උදයනිධි ස්ටාලින්: ත්‍රිෂාට අපහාස කළ බවට අත්අඩංගුවට ගත් සිද්ධිය; 'මාව ත්‍රස්තවාදියෙක් වගේ අරන් ගියේ'

ඡායාරූප මූලාශ්‍රය, Udhayanidhi Stalin | Facebook
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 4
තමිල්නාඩු මහ ඇමති ජෝසෆ් විජෙයි සහ දකුණු ඉන්දීය සිනමා නිළියක වන ත්‍රිෂා ක්‍රිෂ්ණන් අළලා සිදුකළ බව කියන අපහාසාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් තමිල්නාඩු විපක්ෂ නායක උදයනිධි ස්ටාලින් ඊයේ (අගෝස්තු 04) පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර, පසුව ඇප මත මුදා හැර තිබේ.
කාවේරි ගඟේ ජල ගැටලුව සම්බන්ධයෙන් තංජාවූර් ප්‍රදේශයේ පැවති ජන හමුවකදී උදයනිධි ස්ටාලින් එම ප්‍රකාශය සිදුකර තිබිණි.
උදයනිධි ස්ටාලින්ට එරෙහිව චෝදනා නගා ඇත්තේ, මහ ඇමති ජෝසෆ් විජෙයි නායකත්වය දරනු ලබන TVK පක්ෂය යි. ඔවුන් මේ සම්බන්ධයෙන් ඉන්දීය ජාතික කාන්තා කොමිසම වෙත පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි.
'අපහාසාත්මක යැයි කියන ප්‍රකාශය' කුමක් ද?
ඉකුත් සඳුදා (අගෝස්තු 03) කාවේරි ගඟේ ජල ගැටලුව සම්බන්ධයෙන් රජය විවේචනය කරමින් තමිල්නාඩු විපක්ෂ නායක උදයනිධි ස්ටාලින් විසින් කරන ලද කතාවක් මෙම සිදුවීමට මුල් වී තිබිණි.
එම විරෝධතාව අතරතුර, රැස්ව සිටි අය අතරින් පිරිසක් "ත්‍රිෂා, ත්‍රිෂා" යැයි හඬ නඟන්නට වූ අතර එහිදී උදයනිධි ස්ටාලින් කියා සිටියේ: "අපේ ප්‍රදේශයට වතුර නැති වුණත්, එතැනට වතුර යන්න ඕන. එයාට වැදගත් වෙන්නේ ඒක විතර යි... වතුර ලැබුණත් නැතත්, එතැනට වතුර යන්න ඕන," යනුවෙනි.
"මා ඒකෙන් අදහස් කළේ කාවේරි ජලය ගැන විතර යි," ඔහු එහිදී තවදුරටත් පැවසුවේ ය.
ඔහුගේ මෙම අදහස් දැක්වීමෙන් පසු තන්ජාවූර් නැගෙනහිර පොලිස් ස්ථානයට ගොනු කරන ලද පැමිණිල්ලකට අනුව ඊයේ (අගෝස්තු 04) උදයනිධි ස්ටාලින් නීලන්කරයිහි පිහිටි ඔහුගේ නිවසේදී පොලිස් භාරයට ගත් අතර පසුව ප්‍රශ්න කිරීම සඳහා තන්ජාවූර් පොලිසිය වෙත රැගෙන යන ලදී.

ඡායාරූප මූලාශ්‍රය, UGC
මහාධිකරණයේදී සිදුවුයේ කුමක් ද?
තමිල්නාඩු විපක්ෂ නායක උදයනිධි ස්ටාලින් අත්අඩංගුවට ගැනීමත් සමග ඔහුට සහය පළකරමින් DMK පක්ෂයේ ආධාරකරුවෝ තමිල්නාඩුවේ ස්ථාන රැසක විරෝධතාවල නිරත වූහ.
චෙන්නායි මහාධිකරණය හමුවේ උදයනිධි ස්ටාලින් විසින් ගොනු කරන ලද අපේක්ෂිත ඇප අයැදුම් කිරීමේ ඉල්ලීම චෙන්නායි මහාධිකරණ විනිසුරු ඉලන්ධිරියන් හමුවේ විභාගයට ගෙන තිබිණි.
පොලිස් ස්ථානයේදී සිදු කෙරෙන ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව උදයනිධි ස්ටාලින් ඇප මත මුදා හරින බව රජයේ නීතිඥවරයා එහිදී පැවසීය. කාන්තාවන්ගේ ශුභසාධනය ආරක්ෂා කිරීමට රජයට අවශ්‍ය බව ද ඔහු සඳහන් කළේ ය.
ඉන් අනතුරුව විනිසුරුවරයා සිය නියෝගය නිකුත් කරමින් සඳහන් කර සිටියේ, විමර්ශනයෙන් අනතුරුව උදයනිධි ස්ටාලින් එදින ම ඇප මත මුදා හැරිය යුතු බව ය. එමෙන් ම විමර්ශනයට උදයනිධි ස්ටාලින් සහය විය යුතු බව ද ඔහු පැවසුවේ ය. මෙය අත්අඩංගුවට ගැනීමට පෙර ඇප ලබා ගැනීම සඳහා වූ පෙත්සමක් බැවින්, මෙම පෙත්සම විමර්ශනයට සුදුසු නොවන බව ද විනිසුරුවරයා සඳහන් කළේ ය.
'ඇගේ නමවත් සඳහන් කළේ නැහැ'
තන්ජාවූර්හි පැවති මහජන රැලියකදී උදයනිධි ස්ටාලින් විසින් මහ ඇමති විජෙයි සහ නිළි ත්‍රිෂා ක්‍රිෂ්ණන් සම්බන්ධයෙන් පෞද්ගලික මට්ටමේ අදහස් පළ කළ බවට එල්ල වූ චෝදනා DMK ප්‍රකාශක ටී.කේ.එස්. එලන්ගෝවන් ප්‍රතික්ෂේප කළේ ය.
ඔහු අවධාරණය කළේ, උදයනිධි ස්ටාලින් සිදු කළේ රජයේ අසාර්ථකත්වයන් පෙන්වා දීම පමණක් බවත්, එම රැලියේදී ඔහු අදාළ නිළියගේ නම හෝ සඳහන් නොකළ බවත් ය.
ANI පුවත් සේවය සමග අදහස් දක්වමින් එලන්ගෝවන් කියා සිටියේ, TVK පක්ෂයට තමිල්නාඩු ජනතාව ගැන කිසිදු තැකීමක් නොමැති බවත්, එම පක්ෂය පිහිටුවා ඇත්තේ DMK පක්ෂයට පහර දීමේ එක ම අරමුණින් බවත් ය.

ඇප මත නිදහස් වීම සහ උදයනිධි ස්ටාලින්ගේ ප්‍රකාශය
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
තන්ජාවූර්, චෙන්ගල්පෙට්ටි පොලිසිය වෙත රැගෙන ගිය තමිල්නාඩු විපක්ෂ ඇමති උදයනිධි ස්ටාලින් ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව ඊයේ (අගෝස්තු 04) දිනයේ ම ඇප මත මුදාහැරීමට පොලිසිය පියවර ගෙන තිබිණි.
ත්‍රිචි ගුවන් තොටුපළේදී මාධ්‍යවේදීන් අමතමින් උදයනිධි ස්ටාලින් කියා සිටියේ, කාන්තාවන් පහත් කිරීමේ අදහසක් තමාට නොතිබූ බව ය.
"කාන්තාවන් පහත් කිරීමේ කිසිදු අදහසක් මට තිබුණේ නැහැ. මගේ පවුල මාව එහෙම හැදුවේ නැහැ. මම තමිල්නාඩුවේ සෑම කාන්තාවක් ම මවක් සහ සහෝදරියක් ලෙස සලකනවා. මේ වගේ බොරු නඩු දාලා මාව බය කරන්න හිතුවා. ඒත් මම ඒකට බය වෙන්නේ නැහැ," ඔහු පැවසුවේ ය.
"කර්නාටකයේ ඉදිකරන වේල්ල ඉදිකිරීමට එම ප්‍රාන්ත ආණ්ඩුව දැඩි උත්සහයක් ගන්නවා. තමිල්නාඩුවට ජලයත් නිකුත් කරන්නේ නැහැ. මේ ගැන ප්‍රශ්න කරන්න ප්‍රධාන ඇමතිට ධෛර්යයක් නැහැ. මම නොකියපු දේවල්වලින් කතාවක් නිර්මාණය කරලා ඒවා ජාතික මාධ්‍යවලට යවනවා. මම කතා කළේ, ගොවීන්ට සහයෝගය දක්වන්න. මම තංජාවූර්හි ගොවීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් මිනිත්තු 25ක් කතා කළා. ඒ කතාව ගොවීන් ඉතා හොඳින් පිළිගත්තා. ඒක ඉවසන්න බැරිව මේ ආණ්ඩුව මට බොරු නඩුවක් ගොනු කරලා තියෙනවා. මම මේකට නීතිමය වශයෙන් මුහුණ දෙනවා," ඔහු පැවසීය.
ඔහු වැඩිදුරටත් මාධ්‍යයට පැවසුවේ, තමන් අත්අඩංගුවට ගැනීමට අදහසක් නොමැති බවට රජයේ නීතිඥවරයා අධිකරණයේදී ප්‍රකාශ කළ ද, පොලිසිය තමන් ත්‍රස්තවාදියෙකු ලෙස රැගෙන ගිය බව ය.
"අධිකරණයේදී රජයේ නීතිඥවරයා මාව අත්අඩංගුවට ගන්න අදහසක් නැහැ කියලා කිව්වා. ඒත් ඊට පස්සේ මාව ත්‍රස්තවාදියෙක් වගේ අරගෙන ගියා, විශාල වියදමක් කරලා තැන් තැන්වලට ගෙන ගියා. මට තියෙන කනගාටුව සමහර නායකයන් මම සම්පූර්ණයෙන් ම කියපු දේ අහන්නෙ නැතුව, මම වැරදි විදිහට කතා කළා කියලා මාව විවේචනය කළ එක යි," ඔහු වැඩිදුරටත් පැවසුවේ ය.


































