මෙනවිය (ඔක්: 19) නියෝග කළා ය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන මෙහෙයවා එම විමර්ශනවල ප්රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට ද මහේස්ත්රාත්වරිය අඹන්පොළ පොලිසියට තවදුරටත් නියෝග කරනු ලැබුවා ය.
මෙසේ නියෝග කළේ, කාවන්තිස්ස නමින් ප්රචලිත දළ හස්තියා ඝාතනය වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ බී වාර්තාවක් මගින් අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමිනි.
ගල්ගමුව වනජීවී කාර්යාල නිලධාරීන් අධිකරණයට කරුණු දක්වමින් පැවසුවේ, කාවන්තිස්ස නමින් ප්රචලිත ඇතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වලාන දූෂණ මධ්යම ප්රහාරක බලකාය සහ වනජීවී දෙපාර්තමේන්තුව ඒකාබද්ධ කළ මෙහෙයුමකදී මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව ය.
කාවන්තිස්ස නමින් ප්රචලිත ඇතා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් වහා ම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස මීට පෙර ගල්ගමුව වැඩබලන මහේස්ත්රාත් චතුරිකා හතුරුසිංහ වනජීවී දෙපාර්තමේන්තුවට නියෝග නියෝග කළා ය.
කාවන්තිස්ස ඇතා උස අඩි 11 අඟල් 3කින් සමන්විත වන අතර දළ යුගල අඩි 5යි අඟල් එකක් දිග බවට වනජීවී දෙපාර්තමේන්තුව හඳුනාගෙන තිබේ. කාවන්තිස්ස ඇතාගේ බර කිලෝ 5000ත් 5500ත් අතර වේ.
සැකකරුවෙන් වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් නීතිඥ උදය රාජපක්ෂ සඳහන් කළේ, සිය සේවාදායකයින් කාවන්තිස්ස නමින් ප්රචලිත ඇතාට වෙඩි තැබූ බවට පොලිසිය එල්ල කරන චෝදනා තරයේ ප්රතික්ෂේප කරන බව ය. කිසිදු සාක්ෂියක් නොමැතිව යම්කිසි පුද්ගලයෙකුගේ ප්රකාශයක් පදනම් කර ගනිමින් තම සේවාදායකයින් අත්අඩංගුවට ගැනීම යුක්තිසහගත නොවන බව ද නීතිඥවරයා කීවේ ය. පොලිසිය පවසන පරිදි සැකකරුවන් සමග අත්අඩංගුවට ගත් ගිනි අවි දෙක මෙම සැකකරුවන් දෙදෙනාට අයත් බලපත්ර සහිත නීත්යනුකූල ගිගි අවි බව ද අවධාරණය කළ උදය රාජපක්ෂ, කාවන්තිස්ස නමින් ප්රචලිත ඇතා ඝාතනය වීම සිද්ධිය සම්බන්ධයෙන් සමාජය තුළ ඇති වී තිබෙන කැලඹිලිසහගත තත්ත්වය සමනය කිරීම සඳහා පොලිසිය මෙම සැකකරුවන් දෙදෙනා කිසිදු සාක්ෂියක් නොමැතිව නිකරුණේ අත්අඩංගුවට ගෙන ඇති බවට ද චෝදනා කළේ ය.
තවදුරටත් අධිකරණය හමුවේ කරුණු දක්වමින් නීතිඥ උදය රාජපක්ෂ අධිකරණයෙන් ඉල්ලා සිටියේ, සිය සේවාදායකයින් ඕනෑ ම ඇප කොන්දේසියක් මත මුදා හරින ලෙස ය.
මෙහිදී අලි ඇතුන් ආරක්ෂා කිරීමේ ලෝක සංවිධානයේ ශ්රී ලංකා ශාඛාව වෙනුවෙන් ජ්යේෂ්ඨ නීතිඥ විජිත වික්රමනායකගේ උපදෙස් මත අධිකරණයට කරුණු දක්වමින් නීතිඥ සඳගිරි බණ්ඩාර ප්රකාශ කළේ, කාවන්තිස්ස ඇතාට වෙඩි තැබුවේ කවුරුන් ද? යන්න පිළිබඳව අනාවරණය කරගෙන මෙම අපරාධය සිදු කළේ කවුරුන් ද? යන්න පිළිබඳව හෙළි කර ගැනීමට පොලිසිය බැඳී සිටින බව ය.
මෙම අපරාධය සම්බන්ධයෙන් සමාජය තුළ මහත් කැළඹීමක් ඇතිවී තිබෙන බව ද අවධාරණය කළ නීතීඥවරයා, අවාසනාවන්ත ලෙස මියගිය කාවන්තිස්ස දළ ඇතාට යුක්තිය ඉටුවීම පිණිස විධිමත් පරීක්ෂණයක අවශ්යතාව දැඩිව පවතින බව ද පෙන්වා දුන්නේ ය.
මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කළේ, ඇහැටුවැව ප්රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන නිපුණතා සංවර්ධන නිලධාරී ශාන්ත ධර්මසිරි සහ තවත් සැකකරුවෙකු වන ලක්මාල් පත්මකුමාර සමරකෝන් යන දෙදෙනා ය. ඔවුහු ඇහැටුවැව හුළුගල්ල ප්රදේශයේ පදිංචිකරුවෝ වෙති.
ජනපතිගෙන් විශේෂඥ කමිටුවක්
'කාවන්තිස්ස' ඇතාගේ මරණය සම්බන්ධයෙන් සියලු කරුණු විමර්ශනය කිරීම, වන අලි ශුභසාධනය සඳහා සම්මත මෙහෙයුම් පටිපාටියක් සකස් කිරීම සහ ඇතුන් සුරැකීමේ ජාතික වැඩසටහනකට අදාළ නිර්දේශ ලබාදීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් විශේෂඥ කමිටුවක් පත් කරනු ලැබූ බව ජනාධිපති මාධ්ය අංශය නිවේදනය කළේ ය.
හිටපු අමාත්යාංශ ලේකම් ඒ.එච්. සරත් විජේසිංහගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස මහාචාර්ය ටී. සමින්ද ප්රනාන්දු, මහාචාර්ය ඒ.ජී. අනිල් පුෂ්පකුමාර, මහාචාර්ය යූ.කේ. කාලිංග පද්මලාල්, ආචාර්ය ජගත් ගුණවර්ධන සහ නීතිඥ චරක ජයරත්න යන විශේෂඥයෝ කටයුතු කරති.
මෙම විශේෂඥ කමිටුවේ සම්බන්ධීකාරක ලෙස ජනාධිපති අතිරේක ලේකම් ඩබ්ලිව්.ඩබ්ලිව්. හැරිසන් කටයුතු කරනු ඇත.
'කාවන්තිස්ස' ඇතාගේ මරණය සිදුවූ ආකාරය, ඊට බලපෑ ආසන්න හා වක්ර හේතු, ප්රතිකාර කටයුතුවලදී යම් අතපසුවීම් හෝ නොසැලකිලිමත්කම් සිදුවී තිබේ ද? යන්න පිළිබඳව සොයා බැලීම මෙන් ම, වන අලි ශුභසාධනය සඳහා සම්මත මෙහෙයුම් පටිපාටියක් සකස් කිරීම සහ ඇතුන් සුරැකීමේ ජාතික වැඩසටහනකට අදාළ නිර්දේශ ලබා දීම මෙම කමිටුවට පවරා තිබේ.
ඒ අනුව, කාවන්තිස්ස ඇතාගේ මරණය සම්බන්ධයෙන් වන අවසන් විමර්ශන වාර්තාව, යෝජිත වන අලි ශුභසාධනය සඳහා සම්මත මෙහෙයුම් පටිපාටි රාමුව සහ ඇතුන් සුරැකීමේ ජාතික වැඩසටහනකට අදාළ වන යෝජනාවලිය ඇතුළත් සම්පූර්ණ වාර්තාව දින 30ක් ඇතුළත ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.
'අග්බෝ ඇතා' හමුවෙයි
මේ අතර, සියලු ම අලි ඇතුන්ගේ ආරක්ෂාවට පියවර ගනිමින් සිටින බව ආරක්ෂක අමාත්යංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්රාමික) සම්පත් තුයියකොන්තා බීබීසී සිංහල වෙත පැවසීය.
ඔහු කියා සිටියේ, ආරක්ෂක අංශ විසින් සොයමින් සිටි, අග්බෝ නැමති ඇතා ද, නාච්චාදූව කැළෑබද ප්රදේශයකදී හමුවූ බව ය.
පරිසර අමාත්යංශය සඳහන් කළේ, කාවන්තිස්ස' හස්තියාට වෙඩි තැබීමේ සිදුවීමට හා ඒ ආශ්රිත නීති විරෝධී ක්රියාකාරකම් සම්බන්ධව තවත් සැකකරුවන් පස් දෙනෙක් අත්අඩංගුවට ගත් බව ය.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, පානදුර වලාන මධ්යම දූෂණ මර්දන ප්රහාරක බළකාය සහ පොලිස් නිලධාරීන් එක්ව අදාළ බල ප්රදේශය කේන්ද්ර කර ගනිමින් දියත් කළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී මෙම පිරිස නීතියේ රැහැනට හසුකරගෙන ඇතැයි එම අමාත්යංශය සඳහන් කළේ ය.
වනජීවී නිලධාරීන් සහ ගල්ගමුව පොලීසිය එක්ව අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් දැඩි ලෙස ප්රශ්න කරමින් සිටින අතර, අදාළ වෙඩි තැබීමට භාවිත කළ ගිනි අවි සහ වන සතුන් ඉලක්ක කර ගත් සංවිධානාත්මක ජාවාරම් ජාලයක් ක්රියාත්මක වූයේ ද? යන්න පිළිබඳව ඉදිරි විමර්ශන පුළුල් කර ඇති බව ද පරිසර අමාත්යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
'ක්ෂණික පැලැස්තර වෙනුවට දීර්ඝකාලීන වැඩපිළිවෙළක් අවශ්ය යි'
මෙම සිදුවීම සම්බන්ධයෙන් ජනතාව, පරිසරවේදීන්, විවිධ සංවිධාන මෙන් ම දේශපාලනඥයන් එල්ල කළ දැඩි බලපෑමේ ප්රතිඵලයක් ලෙස රජයේ ආයතන කිහිපයක් යම් යම් පියවර ගැනීම අගය කළ යුතු වුවත්, මෙවැනි විනාශයන් වළක්වා ගැනීමට නම් ක්ෂණික විසඳුම් වෙනුවට විධිමත් හා ස්ථිර වැඩපිළිවෙළක් වහා ම සකස් කළ යුතු බව පරිසර යුක්ති කේන්ද්රයේ සභාපති, නීතිඥ ආචාර්ය රවීන්ද්රනාත් දාබරේ පවසයි.
කාවන්තිස්ස ඇතාගේ මරණයෙන් ඇති වූ සමාජ පීඩනය වසා ගැනීමට පමණක් ක්රියා නොකර, අලි ඇතුන් විනාශ වීම වැළැක්වීමට රජය සැබෑ වුවමනාවකින් කටයුතු කළ යුතු බව ඔහු පෙන්වා දෙයි.
"මේ කාවන්තිස්ස ගැන විතරක් කතා කරලා, කාවන්තිස්ස නිසා එන ප්රෙෂර් එකට එහෙම නැත්නම් එන පීඩනයට ඒ පිළිබඳව යම් දෙයක් කරනවා කියලා පෙන්වීමෙන් පමණක් මේ ප්රශ්නය විසඳෙන්නේ නැහැ. මේ ප්රශ්නය විසඳීම සඳහා දීර්ඝකාලීන වැඩපිළිවෙළක් ක්රියාත්මක කරන්නට ඕනේ. නැවත... නැත්නම් නැවතත් හෙට අනිද්දත් අපි දකී තව අලි ඇතුන් විශාල ප්රමාණයක් මේ විදිහට මිය යනවා."
ලෝකයේ අලි ඇතුන් ජීවත් වන සීමිත රටවල් කිහිපය අතරින් ශ්රී ලංකාව ප්රමුඛස්ථානයක් ගන්නා බැවින්, වනජීවී සංචාරක ව්යාපාරයෙන් ලැබෙන සමස්ත ආදායමෙන් අවම වශයෙන් 5%ක් හෝ 10%ක ප්රමාණයක් අලි ඇතුන්ගේ ශුභසාධනය සහ සංරක්ෂණය වෙනුවෙන් වෙන් කිරීමට රජය පියවර ගත යුතු බව ආචාර්ය දාබරේ මහතා යෝජනා කරයි.
විශේෂයෙන් ම, දිස්ත්රික් හෝ පළාත් මට්ටමින් ප්රමාණවත් වනජීවී වෛද්යවරුන් බඳවා ගැනීම, යල් පැන ගිය නිලධාරී ධූර පද්ධති (කාඩර) යාවත්කාලීන කිරීම සහ සතුන්ට ප්රතිකාර කිරීම සඳහා අත්යවශ්ය වන නවීන එක්ස්රේ සහ ස්කෑන් යන්ත්ර ඇතුළු වෛද්ය පහසුකම් කඩිනමින් පුළුල් කළ යුතු බව ඔහු සඳහන් කළේ ය.
වනජීවී පශු වෛද්ය නිලධාරීන් දැඩි සිත්තැවුලක
වනජීවී හා සත්වෝද්යාන පශු වෛද්ය නිලධාරීන්ගේ වෘත්තීය ක්රියාපටිපාටිය ඉලක්ක කර ගනිමින් වර්තමානයේ මාධ්ය සහ සමාජ මාධ්ය ඔස්සේ එල්ල වන නිර්දය විවේචන පිළිබඳව වනජීවී හා සත්වෝද්යාන පශු වෛද්ය නිලධාරී සංගමයේ සභාපති වෛද්ය නිහාල් පුෂ්පකුමාර සිය දැඩි කණස්සල්ල පළ කරයි. අම්පාර පශු වෛද්ය ඒකකයේ පැවති මාධ්ය හමුවකදී අදහස් දැක්වූ ඔහු පෙන්වා දුන්නේ, ඇතැම් පරිසරවේදීන් සහ සමාජ මාධ්ය ක්රියාකාරීන් පදනම් විරහිත ප්රකාශ නිකුත් කරමින් වනජීවී වෛද්යවරුන්ව "මස්වැද්දන්" වැනි නුසුදුසු වචනවලින් හඳුන්වන බව ය. වනසතුන් සහ අලි ඇතුන් මරා දැමීමට වෛද්යවරුන් හවුල් වන බවට කෙරෙන මෙම බරපතළ හා පටු චෝදනා හේතුවෙන්, දිවා රෑ නොබලා අතිශය දුෂ්කර තත්ත්වයන් යටතේ සේවය කරන වනජීවී පශු වෛද්ය නිලධාරීන් දැඩි සිත් තැවුලකට පත්ව සිටින බව ඔහු අවධාරණය කළේ ය.
මෙම විවේචනවලට පිළිතුරු දෙමින් වෛද්ය නිහාල් පුෂ්පකුමාර මහතා ප්රකාශ කළේ, ලංකාවේ පශු වෛද්යවරුන් යනු පේරාදෙණිය විශ්වවිද්යාලයෙන් හෝ පිළිගත් විදේශීය විශ්වවිද්යාලයකින් වසර පහක මූලික උපාධියක් ලබා, පශ්චාත් උපාධි අධ්යාපනය ද නිම කර වසර ගණනාවක ක්ෂේත්ර පළපුරුද්දක් සහිතව සේවය කරන ඉහළ වෘත්තීය නිපුණත්වයකින් යුත් නිලධාරීන් කොටසක් බව ය. වනජීවී පශු වෛද්යවරයෙකු කැළෑබද පරිසරයකදී සතෙකු වෙනුවෙන් තීරණ ගනු ලබන්නේ, තමන් වසර ගණනාවක් තිස්සේ උගත් වෛද්ය විද්යාව, ප්රායෝගික අත්දැකීම් සහ පවතින සැබෑ ක්ෂේත්ර වටපිටාව ඉතා සාධාරණව ගලපා බැලීමෙන් පසුව ය. එබැවින් වෘත්තීය මට්ටමින් සිදු කෙරෙන මෙම සේවාව කිසිසේත් ම සැහැල්ලුවට ලක් කළ නොහැකි බව ඔහු කියා සිටියේ ය.
වනජීවී පශු වෛද්යවරුන් සැමවිට ම කටයුතු කරන්නේ ඉතා විද්යාත්මක වූත්, පිළිගත් ක්රමවේදයකට අනුව බව සිහිපත් කළ සභාපතිවරයා, නිසි වෛද්ය විද්යාත්මක දැනුමක් නොමැති බාහිර පුද්ගලයන්ගේ උපදෙස් මත ප්රතිකාර කිරීමට තමන් සූදානම් නොමැති බව ද පැවසීය. වන සතුන්ගේ රෝගී තත්ත්වයන් පිළිබඳව නිසි වැටහීමක් නොමැති ගවයන් බලාගන්නා හෝ මසුන් අල්ලන සාමාන්ය වැසියන් සතෙකු දෙස බලා පවසන අදහස් මත පදනම්ව වෛද්ය විද්යාත්මක තීරණ ගත නොහැකි බවත්, සතුන් නිර්වින්දනය කිරීම හෝ ප්රතිකාර කිරීම වැනි සංකීර්ණ කාර්යයන් සිදු කරනු ලබන්නේ, සත්ව ජීවිතවල ආරක්ෂාව තහවුරු කෙරෙන දැඩි විද්යාත්මක පදනමක පිහිටා සිටිමින් පමණක් බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ ය.