'මම හර්පීස් රෝගියෙක් කියන එක ගැන මම ලැජ්ජා වෙන්නේ නෑ'

Melys, who has blonde hair, and wears a blue strapless top, looks down the barrel of the camera with a gentle smile. She stands in front of a castle entrance.

ඡායාරූප මූලාශ්‍රය, Julian Tse

ඡායාරූප ශීර්ෂ වැකිය, වසරකට ආසන්න කාලයක් පුරා, මෙලිස් අන් අයගේ දෑස් දෙස කෙලින් බැලීමෙන් වැළකී සිටි අතර, සමීපතම මිතුරන් සමග කතා කරන විට පවා අව් කණ්ණාඩි (dark glasses) පැළඳ සැඟවී සිටියා ය.
    • Author, ලීනා සහරා මොහොමඩ්
    • Role, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 6

මෙලිස් එඩ්වර්ඩ්ස් වයස අවුරුදු 20 ගණන්වල මුල් භාගයේ පසුවන විට අව් කණ්නාඩි යුගලක් නොමැතිව නිවසින් පිටතට ගි‍යේ කලාතුරකින් ය. ඒ අව් රශ්මිය තිබූ නිසා නොව, ඇයට ලැජ්ජාවක් දැනුණු බැවිනි.

"මට අවශ්‍ය වුණේ නැහැ මිනිස්සු මාව දකිනවාට. ලැජ්ජාව කියන්නේ මොකක් ද කියන එකට හොඳ ම උදාහරණය ඒක යි," 29 හැවිරිදි ඇය, තමාට ලිංගික හර්පීස් රෝගය වැළඳී ඇති බව හඳුනාගත් අවස්ථාවේ ඇති වූ හැඟීම විස්තර කරමින් පැවසුවා ය.

සෞඛ්‍ය විශේෂඥයින් පවසන්නේ, බොහෝ දෙනෙකුට මෙවැනි රෝග විනිශ්චයකින් ඇති වන මානසික බලපෑම එහි ශාරීරික රෝග ලක්ෂණවලට වඩා වැඩි විය හැකි බව ය.

2024 වසරේදී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කරන ලද ඇස්තමේන්තුවලට අනුව ලොව පුරා වයස අවුරුදු 15ත් 49ත් අතර වයස් කාණ්ඩයේ පසු වන මිලියන 846ක පමණ පිරිසක් ලිංගික හර්පීස් ආසාදනයෙන් පෙළෙති. එය මෙම වයස් කාණ්ඩයේ පස් දෙනෙකුගෙන් එක් අයෙකුට වඩා වැඩි අනුපාතයකි.

මෙය ප්‍රතිකාර කළ හැකි නමුත් නිට්ටාවට ම සුව කළ නොහැකි තත්ත්වයකි. බොහෝවිට, මෙම ආසාදනය නිසා රෝග ලක්ෂණ මතු නොවන අතර මතු වන්නේ නම් ඒ ඉතා සුළු රෝග ලක්ෂණ කිහිපයක් පමණි. කෙසේ වෙතත්, ඇතැම් පුද්ගලයන්ට මෙය ජීවිත කාලය පුරා ම නැවත නැවතත් ඇති විය හැකි, දැඩි වේදනාවක් ගෙන දෙන ලිංගික ප්‍රදේශයේ තුවාල සහ බිබිලි ඇති කිරීමට හේතු වේ.

එක්සත් රාජධානියේ වේල්ස්හි ජීවත් වන මෙලිස් පවසන පරිදි ඇයට මුලින් ම එය වැළඳුණු අවස්ථාවේදී ඇති වූ ශාරීරික වේදනාව ඉවසා සිටිය නොහැකි තරම් විය. "මට මේක මුලින් ම හැදුණු වෙලාවේ, ඒක හරි ම භයානක වුණා," ඇය බීබීසී වේල්ස් සේවයට පැවසුවා ය.

මෙම ඩිජිටල් අන්තර්ගත නිර්මාණකාරිණිය විශ්වාස කරන්නේ, තමාට ලිංගික හර්පීස් ආසාදනය වී ඇත්තේ එය වැළඳී තිබුණු නමුත් ඒ බව ඇයට නොපැවසූ පුද්ගලයෙකු සමග අනාරක්ෂිත ලෙස ලිංගිකව එක්වීමෙන් බව ය.

ඇයගේ රෝග විනිශ්චයත් සමග ඇය තුළ දැඩි ශෝකයක්, කෝපයක් සහ ප්‍රතික්ෂේප කිරීමේ තත්ත්වයක් ඇති විය. ඇය විස්තර කරන්නේ තමා තුළින් ම තමා වෙන් වී සිටින බවක් දැනුණු අතර, තමාගේ ම තීරණ මත පවා විශ්වාසය තැබීමට නොහැකි වූ බව ය.

"ඒ මොහොතේ මගේ මුළු ජීවිතය ම වෙනස් වුණා," ඇය පවසයි.

Melys sits in a yoga pose, with open legs and her hands together. She sits on a sandy beach and wears pink gym wear and a silver necklace. A vast blue sky behind her with with a man sat perched and some palm trees dotted to the right.

ඡායාරූප මූලාශ්‍රය, Emrah Zengin

ඡායාරූප ශීර්ෂ වැකිය, මෙලිස් යෝග උපදේශිකාවක ලෙස කටයුතු කරන අතර, ලිංගික හර්පීස් (genital herpes) පිළිබඳව දැනුවත් කිරීම සඳහා ඇය සිය සමාජ මාධ්‍ය භාවිත කරයි

ලිංගික හර්පීස් යනු කුමක් ද?

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ලිංගික හර්පීස් ඇතිවන්නේ, 'හර්පීස් සිම්ප්ලෙක්ස්' නමැති වෛරසය මගිනි. වරක් මෙම වෛරසය ශරීරයට ඇතුළු වූ පසු, එය සදාකාලිකව ම ශරීරය තුළ පවතී.

එය වෙනත් ස්ථානවල බිබිලි ඇති කිරීමට පැතිර නොයන නමුත් ආසාදිත ප්‍රදේශය ආසන්නයේ ඇති ස්නායුවක රැඳී සිටිමින්, එම ප්‍රදේශයේ ම තුවාල ඇති කරයි.

හර්පීස් සිම්ප්ලෙක්ස් වෛරසය HSV-1 සහ HSV-2 යනුවෙන් හැඳින්වෙන ප්‍රධාන වර්ග දෙකකින් සමන්විත වේ. මේ දෙවර්ගයෙන් ම ලිංගික හර්පීස් තත්ත්වය ඇති විය හැක. ඇස්තමේන්තු අනුව, 2020 වසරේදී මිලියන 520ක පිරිසකට ලිංගික ක්‍රියාවලියේදී සම්ප්‍රේෂණය වන HSV-2 ලිංගික හර්පීස් ආසාදනය වී තිබිණි.

සෞඛ්‍ය අංශවලට අනුව HSV-2 වර්ගය වඩාත් බරපතළ ලෙස සැලකේ. ඊට හේතු වන්නේ එය නැවත නැවතත් මතු වීමට ඇති ඉඩකඩ බෙහෙවින් වැඩි වීම, රෝග ලක්ෂණ සහිත තත්ත්වයන්ගෙන් 90%කට ම වගකීම සහ HIV ආසාදනය වීමේ අවදානම තුන්ගුණයකින් ඉහළ නැංවීමට සම්බන්ධ වීම ය.

යෝනි මාර්ගයේ සහ අවට ඇති සියුම් ශ්ලේෂ්මල පටල නිසා වෛරසය විනිවිද යාමට පහසු වන බැවින් කාන්තාවන්ට පිරිමින්ට සාපේක්ෂව දෙගුණයක් පමණ HSV-2 ආසාදනය වේ.

HSV-1 වෛරසය මූලිකව ම පැතිරෙන්නේ ළමා වියේදී කෙළ හෝ මුඛය වටා සිදුවන සමට සම ස්පර්ශය මගිනි. එය මුඛ ආශ්‍රිත හර්පීස් ඇති කරන අතර, එහිදී බහුලව ම දක්නට ලැබෙන රෝග ලක්ෂණ වන්නේ මුඛය වටා ඇති වන බිබිළි හෝ මුඛය තුළ ඇති වන තුවාල වේ.

එක්සත් රාජධානියේ පුණ්‍යායතනයක් වන හර්පීස් වෛරස් සංගමයේ (Herpes Viruses Association) අධ්‍යක්ෂිකා මේරියන් නිකල්සන් පවසන්නේ, තොල් වටා එන බිබිලි සහ ලිංගික හර්පීස් ඇතිවන්නේ එක ම වෛරසයෙන් බව බොහෝ දෙනා නොදන්නා බව ය. මුඛ සංසර්ගය යනු මෙම වෛරසය බෝවීමට බලපාන ප්‍රධානතම ක්‍රමයක් බව ඇය වැඩිදුරටත් සඳහන් කරයි.

"වෛරසය දන්නේ නෑ එයා ඉන්නේ කොතැන ද කියලා. යම් අයෙකු මුඛයේ තුවාල තිබියදී මුඛ සංසර්ගයේ යෙදුණොත්, එම වෛරසය ලිංගික අවයවවලට සම්ප්‍රේෂණය වෙන්න පුළුවන්."

රෝග ලක්ෂණ අතරට ලිංගික අවයව අවට කුඩා බිබිලි, ලප හෝ තුවාල ඇති වීම, එම ප්‍රදේශයේ දැවිල්ලක් හෝ හිරිවැටීමක් දැනීම සහ මුත්‍රා කිරීමේදී ඇති වන වේදනාව ඇතුළත් වේ.

තුවාලයකින් ලබාගන්නා දියර සාම්පලයක් පරීක්ෂා කිරීමෙන් රෝග විනිශ්චය සිදුකරනු ලබන අතර, එය කළ හැක්කේ රෝග ලක්ෂණ මතු වී පවතින අවස්ථාවලදී පමණි.

ලිංගික හර්පීස් පාලනය කළ හැක්කේ කෙසේ ද?

මෙලිස් පවසන්නේ, උපකාරයක් ලබා ගැනීමට තොරතුරු සෙවීම සඳහා ඉන්ටර්නෙට් ඔස්සේ සොයා බැලීම් සිදු කළ විට, ඇයට හමුවූයේ බියට පත්වන පුවත් බව ය.

"මම කියවමින් හිටියේ 'ඔයාගේ ජීවිතය ආයෙ කවදාවත් තිබුණු විදිහට වෙන්නේ නැහැ, ඔයාට කවදා හරි ළමයි ලැබෙයි ද කියලා කවුද දන්නේ?' අන්න ඒ වගේ දේවල්වලට තමයි මට මුහුණ දෙන්න සිද්ධ වුණේ."

නමුත් දශක තුනකට වැඩි කාලයක් හර්පීස් තත්ත්වය සමඟ ජීවත් වන නිකල්සන් පවසන්නේ, බොහෝ දෙනෙකුට මෙය පහසුවෙන් පාලනය කර ගත හැකි සමේ රෝගී තත්ත්වයක් බව ය.

Melys stands in front of a London skyline with Big Ben and the Houses of Parliament behind her. She wears a cap and gown, with her hand holding the tip of her graduation cap.

ඡායාරූප මූලාශ්‍රය, Melys Edwards

ඡායාරූප ශීර්ෂ වැකිය, "හර්පීස් (herpes) වැළඳීම ගැන කතා කරන්නේ ඉතා ම සුළු පිරිසක් පමණයි": මෙලිස් පවසයි.

"මෙතන තියෙන්නේ අනවශ්‍ය බියක්," ඇය පවසයි. "මිනිස්සු හිතන්නේ මේක දඬුවමක් කියලා - ඒත් ඒක එහෙම නෙවෙයි."

බොහෝ දෙනෙකුට කිසිදු රෝග ලක්ෂණයක් මතු නොවන අතර, නැවත නැවතත් රෝගය මතු වන අයට ප්‍රතිවෛරස් ඖෂධ සහ ජීවන රටාවේ වෙනස්කම් මගින් ඒවා පාලනය කරගත හැකි ය.

"ඔවුන් එය ආසාදනය වූ බව තේරුම් ගන්නේ තුන් දෙනෙකුගෙන් එක් අයෙක් පමණයි. තුන් දෙනෙකුගෙන් දෙදෙනෙකුට ම මෙය වැළඳෙන්නේ ඉතා සුළු වශයෙන් නිසා, ඔවුන්ට එය තේරෙන්නේවත් නැහැ," යනුවෙන් නිකොල්සන් පවසයි.

පළමු වරට ආසාදනය වන විට පවා, රෝග ලක්ෂණ සඳහා ප්‍රතිකාර කිරීම අත්‍යවශ්‍ය නොවිය හැකි අතර ඊට හේතුවන්නේ බිබිලි බොහෝ විට ඉබේ ම සුව වී යාම ය.

නමුත් විශේෂයෙන් ම තදබල රෝග ලක්ෂණ ඇති විට ප්‍රතිකාර ලබා ගැනීම උපකාරී විය හැක. රෝගය උත්සන්න වීම වැළැක්වීමට ප්‍රතිවෛරස් ඖෂධ හෝ වේදනාව සඳහා ආලේපන නියම කිරීමට ඉඩ ඇත.

නැවත නැවතත් මතු වන රෝග ලක්ෂණ සාමාන්‍යයෙන් පළමු අවස්ථාවට වඩා සමනය වන අතර, කාලයත් සමග රෝග ලක්ෂණ මතු වන වාර ගණන ද අඩු වී යයි.

උපත් පාලන කොපු භාවිතයෙන් හර්පීස් බෝවීමේ අවදානම අඩු වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන අතර, සක්‍රීය රෝග ලක්ෂණ සහිත පුද්ගලයන් අන් අය සමග ලිංගික සබඳතා පැවැත්වීමෙන් වැළකිය යුතු බව ද එම සංවිධානය අවධාරණය කරයි. එමෙන් ම රෝග ලක්ෂණ ඇති අයට HIV පරීක්ෂණ සඳහා යොමු වන ලෙස ද ඔවුන් නිර්දේශ කරයි.

එක්සත් රාජධානියේ ජාතික සෞඛ්‍ය සේවයට අනුව රෝගී තත්ත්වයන්, මානසික ආතතිය සහ ඔසප් චක්‍රය යන සියල්ල ම රෝගය නැවත මතු වීමට හේතු විය හැක. එබැවින් ජනතාව, පාරජබ්මුල කිරණ, ලිංගික සංසර්ගය හෝ තද ඇඳුම් නිසා ඇති වන ඇතිල්ලීම් මෙන් ම මද්‍යසාර සහ දුම්පානයෙන් ද ආරක්ෂා වීමට උත්සහ කළ යුතු බව එම සංගමය යෝජනා කරයි.

කාලයාගේ ඇවෑමෙන් ඇගේ රෝග විනිශ්චය මගින් තම ජීවිතය තීරණය නොවන බව මෙලිස් වටහා ගැනීමට පටන් ගත් අතර, ඇය දැන් සමාජ මාධ්‍ය භාවිතයෙන් මේ පිළිබඳව ජනතාව දැනුවත් කරයි.

"මේක වැළඳුණ බව මම මුලින් ම දැනගත්තා ම, බය හිතෙන ගූගල් සෙවුම් සහ රෙඩිට් සටහන් හැර වෙන කිසි ම දෙයක් ඉන්ටර්නෙට් එකේ තිබුණේ නැහැ," ඇය පවසයි. "ඉතින් එදා මට අවශ්‍ය වූ ඒ පුද්ගලයා වීමට අද මට හැකි නම්, එයින් කිසියම් හොඳ දෙයක් සිදු වී තිබෙනවා."