බීමතින් රිය පදවා අනතුරක් වළක්වා නොගැනීම: මහජන ආරක්ෂක ලේකම් රවී සෙනෙවිරත්නට අධිකරණයෙන් රු. 2500ක දඩයක්

රවී සෙනෙවිරත්න

ඡායාරූප මූලාශ්‍රය, PMD Sri Lanka

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 4

බීමතින් රිය පදවා 2023 වර්ෂයේ වැල්ලවත්ත මුහුදු මාර්ගයේදී අනතුරක් සිදු කිරීමේ සිද්ධියට අදාළව රිය අනතුරක් වළක්වා නොගැනීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්නට රුපියල් 2500ක දඩ මුදලක් ගෙවන ලෙස ගල්කිස්ස මහේස්ත්‍රාත් කාංචනා නෙරංජලා සිල්වා අද (ජූලි 09) නියෝග කළා ය.

ඒ, රිය අනතුරක් වළක්වා නොගැනීම යන චෝදනාව සම්බන්ධයෙන් තමන් වරදකරු බවට පිළිගැනීමෙන් අනතුරුව ය.

නඩුව අද දින කැඳවූ අවස්ථාවේදී පළමු වන චෝදනාව වන රිය අනතුරක් වළක්වා නොගැනීම සම්බන්ධයෙන් තම සේවාදායකයා වරද පිළිගන්නා බව චූදිතයා වෙනුවෙන් පෙනී සිටි චන්දන පෙරේරා, ගීත්ම ප්‍රනාන්දු සහා අජිත් නන්දකුමාර යන නීතිඥවරු අධිකරණයට දැන්වූහ.

පළමු වන චෝදනාව වන රිය අනතුරක් වළක්වා නොගැනීම යන චෝදනාව සම්බන්ධයෙන් දඬුවම් නියම කිරීමට හා දෙවන සහ තෙවන චෝදනා වන අපරීක්ෂාකාරීව රිය පැදවීම, බීමත්ව රිය පැදවීම යන චෝදනා ඉදිරියට පවත්වාගෙන යනවා ද? නැද්ද? යන්න පිළිබඳ තීන්දුව ප්‍රකාශ කිරීම සඳහා මෙම නඩුව අද දින කැඳවනු ලැබී ය.

ඒ අනුව දෙවන සහ තෙවන චෝදනා වන අපරීක්ෂාකාරීව රිය පැදවීම, බීමත්ව රිය පැදවීම යන චෝදනා සම්බන්ධයෙන් නඩුව විභාගයට ගැනීමට සහ නියම කරන ලද දඩ මුදල ගෙවීමට නැවත මෙම නඩුව අගෝස්තු මස 20 වන දින කැඳවන ලෙසට මහේස්ත්‍රාත්වරිය නියෝග කළා ය.

අධිකරණය වෙනස් කිරීමට 2025 වසරේදී දැරූ උත්සහය

2023 වසරේ බීමත්ව රිය පදවා රිය අනතුරක් වළක්වා ගැනීමට කටයුතු නොකිරීම ඇතුළු චෝදනා යටතේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්නට එරෙහිව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගය තාවකාලිකව අත්හිටුවන ලෙස අභියාචනාධිකරණය 2025 සැප්තැම්බර් 04 වන දා අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ ය.

ඒ, ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ තමන්ට එරෙහිව පවතින නඩුකරය වෙනත් අධිකරණයකට මාරු කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව ය.

මායාදුන්නේ කොරයා සහ මහේන් ගොපල්ලව යන විනිසුරුවරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම සලකා බැලිණි.

පෙත්සම්රු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චන්දන පෙරේරාගේ උපදෙස් මත නීතිඥ සුරේන් ප්‍රනාන්දු එහිදී අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ, 2023 වසරේ ඔක්තෝබර් මස සිදුවූ රිය අනතුරු සිද්ධියක් සම්බන්ධයෙන් තම සේවාදායකයාට එරෙහිව වැල්ලවත්ත පොලීසිය විසින් බීමත්ව රිය පැදවීම ඇතුළු රථවාහන වැරදි යටතේ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් ගොනු කරනු ලැබූ බව ය.

ඊට අදාළව ඔහු රක්ෂිත බන්ධනාගාරගත කර පසුව ඇප මත මුදාහැරුණු බවත් ඔහු පෙන්වා දුන්නේ ය.

අනතුරුව තම සේවාදායකයාට එරෙහිව බීමත්ව රිය පැදවීම යන චෝදනාව පවත්වාගෙන යාමට නොහැකි බවට නීතිපතිවරයා උපදෙස් දී ඇති බව පොලිසිය විසින් මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්න ද, නීතිපතිවරයා එවැනි උපදෙසක් අධිකරණයට එවා නොමැති නිසා එම නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත්වරිය තීරණය කර තිබෙන බවත් නීතිඥවරයා සඳහන් කළේ ය.

බීමත්ව රිය පැදෙව්වොත් ලැබෙන දඬුවම් මොනවා ද?

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

බීමත්ව රිය පදවන රියදුරන්ට එරෙහිව පොලිසිය විසින් අදාළ පොලිස් බලප්‍රදේශයට අයත් මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරනු ලබයි.

එමෙන් ම රියැදුරු බලපත්‍රය මාස 2කට හෝ මාස 3කට අත්හිටවනු ඇත. මෙම වරද සඳහා ම දෙවන හා තුන් වන අවස්ථාවන්හිදී අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවහොත්, පනවනු ලබන දඩය සහ රියැදුරු බලපත්‍රය අත්හිටවනු ලබන කාලසීමාව දීර්ඝ වනු ඇත.

එමෙන් ම බීමතින් රිය පදවා රිය අනතුරක් සිදුකළ හොත් ලැබෙන දඬුවම මීට වඩා බරපතළ විය හැකි ය.

2019 අංක 10 දරන මෝටර් වාහන (සංශෝධන) පනතතේ 216 වගන්තියට අනුව බීමතින් රිය ධාවනය සඳහා රුපියල් 25000-රුපියල් 30000 අතර දඩ මුදලක් නියම වන අතර මාස 3ක් දක්වා සිර දඬුවම් පැනවීමට සහ මාස 12ක් දක්වා රියැදුරු බලපත්‍රය අත්හිටුවීමට හැකි ය.

216 (අ) වගන්තියට අනුව බීමත්ව මුදලකට හෝ දීමනාවකට මගීන් ප්‍රවාහනය කරයි නම් රු.25000-රු.30000 දඩ මුදලක් මෙන් ම මාස 6 ක් දක්වා සිර ද⁣ඬුවම් හෝ එම දෙකම සහ රියැදුරු බලපත්‍රය අවලංගු කළ හැකි ය.

බීමත්ව රිය පදවා යම් පුද්ගලයෙකුගේ මරණය සිදු කළහොත් 216 (අ) යටතේ දඩය රු.100000- රු.150000 හෝ වසර 2 කට නොඅඩු සහ වසර 10 ට නොවැඩි කාලයක් සදහා බන්ධනාගාර ගත කිරීම හෝ එම දඬුවම් දෙක ම හෝ රියැදුරු බලපත්‍රය අවලංගු කිරීම යන දෙකට ම යටත් කරනු ලබයි.

216 ආ( i) වගන්තියට අනුව බීමත්ව රිය පදවා සුළු තුවාල සිදු කිරීමේ වරදට දඩය රු.30000-රු.50000 වන අතර සිර ඳඩුවම වසර එකකට නොවැඩි කාලයක් සඳහා ද එම දඬුවම් දෙක ම ද රියැදුරු බලපත්‍රය අවලංගු කිරීම ද සිදු කෙරේ.

බීමත්ව රිය පදවා බරපතළ තුවාල සිදු කිරීමට 216 ආ (ii ) රු.50000 - රු.100000 අතර දඩ මුදලකට යටත් වන අතර වසර 5 දක්වා සිර දඬුවමත් ඉහත දඬුවම් දෙක ම හෝ ඊට අමතරව රියැදුරු බලපත්‍රය අවලංගු කිරීමත් සිදු කරයි.