සිර දඬුවම් ලැබූ ඥානසාර හිමිගේ සිවුර ඉවත් කළේ ඇයි? විවිධ රැඳවියන්ට හිමි ඇඳුම් මොනවා ද?

ඡායාරූප මූලාශ්‍රය, Department of Prisons - Sri Lanka
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 5
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සිර දඬුවම් නියම වීමෙන් පසුව ගිහි ඇඳුමකින් සැරසී වෙනත් නඩුවක් සඳහා අධිකරණයට පැමිණීම සම්බන්ධයෙන් කතාබහක් මතුව තිබේ.
අභියාචනාධිකරණය විසින් දෙන ලද තීන්දුවක් අනුව ඔක්තෝබර් 05 වන දා සිරගත කළ එහිමියන් ඉස්ලාම් දහමට අපහාසාත්මක ප්‍රකාශයක් කළ බවට චෝදනා කරමින් ගොනු කර ඇති නඩුවක් සඳහා අද (ඔක්: 06) යළිත් අධිකරණය වෙත රැගෙන එන ලදී.
සිර දඬුවම් ලබන ඥානසාර හිමි සුදු පැහැති අත් දිග කමිසයකින් සහ සුදු සරමකින් සැරසී අධිකරණය වෙත රැගෙන එනු දක්නට ලැබිණි.
කෝට්ටේ සංඝ සභාව බන්ධනාගාර කොමසාරිස්ට කළ දැනුම්දීම
එවන් පසුබිමක ඥානසාර හිමියන්ට සිවුර දැරීමට ඇති අයිතිය සම්බන්ධයෙන් කෝට්ටේ සංඝ සභාව විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමු කර තිබේ.
භික්ෂුවකට සිවුර පෙරවීම හා සිවුර ගැලවීම සම්බන්ධයෙන් පූර්ණ අයිතිය ඇත්තේ පැවිද්ද ලබා ඇති එම භික්ෂුවට හා එම භික්ෂුව අයත් මහා සංඝ සභාවට බව කෝට්ටේ සංඝ සභාවේ, ප්‍රධාන ලේඛකාධිකාරී, ආචාර්ය කොටපිටියේ රාහුල අනුනායක හිමියන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත යොමු කළ ලිපියේ සඳහන් කර තිබේ.
'භික්ෂුවකට සිවුර පෙරවීම හා භික්ෂුවකගේ සිවුර ගැලවීම සම්බන්ධයෙන් පූර්ණ අයිතිය ඇත්තේ පැවිද්ද ලබා ඇති එම භික්ෂුවට හා එම භික්ෂුව අයත් මහා සංඝ සභාවට ය. එය අප රටේ දැනට තහවුරු වී ඇති ක්‍රමවේදයට අනුව අදාළ නිකායේ හෝ මහා සංඝ සභාවේ මහානායක මාහිමිපාණන් වහන්සේගේ අනුමැතියෙන් ම සිදුවිය යුතු ශාසනික කාර්යයකි.'
'ශාසනික නීතියට අනුව ඔහුගේ සිවුර පොරවා සිටීම හා අත්පස තබා ගැනීමට සැලැස්වීම මෙන් ම අදාළ භික්ෂුව පිටතට රැගෙන එන හැම අවස්ථාවක ම ඔහුට නියමිත සිවුරෙන් පෙනී සිටීමට අවස්ථාව ලබා දීම මෙතෙක් ශාසනිකව හා ආධ්‍යාත්මිකව තහවුරු වී ඇති සාම්ප්‍රදායික නීතියකි. එමෙන් ම එය නොසලකා හැරීම ශාසනයට ලබාදෙන වැරදි පූර්වාදර්ශයකි,' යැයි එම ලිපියේ දැක්වේ.
විනය පිටකයට අනුව පරාජිකා වී ඇති භික්ෂුවක ලෙස හෝ සිවුර ගැලවීමට තරම් බරපතළ හේතුවක් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අයත් සංඝ සභාවට වාර්තා වී නොමැති බව ද කෝට්ටේ සංඝ සභාවේ, ප්‍රධාන ලේඛකාධිකාරී හිමියන් යවන ලද ලිපියේ සඳහන් කර ඇත.
එබැවින් උන්වහන්සේගේ සිවුර ඈත් නොකරන ලෙසත් සිවුර පිටින් ම පෙනී සිටීමට අවස්ථාව ලබා දෙන ලෙසත් කෝට්ටේ සංඝ සභාවේ ප්‍රධාන ලේඛකාධිකාරී ආචාර්ය කොටපිටියේ රාහුල අනුනායක හිමියන්, බන්ධනාගාර කොමසාරිස්වරයාගෙන් ඉල්ලා තිබේ.
කෝට්ටේ සංඝ සභාවේ, ප්‍රධාන ලේඛකාධිකාරී හිමියන් විසින් බන්ධනාගාර කොමසාරිස්වරයා අමතා යවන ලද ලිපියෙහි පිටපතක් ජනාධිපතිවරයා සහ බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා වෙත ද යොමු කර ඇත.

'බන්ධනාගාර නීතිය අනුව කටයුතු කරලා තියෙන්නේ'
ඥනසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම සම්බන්ධව මාධ්‍යවේදීන් විසින් අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රශ්න කළේ ය.
එහිදී අමාත්‍ය මණ්ඩල මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස කියා සිටියේ, උන්වහන්සේට විශේෂයක් නොකර බන්ධනාගාර ආඥා පනත අනුව කටයුතු කර ඇති බව ය.
"කෙනෙක් බන්ධනාගාරගත වුණොත් බන්ධනාගාර ආඥා පනත අනුව කටයුතු කළ යුතු ආකාරයක් පවතිනවා. මේ සිදුවිමේදී විශේෂයක් කරලා නැහැ, දැනටත් බන්ධනාගාරගත වෙලා දඬුවම් ලබමින් ඉන්න හාමුදුරුවන් වහන්සේලා 63 දෙනෙකුට කටයුතු කරලා තිබෙන ආකාරයට ම තමයි ගලගොඩඅත්තේ ඥනසාර හමුදුරුවන්ටත් බන්ධනාගාර ආඥා පනත යටතේ, බන්ධනාගාර නීතියෙන් කටයුතු කරලා තියෙන්නේ."
මීට ඉහතදී සිවුර ඉවත් කර බන්ධනාගාරයේ සිටි ඥනසාර හිමි
කෙසේ වෙතත්, ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මෙම චෝදනාවලට වරදකරු කළ සිරදඬුවම මුල් වරට නියම වූයේ, 2018 වසරේදී වන අතර එවර ද උන්වහන්සේගේ චීවරය ඉවත්කොට සිරකරු ඇඳුමෙන් බන්ධනාගාරයේ ගත කරන බව එවක බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක සහ බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය බීබීසී සිංහල සේවය වෙත ප්‍රකාශ කර තිබිණි.
බන්ධනාගාරයේදී සිය සිවුර ඉවත්කළහොත් උපවාසයක නිරත වන බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බවත් කිසිදු විරෝධයකින් හෝ අකමැත්තකින් තොරව උන්වහන්සේ ඒ අවස්ථාවේදී සිවුර ඉවත් කළ බවත් වැඩ තහනමකට ලක්ව සිටින බන්ධනාගාර කොමසාරිස්වරයා පවසා තිබිණි.
'කිසි ම ආණ්ඩුවක් මගේ සිවුර ගැලෙව්වේ නෑනේ'
සිරගත කරන ලද ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සැප්. 06 වන දා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නැවත බන්ධනාගාරයට ගෙන යන අතරවාරයේදී සිවුර ඉවත් කිරීම ගැන මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට ලැබුණේ මෙවන් පිළිතුරකි.
"බලමු, නියෝග නේ, හතර පස් වතාවක් හිරේ ගිහිල්ලා තියෙනවා නේ. කිසි ම ආණ්ඩුවක් මගේ සිවුර ගැලෙව්වේ නෑනේ. සිවුර ගැලෙව්වා ඉතින් අපි දන්නේ නැහැ. සිවුර ගැලෙව්වත්, මෙහෙම හිටියත් ඥනසාර හමුදුරුවෝ, ඥනසාර හමුදුරුවෝ තමයි."
සිර දඬුවම් ලබන පූජ්‍ය පක්ෂයේ ආගමික ඇඳුම ඉවත් කරනවා ද?
අධිකරණය විසින් සිර දඬුවම් නියම කරනු ලබන ආගමික පූජකවරුන්ගේ, ආගමික ඇඳුම ඉවත් කිරීම සම්බන්ධව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලේතැන්න පැහැදිලි කළේ ය.
අධිකරණ විසින් වසර 2කට අඩු සුළු දඬුවම් නියම කළහොත් පමණක් පූජකවරුන්ට ආගමික ඇඳුමින් පෙනී සිටීමට අවස්ථාව හිමි වන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා බීබීසී සිංහල සේවයට පැවසීය.
"වසර දෙකකට වඩා අඩු බරපතළ නැති සුළු සිර දඬුවමක් නියම කළොත් ආගමික ඇඳුම අඳින්න පුළුවන්. ඊට වඩා වැඩියෙන් සිර දඬුවම් නියම කළොත් ආගමික ඇඳුම අඳින්න බැහැ."
අධිකරණය දඬුවම් ලබා දීමෙන් පසුව ආගමික ඇඳුම ඉවත් කරන ලද ආගමික පූජකයන් මෙරට බන්ධනාගාරවල සිටින බව ද ඔහු පැවසීය.
එලෙස ආගමික ඇඳුම ඉවත් කරන ලද පූජකයන් බන්ධනාගාරයෙන් පිටතට ගෙන යනු ලබන්නේ ද නිදහස් සිර ඇඳුම නමින් හඳුන්වනු ලබන ඇඳුමින් සැරසී බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලේතැන්න බීබීසී සිංහල සේවය වෙත කියා සිටියේ ය.
දඬුවම් ලබන සිරකරුවන් ඇඳිය යුතු ඇඳුම් මොනවා ද?

ඡායාරූප මූලාශ්‍රය, Sri Lanka Prisons
රිමාන්ඩ් බන්ධනාගාරගත වන සිරකරුවන්ට තමන් කැමති සරල ඇඳුමකින් සැරසී බන්ධනාගාරය තුළ සිටීමට අවස්ථාව හිමි වුව ද දඬුවම් ලබන සිරකරුවන්ගේ ඇඳුම් වෙනස් වේ.
සමාන්‍ය සිර දඬුවම් ලබන සිරකරුවන් ජම්පරය නමින් හඳුන්වනු ලබන සුදු පැහැති කොට කලිසමකින් සහ අත්කොට කමිසයෙන් බන්ධනාගාරය තුළ සිටිය යුතු ය.
මරණ දඬුවම ලබන සිරකරුවන් හට බන්ධනාගාරය තුළ කොටු සරමකි සහ අත්කොට කමිසයක් ඇඳුම ලෙස හිමි වේ.
සිර දඬුවම් ලබන කාන්තා රැඳවියන්ට සුදු පැහැති චීත්තයක් හෝ සුදු රෙද්දකින් සකසන ලද මෝසතර රහිත ගවුමක් සහ බොත්තම් රහිත සුදු අත් කොට හැට්ටයක් සිරකාර ඇඳුම ලෙස නියම කර තිබේ.
මරණ දඬුවම් හිමිව ඇති කාන්තා සිරකාරියන්ට හිමි වන්නේ, කොටු සහිත චීත්තයක් හෝ ගවුමක් සමග බොත්තම් රහිත සුදු අත් කොට හැට්ටය කි.
එමෙන් ම, අභියාචන විභාග වන සිරකරුවන්ගේ ඇඳුමෙහි P. A. (Pending Appeal) ලෙස සඳහන් කර තිබේ.

































