සයිටම්: හෙට වෛද්‍ය වර්ජනයට රජය සූදානම්ද?

සංකේත වැඩවර්ජනය හෙට ස්ථිර ලෙස පැවැත්වෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි.
ඡායාරූප ශීර්ෂ වැකිය, සංකේත වැඩවර්ජනය හෙට ස්ථිර ලෙස පැවැත්වෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි
Published

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් හෙට (මැයි 05) දීපව්‍යාප්ත සංකේත වැඩවර්ජනයක් දියත් කිරීමට සූදානම් වෙති.

සංකේත වැඩවර්ජනය හෙට ස්ථිර ලෙස පැවැත්වෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි.

එම සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් කියා සිටියේ පාසල් ගුරුවරුන් සහ දුම්රිය නියාමකයන් ද වර්ජනයේ නියැලෙන බව තමන්ට දැනුම් දී ඇති බවය.

සයිටම් මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය මුල්කරගනිමින් හෙට දිනයේ අසනීප නිවාඩු වාර්තා කරන ලෙස ගුරු සංගම් දොළහක් පාසල් ගුරුවරුන්ගෙන් හා විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලා තිබේ.

දෙලක්ෂ තිස් දහසකට අධික පාසල් ගුරුවරුන් සහ පහළොස් දහසක් පමණවන විදුහල්පතිවරුන් අතරින් බහුතරයක් වර්ජනයට එක්වනු ඇති බවට ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ බලාපොරොත්තු පළ කළේය.

line
line

වර්ජනයේ යෙදීමට නියමිත වෘත්තීය සංගම්වලට අමතරව හෙට දින විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන වෘත්තීය සංගම් එකසිය පනහකට අධික සංඛ්‍යාවක් විවිධ වෘත්තීය ක්‍රියාමාර්ග ගනිමින් වර්ජනයට සහාය පළ කරන බව ප්‍රකාශ කර තිබේ.

පසුගියදා වර්ජනයේ යෙදුණු ඛනිජ තෙල් වෘත්තීය සමිති ද වර්ජනයට සහාය පළ කර තිබෙන නමුත් ඔවුන් ඒ සඳහා සක්‍රියව සහභාගී නොවේ.

ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම

සෞඛ්‍ය

ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම ද ඊයේ (මැයි 03) පාර්ලිමේන්තු සංකීර්ණයේ මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ වර්ජනයට තමන් ද සහාය ලබා දෙන බවය.

පසුගිය පාලන සමයේ ආරම්භ කෙරුණු සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම විරෝධය පළ කිරීම ද විශේෂත්වයකි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වර්ජනය පිළිබඳ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන දැනුවත් කර තිබෙන අතර සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලය ජන සතු කරන ලෙස ඔවුහු රජයෙන් ඉල්ලා සිටිති.

line
line

ඊට අමතරව ජාතික ප්‍රතිපත්ති සම්පාදනයකින් තොරව එක්ටා අන්තර්ජාතික වෙළඳ ගිවිසුම අත්සන් නොකිරීම, විශ්‍රාම වැටුප් කප්පාදු කර රාජ්‍ය සේවය "දියාරු නොකිරීම" යන ඉල්ලීම් ද ඔවුන් ජනාධිපතිවරයාට ඉදිරිපත් කර තිබේ.

එක්දින සංකේත වර්ජනය සම්බන්ධයෙන් රජය සාධනීය පිළිතුරක් ලබා නොදෙන්නේ නම් සියලු වෘත්තීය සමිති එක්කර ගනිමින් ඉදිරියේ දී අඛණ්ඩ වර්ජනයකට යොමුවන බවට ද ඔවුන් ජනාධිපතිවරයා වෙත යැවූ ලිපියෙන් අනතුරු අඟවා ඇත.

රජයේ ප්‍රතිචාරය

සෞඛ්‍ය

රජය වෙනුවෙන් අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න කියා සිටියේ වත්මන් ආණ්ඩුව පෙරලා දැමීමේ අරමුණින් වර්ජනය සිදු කරන බවය.

කෙසේ නමුත් ඊට මුහුණ දීමට ආණ්ඩුව සූදානම් බවත් ඇමතිවරයා පැවසීය.

"මෙය දේශපාලන වැඩපිළිවෙළක්. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඒකාබද්ධ විපක්ෂය බලයට ගෙන ඒමට උත්සාහ කරනවා. ඊට ඉඩ දෙන්නේ නැහැ" යනුවෙන් අමාත්‍ය රාජිත සේනාරත්න වැඩිදුරටත් සඳහන් කළේය.

ඩෙංගු

ඩෙංගු

මේ අතර රටේ විවිධ ප්‍රදේශවලින් ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වීමත් සමග ඇතැම් රෝහල්වල අධික තදබදයක් පවතින බව වාර්තා වේ.

කළුබෝවිල රෝහලේ සෑම ඇඳකම පාහේ රෝගීන් දෙදෙනෙකු ප්‍රතිකාර ලබන අයුරු දැකගත හැකි අතර එහි සිටි ඇතැම් රෝගීහු ඇඳක් නොමැතිව බංකු මත ප්‍රතිකාර ලබති.

line
line

හෙට පැවැත්වීමට නියමිත වෛද්‍ය වර්ජනය සම්බන්ධයෙන් කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීහු සිය කනස්සල්ල පළ කළහ.

වර්ජනය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය, රෝගීන් මුහුණ දෙන අසීරුතාව සලකා මේ මොහොතේ වර්ජනයකට නොයන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ඉල්ලා සිටී.