
ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඇන්තනි සර්චර් - උතුරු ඇමෙරිකා වාර්තාකරු
උප ජනාධිපති ජේ.ඩී. වැන්ස්ගේ නායකත්වයෙන් යුත් රාජ්‍ය තාන්ත්‍රික කණ්ඩායම සෙනසුරාදා ඉරානය සමඟ පවතින යුද්ධය අවසන් කිරීම සඳහා සාකච්ඡාමය එකඟතාවයකට පැමිණීමට උත්සාහ කළ අතර එය අසාර්ථක වීමෙන් පසු, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඊළඟට ඔහු විසින් ගත යුතු පියවර කුමක්දැයි තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඉරානය මුහුදු මාර්ගයෙන් අවහිර කිරීම සඳහා එක්සත් ජනපදය තම නාවික හමුදාව භාවිතා කරන බවත්, "ඉරානයට නීතිවිරෝධී අයුරින් ගාස්තු ගෙවන ඕනෑම නෞකාවකට ආරක්ෂාවක් නැති " බවත් ඔහු සමාජ මාධ්‍ය සටහනක දක්වා තිබුණා.
නැව්වලට ආරක්ෂිතව යාත්‍රා කිරීම සහතික කිරීම සඳහා, විශේෂයෙන් මිත්‍ර රටවලට, ඇමෙරිකා එක්සත් ජනපදය හෝමූස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිත මුහුදු බෝම්බ ඉවත් කිරීම දිගටම කරගෙන යන බව ඔහු පැවසීය. එමෙන්ම "සුදුසු මොහොතේදී" ඉරානයට එරෙහිව නැවත ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කිරීම සඳහා එක්සත් ජනපද හමුදාව "සියල්ල සුදානම්" කොට ඇති බව ද ඔහු පැවසුවා.
ඉස්ලාමාබාද්හි පැවති පැය 20 ක සාකච්ඡාවලදී ප්‍රගතියක් ලබා ඇතත්, ඉරානය තම න්‍යෂ්ටික අභිලාෂයන් අත්හැරිය යුතු බවට වන ඇමෙරිකානු ඉල්ලීම ඉටු නොකරනු ඇතැයි ඔහු තවදුරටත් පැවසීය.
මුහුදු බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාමාර්ග හේතුවෙන් ඇමෙරිකානු නාවික යාත්‍රා ඉරාන ප්‍රහාරවලට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇති වේද? ඉරානයට ගාස්තු ගෙවූ නැව් මොනවාදැයි එක්සත් ජනපදය තහවුරු කරන්නේ කෙසේද? අවහිරය නොසලකා හරින විදේශීය නැව්වලට එරෙහිව එක්සත් ජනපදය බලය යොදවයි ද? ඉරාන තෙල් මත යැපෙන චීනය වැනි රටවල් එයට ප්‍රතිචාර දක්වන්නේ කෙසේද? ඉරානයේ ප්‍රධාන ආදායම් මාර්ගය කපා හැරීමට උත්සාහ කිරීම තෙල් මිල තවත් ඉහළ යාමට හේතු වේද?
ඒවාට පැහැදිලි පිළිතුරු නොමැත.
සෙනෙට් බුද්ධි කමිටුවේ ඉහළම ඩිමොක්‍රටික් සාමාජික වර්ජිනියාහි සෙනෙට් සභික මාර්ක් වෝනර් ඉරිදා CNN වෙත පැවසුවේ 'සමුද්‍ර සන්ධිය අවහිර කිරීමෙන් ඉරානය එය නැවත විවෘත කිරීමට එකඟ වන්නේ කෙසේදැයි තමාට නොතේරෙන බවයි."
පසුගිය සතියේ, ඉරානය සහ ඇමෙරිකා එක්සත් ජනපදය සති දෙකක සටන් විරාමයකට සහ මුහුණට මුහුණ සාකච්ඡා සඳහා එකඟ වීමට පෙර, ට්‍රම්ප් දුෂ්කර තත්ත්වයකට මුහුණ දී සිටියා.
ඔහුට ඉරානයට එරෙහි එක්සත් ජනපද ප්‍රහාර තවදුරටත් වේගවත් කිරීම හරහා රටේ සිවිල් යටිතල පහසුකම්වලට දිගුකාලීන හානියක් සිදු කළ හැකි අතර ඉන් මානුෂීය අර්බුදය තවත් උග්‍ර වී ගෝලීය ආර්ථිකය තවදුරටත් අස්ථාවර කළ හැකිව තිබෙනවා.
නැතහොත්, ඔහුට යුද්ධය නැවැත්විය හැකිය. බොහෝ ඇමෙරිකානුවන් එයට සහාය නොදක්වන අතර, දීර්ඝ කාලීන යුද්ධ සහ මැද පෙරදිග ගැටුම් වළක්වා ගැනීමට ඔහුගේ පොරොන්දු ගැන විශ්වාස කළ ඔහුගේ සමහර ආධාරකරුවන් පවා ඒ ගැන කලකිරීමට පත්ව සිටිනවා.
ඇමෙරිකාව යුද ජයග්‍රහණය පිළිබඳ ප්‍රකාශ කර සතියකට ආසන්න කාලයක් ගතවී ඇතත්, ජනාධිපතිවරයා මුහුණ දෙන දුෂ්කරතා වෙනස් වී නැහැ.
ඉරිදා උදෑසන ෆොක්ස් නිවුස් සමඟ කතා කරමින් ට්‍රම්ප් පැවසුවේ ඉරානය අවසානයේ එක්සත් ජනපදයට අවශ්‍ය "සියල්ල" ලබා දෙන බවයි. ඉදිරි මාසවලදී ඉන්ධන මිල ස්ථාවරව පැවතිය හැකි හෝ ඉහළ යා හැකි බව ඔහු පැවසුවා. එමෙන් ම එක්සත් ජනපද ආර්ථිකය ශක්තිමත්ව සහ ස්ථාවරව පවතිනු ඇතැයි ඔහු විශ්වාස කරනවා.
ඇත්ත වශයෙන් කියනවා නම් ඒක සූදුවක්.
නොවැම්බර් මාසයේ මධ්‍ය කාලීන මැතිවරණයක් පැවැත්වීමට නියමිතව ඇති අතර, ජනාධිපතිවරයා වැරදි බව ඔප්පු වුවහොත් ඔහුගේ රිපබ්ලිකන් පක්ෂයට විශාල සහයෝගයක් අහිමි වීමට ඉඩ තිබෙනවා.