සාර්ක් කළාපීය වෛද්‍ය විද්‍යාලයක්?

සාර්ක් සෞඛ්‍ය අමාත්‍යවරු
Published

සාර්ක් කළාපීය රටවල් කේන්ද්‍ර කර ගනිමින් වෛද්‍ය විශ්ව විද්‍යාලයක් ස්ථාපිත කිරීමේ යෝජනාව සඳහා පූර්ණ නායකත්වය සැපයීමට ශ්‍රී ලංකාව සූදානම් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පවසයි.

සෞඛ්‍ය අමාත්‍යවරයා ඒ බව ප්‍රකාශ කළේ ගල්කිස්ස හෝටල් පරිශ්‍රයේ දී සෙනසුරාදා (ජුලි 29) ආරම්භ කෙරුනු හය වෙනි සාර්ක් සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුවේ සමාරම්භක උත්සවය අමතා අදහස් දක්වමිනි.

බෝනොවන රෝග, මන්දපෝෂණය සහ ක්ෂය රෝගය දකුණු ආසියානු රටවල වෙසෙන බිලියන 1.5 ක් වූ ජනතාව පෙළන ප්‍රධානම සෞඛ්‍ය ගැටළු ලෙසින් හඳුනාගෙන තිබෙන බව අමාත්‍ය රාජිත සේනාරත්න පෙන්වා දුන්නේය.

ක්ෂය රෝගය

සාර්ක් සෞඛ්‍ය අමාත්‍යවරු

"කළාපයේ ජනගහනයෙන් සියයට 32 ක් ක්ෂය රෝගයට ගෙදුරු වී ඇති අතර වාර්ෂිකව මිලියන 3.1 ක් එම රෝගයට ගොදුරුව පීඩා විඳිනවා. මේ පිළිබදව අවධානය යොමු කළ යුතුයි," ඔහු පැවසීය.

කළාපීය රටවල් අතරින් ශ්‍රී ලංකාව හා මාලදිවයින මැලේරියාව තුරන් කළ රටවල් ලෙසින් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කරනු ලබා තිබුණත් සංක්‍රමණිකයින් හේතුවෙන් කළාපීය ජනතාව විවිධ රෝගාබාධවලට ගොදුරුවන බව ඔහු පෙන්වා දුන්නේය.

කළාපය තුළ බෝවන රෝග අඩු වුව ද, බෝනොවන රෝග වැඩිවීම පාලනය කිරිමට පියවර ගැනීමේ අවශ්‍යතාවය පෙන්වා දුන් අමාත්‍ය රාජිත සේනාරත්න, සාර්ක් කළාපීය වෛද්‍ය විද්‍යාලය පිහිටුවීමේ යෝජනාවට පූර්ණ සහාය පළ කළේය.