මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවී සෙනෙවිරත්නට එරෙහි රථවාහන නඩුවේ විභාග කටයුතු අත්හිටවූයේ ඇයි?

ඡායාරූප මූලාශ්‍රය, PMD Sri Lanka
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 3
මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්නට එරෙහිව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින රථවාහන නඩුවට අදාළව ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් කොළඹ මහාධිකරණය අද (අගෝ: 07) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ ය.
රවී සෙනෙවිරත්න ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කරන ලද්දේ, කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න විසිනි.
මෙම අතුරු තහනම් නියෝගය පෙත්සම් විභාගය අවසන් වන තෙක් බල පැවැත්වෙන බවත් විනිසුරුවරයා නියෝග කළේ ය.
රවී සෙනෙවිරත්න දැමූ පෙත්සම කුමක් ද?
2023 වසරේ වැල්ලවත්ත පොලිස් වසම තුළ සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් රවී සෙනෙවිරත්නට එරෙහිව වැල්ලවත්ත පොලීසිය මගින් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබිණි.
එම නඩුවේ එක් චෝදනාවකට වරද පිළිගැනීමෙන් අනතුරුව අනිත් චෝදනා දෙක ඉවත් කර ගැනීමට පොලිසිය එකඟතාව පළ කළේ ය.
එසේ තිබියදී මහේස්ත්‍රාත් අධිකරණය විසින් විත්තිකරුට රුපියල් 2500ක දඩයක් නියම කරනු ලැබී ය.
එම දඩය නියම කර තිබෙන ආකාරය නීතියට පටහැනි මෙන් ම මහේස්ත්‍රාත්වරයා එම නඩුකරයට අදාළව නිකුත් කර තිබෙන නියෝග නීතියට පටහැනි බවත් රවී සෙනවිරත්න සිය පෙත්සම තුළින් සඳහන් කර තිබේ.
පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර රවී සෙනෙවිරත්න වෙනුවෙන් නීතිඥ චන්දන පෙරේරා සමග පෙනී සිටි ජනාධිපති නීතිඥ කපිල වෛද්‍යරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය විසින් සිය සේවාදායකයාට එරෙහිව නිකුත් කර නියෝග නීතියට පටහැනි බව සඳහන් කළේ ය.
ඒ අනුව, මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග ප්‍රතිශෝධනය කර ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා මෙම නඩුකරය ඉදිරියට පවත්වාගෙන යාමට ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් වී ඇති බැවින් ඒ වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරීමට නියෝග කරන බවත් සඳහන් කළේ ය.
මෙම ප්‍රතිශෝධන පෙත්සම විභාග කර අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කරන තුරු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩුව ඉදිරියට පවත්වාගෙන යාම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි පෙත්සමක් විසින් කරනු ලබන ඉල්ලීමට විරුද්ධ නොවන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ ය.
ඒ අනුව, මෙම ප්‍රතිශෝධන පෙත්සම විභාගයට ගැනීමට නියම කළ මහාධිකරණ විනිසුරුවරයා පෙත්සම් විභාගය අවසන් වන තෙක් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩුව ඉදිරියට පවත්වාගෙන යාම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන බවත් නියෝග කළේ ය.
2025දීත් අතුරු තහනම් නියෝගයක්
2023 වසරේ බීමත්ව රිය පදවා රිය අනතුරක් වළක්වා ගැනීමට කටයුතු නොකිරීම ඇතුළු චෝදනා යටතේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්නට එරෙහිව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගය තාවකාලිකව අත්හිටුවමින් අභියාචනාධිකරණය 2025 වසරේ සැප්තැම්බර් 04 වන දා ද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ ය.
ඒ, ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ තමන්ට එරෙහිව පවතින නඩුකරය වෙනත් අධිකරණයකට මාරු කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව ය.

































