ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
නිවාඩුවක් අතරතුර රස බැලූ ආහාර වේලක් මොළයේ පරපෝෂිතයන් 38කට මග පෑදූ හැටි
- Author, නිකෝලා බ්‍රයන්
- Role, බීබීසී වේල්සය
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 6
වැසිකිළියට ගිය අවස්ථාවක මීටරයක් පමණ දිග පටි පණුවෙකු සිටින බවට දැකීමෙන් ඇති වූ භයානක අත්දැකීමට මුහුණ දීමත් සමඟ, යම් ගැටලුවක් පවතින බව ලෝරි ඩෙන්මන්ට මුලින්ම වැටහිණි.
''ඒක හරිම පිළිකුල්. හරියට රැලි තියෙන පොඩි සෙලෝටේප් පටියක් වගෙයි" වේල්සයේ පදිංචි 42 හැවිරිදි ඇය පැවසුවාය.
එය නියුරෝසිස්ටිකෝසිස් (neurocysticercosis) රෝගී තත්ත්වයේ පළමු රෝග ලක්ෂණය වූ අතර එමගින් ලෝරිගේ මොළය තුළ පරපෝෂිතයන් 38 දෙනෙකු බෝවීමෙන් අධික හිසරදය, වලිප්පුව සහ මානසික ව්‍යාකූලතා ඇති විය.
ඌරු මස් පටි පණුවාගේ කීටයන් මඟින් වැළඳෙන මෙම දරුණු මොළයේ ආසාදනය නිසා එක්සත් රාජධානිය තුළ වසරකට රෝග විනිශ්චයකට ලක්වන ඉතා සුළු පිරිස අතර ඇය ද එක් අයෙකි.
වසර ගණනාවක් පුරා තම සෞඛ්‍ය තත්ත්වය යළි ගොඩනඟා ගැනීමෙන් අනතුරුව, එම රෝගී තත්ත්වය පිළිබඳව දැනුවත් කිරීම තුළින් තමා මුහුණ දුන් එම අසීරු අත්දැකීම ධනාත්මකව යොදා ගැනීමට උපයෝගී කර ගැනීමට ලෝරි අපේක්ෂා කරයි.
ලෝරි, 2007 වසරේදී මාස 03 ක කාලයක් ඉන්දියාව පුරා සංචාරය කළාය. ඇයට මෙය ආසාදනය වන්නට ඇත්තේ එහිදී බව ඇගේ වෛද්‍යවරයා වන බෝවන රෝග සහ ක්ෂුද්‍ර ජීව විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය බ්‍රෙන්ඩන් හීලි විශ්වාස කරයි.
ආහාර විෂවීමෙන් වැළකී සිටීමට සහය වේ යැයි අපේක්ෂාවෙන් එම සංචාරයේදී මස් අනුභවයෙන් වැළකී සිටීමට ලෝරි තීරණය කළ නමුත් වෛද්‍ය හීලි විශ්වාස කරන්නේ ඇය නොදැනුවත්වම සියුම් පටිපණු බිත්තර අඩංගු වූ ඌරු මස් වර්ගයක් ආහාරයට ගන්නට ඇති බවයි.
වසර තුනකට පසු, එනම් 2010 වසරේ දී, අවන්හලක වැසිකිළිය භාවිත කරන අවස්ථාවේදී ප්‍රථම වරට ලෝරි විසින් පටි පණුවකු හඳුනාගත් අතර පසුව පණුවා වැසිකිළිය තුළට දමා සෝදා හැරියාය.
පසුව ඇය වෛද්‍යවරයකු හමුවීමට ගිය නමුත් මලපහ පරීක්ෂණ මගින් සෑහීමට පත්වීමෙන් සහ ඇයට සුවයක් දැනුණු බැවින් ජීවිතය සුපුරුදු පරිදි ගෙවිණි.
වසරක් ඇතුළත ඇයට දරුණු හිසරදයක් හටගත් අතර ඉන්පසුව 2011 වසරේදී ඇයට පළමු වරට වලිප්පුව තත්වයක් (seizure) ඇති විය.
"ඇත්තටම මම වචන ටිකක් කතා කර ගන්න බැරි තරමට දුක්වින්දා. ඊළඟ අවස්ථාවේ මට සිහිය එනකොට මම හිටියේ ගිලන් රථයක් ඇතුළේ, ඒක කොහොමද වුණේ? ඇයි එහෙම වුණේ කියලා මට හිතුනා'' ඇය පැවසුවාය.
රෝහල්ගත වීමෙන් අනතුරුව සිදුකළ CAT සහ MRI ස්කෑන් පරීක්ෂණවල ප්‍රතිඵල ලබා දීම සඳහා නැවත රෝහලට පැමිණෙන ලෙස ලෝරි ට දැනුම් දී තිබිණි.
''ඩොක්ටර් මට ඉඳගන්න කිව්වා. ඊට පස්සේ කිව්වා. 'හරි. අපි ඔයාගේ ස්කෑන් ටික පරික්ෂා කරල බැලුවා. අපි ඔයාගේ මොළයේ ඉන්න පරපෝෂිතයෝ 38 ක් හොයා ගෙන තියෙනවා කියලා,'' ලෝරි පැවසුවාය.
''මමයි මගේ අම්මයි පුදුම වෙලා බලාගෙන ගිටියා, මොකක්ද මේ වෙන්නේ කියලා?''
මුලින්ම ඔවුන් හිතුවේ මේක බළලුන්ගේ මළපහ මඟින් බෝවන ටොක්සොප්ලාස්මෝසිස් බවයි.
නමුත් ඉන් පසුව ලෝරිගේ මව විමසා සිටියේ ඇයට වැළඳුණු වලිප්පු රෝගී තත්වය වසරකට පමණ ඉහතදී ඇය සොයා ගෙන තිබුණු පටිපණුවා සමග සම්බන්ධයක් තිබිය හැකි ද යන්නය.
තවදුරටත් සිදු කළ විමර්ශනවලින් අනතුරුව අවසානයේදී ඇයට නියුරෝසිස්ටිසර්කෝසිස් ආසාදනය වී ඇතැයි හඳුනා ගැණිනි.
"ඒ අවස්ථාවේදී මට ප්‍රශ්න ගොඩක් තිබුණා; මොකද ඉදිරියේදී මගේ සෞඛ්‍ය තත්ත්වයට මොනවා වේවිද කියලා මම දැන සිටියේ නැහැ," යැයි ලෝරි පැවසුවාය.
ටීනියා සෝලියම් නම් පටි පණුවා ලොව පුරා දක්නට ලැබේ. නමුත් ලතින් ඇමරිකාව, දකුණු ආසියාව, අග්නිදිග ආසියාව සහ උප සහරා අප්‍රිකානු කලාපයේ ඇතැම් ප්‍රදේශවල මෙම ආසාදන විශේෂයෙන් බහුලව දක්නට ලැබේ.
එක්සත් ජනපදයේ රෝග පාලනය සහ වැළැක්වීම සඳහා වන මධ්‍යස්ථානයට (CDC) අනුව, දුර්වල සනීපාරක්ෂක තත්ත්වයන් මෙම පරපෝෂිතයා ව්‍යාප්ත වීමට දායක වන අතර ජනයා ඌරන් සමඟ සමීපව ජීවත් වන ප්‍රදේශවල මෙය බහුලව දක්නට ලැබේ.
ලොව පුරා මිලියන 8.3ක් දක්වා වූ පිරිසක් රෝග ලක්ෂණ සහිතව හෝ රෝග ලක්ෂණ නොපෙන්වන 'නියුරෝසිස්ටිසර්කෝසිස්' තත්ත්වයෙන් සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානය ඇස්තමේන්තු කරයි. මෙම රෝගය බහුලව පවතින ප්‍රදේශවල අපස්මාරය ඇතිවීමට බලපාන, වළක්වා ගත හැකි ප්‍රධානතම හේතුවලින් එකක් ලෙස මෙය සැලකේ.
අමු හෝ හොඳින් නොපිසූ ඌරු මස් ආහාරයට ගැනීමෙන් මිනිසුන්ට පටි පණුවන් ආසාදනය විය හැකිය. නමුත් එමගින් සෘජුවම 'නියුරෝසිස්ටිසර්කෝසිස්' තත්ත්වය ඇති නොවේ.
මෙම පරපෝෂිතයා ආසාදිත පුද්ගලයෙකුට තම මලපහ හරහා එහි ඉතා කුඩා බිත්තර පිටතට මුදා හැරිය හැක. වැසිකිළිය භාවිතයෙන් පසු ඔවුන් දෑත් සෝදා නොගතහොත්, එම බිත්තර ආහාර හෝ ජලය වෙත එක්විය හැක. ඉන්පසු වෙනත් පුද්ගලයෙකුට නොදැනුවත්වම එම බිත්තර ශරීරගත විය හැක.
ශරීරය තුළදී මෙම බිත්තරවලින් කීටයන් බිහි වන අතර, එයින් මාංශ පේශි, හෘදය සහ ඇස් ඇතුළු විවිධ අවයවවල ගෙඩි (cysts) ඇති විය හැකිය. මෙය 'සිස්ටිසර්කෝසිස්' ලෙස හැඳින්වේ.
මෙම ගෙඩි (cysts) මොළයේ හෝ සුෂුම්නාවේ වර්ධනය වන විට එය 'නියුරෝසිස්ටිසර්කෝසිස්' ලෙස හැඳින්වෙන අතර, එය එම රෝගයේ වඩාත්ම දරුණු අවස්ථාවයි.
ලෝරි සති දෙකක කාලයක් රෝහල් ගතව සිටි අතර පරපෝෂිත නාශක ඖෂධ සහ ස්ටෙරොයිඩ් ලබා දී ඇත. යම් කාලයක් සඳහා ප්‍රතිකාරය සාර්ථක වූ බවක් පෙනෙන්නට තිබිණි.
ඇය වසර ගණනාවක් නිරෝගීව සිටි නමුත් පසුව ඇය රැකියා ස්ථානයේදී ඇද වැටුණාය.
ස්කෑන් පරීක්ෂණ මඟින් හෙළි වූයේ ලෝරිගේ මොළය තුළ සිටි පරපෝෂිතයන් වටා විශාල වශයෙන් ඉදිමීම් හටගෙන ඇති බවයි.
ඇද වැටීමෙන් පසු ඇය ව්‍යාකූලත්වයට පත් වූ අතර, ශරීරයේ හිරිවැටීම් සහ ශරීරයේ වේදනා අත්විඳීමට පටන් ගත්තාය. ඉන් අනතුරුව ලෝරි සිය රැකියාව අතහැර දැමූ අතර ඇගේ පියා සමග ජීවත් වීමට පැමිණියාය.
ඇයට ලබාදුන් ස්ටෙරොයිඩ් නිසා ඇගේ බාහිර පෙනුම පවා වෙනස් වූ අතර ඇගේ ජීවිතය සීමා වනවිට ඇය දැඩි ලෙස කනස්සල්ලට පත් වූ ඇගේ මානසික සෞඛ්‍යය පිරිහිණි.
"මම ව්‍යාකූලත්වයට පත්වෙලා මනෝ ව්‍යාධි තත්වයක් ඇතිවෙන්න පටන් ගත්තා… දැඩි කාංසාව සහ බය ඇති වුණා" ස්නායු මනෝචිකිත්සක රෝහලක සති හයක් ගත කළ ලෝරි පැවසුවාය.
"මම කඩා වැටුණා, මේ දේවල් උත්සන්න වුණු විදිහට මගේ පවුලේ අයටත් කරන්නේ මොනවද කියලා හිතා ගන්න බැරිවුණා." ඇය අතීතය ආවර්ජනය කරයි.
එතැන් පටන් නැවතත් පූර්ණ සුවය ලැබීම දක්වා වූ ගමන ඉතා දීර්ඝ එකක් විය. අවසානයේදී ඇය 2022 වසරේදී යළි සේවයට වාර්තා කළාය.
ලෝරිගේ වෛද්‍යවරයා වන වෛද්‍ය හීලි පැවසුවේ ලෝව්රි යනු තමාගේ වෘත්තීය ජීවිතය තුළදී එක් වරක් පමණක් හමුවන රෝගියෙකු බවයි. එක්සත් රාජධානියේ සහ එක්සත් ජනපදයේ බොහෝ ප්‍රමුඛ විශේෂඥයින් විසින් ඇගේ රෝගී තත්වය සාකච්ඡා කර ඇති බව ඔහු පැවසීය.
"රට පුරා ඉන්න බෝවන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් ගොඩක් දෙනෙක්ට මෙවැනි රෝගී අවස්ථාවක් කවදාවත් දැක බලා ගන්න ලැබෙන්නේ නැහැ. මේක එතරම්ම දුර්ලභ තත්ත්වයක්," යැයි ඔහු පැවසීය.
වසර ගණනාවක් පුරා පැවති සෞඛ්‍ය ගැටලු වලින් පසුව, එම පරපෝෂිතයන් දැන් ලෝරිගේ මොළය තුළ ඝන වී ඇත.
"ඒවා මගේ මොළයෙන් ඉවත් කරන්න මට කිසිම සැත්කමක් කළේ නැහැ." ඇය පැවසුවාය.
වෛද්‍ය හීලි ප්‍රකාශ කළේ ලෝරි සියලුම පරපෝෂිත බිත්තර විනාශ කිරීමට අවශ්‍ය ප්‍රතිකාර ලබා ඇති බව සහ එම තත්ත්වයෙන් සම්පූර්ණයෙන්ම සුවය ලබා ඇති බවයි.
2017 වසරේ සිට ඇයට නැවත වලිප්පු තත්ත්වයක් ඇති වී නොමැති නමුත් ඇයට ඇගේ ජීවිතයේ ඉතිරි කාලය තුල අපස්මාරය සඳහා වන ඖෂධ ගැනීමට සිදු වේ.
තමා මුහුණ දුන් දුෂ්කර අත්දැකීමෙන් යම් යහපත් ප්‍රතිඵලයක් ලැබෙන බවට තහවුරු කර ගැනීමට තමා අධිෂ්ඨාන කරගෙන සිටින බව ලෝරි පැවසුවාය.
''දැන් මට අවශ්‍ය දේ තමයි මගේ ජීවිතය සාර්ථක කරගනිම්න්, මේ රෝගය ගැන සමාජය දැනුවත් කරන්න සහ මගේ අත්දැකීමෙන් සමාජයට යහපත් දෙයක් කරන්න" ඇය පැවසුවාය.
"මම සතුටු වෙනවා පණපිටින්, සෞඛ්‍ය සම්පන්නව සහ ශාරීරික යෝග්‍යතාවයෙන් ඉන්න එක ගැන, මම එය කිසිම අවස්ථාවක සුළුවෙන් සලකන්නේ නැහැ.''