ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
අප මස් කෑම නතර කළ යුතු ද? විද්‍යාව පවසන්නේ කුමක් ද?
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 9
පරිණාමීය හා ජීව විද්‍යාත්මක සාක්ෂි අනුව මානවයින් යනු "සර්ව භක්ෂක" කොට්ඨාසයක් වුව ද ඔවුන් මාංශ ආහාරයට ගැනීම නතර කළ යුතු බවට වන විවාදය ඔබ සිතනවාටත් වඩා දීර්ඝ අතීතයකට දිව යන්නකි.
බ්‍රිටැනිකා විශ්වකෝෂයේ සඳහන් පරිදි, මස් නොමැති ආහාර රටාවක් අනුගමනය කළ යුතු බවට අදහස් ප්‍රචලිත වීම ආරම්භ වී ඇත්තේ ක්‍රිස්තු පූර්ව පළමු සහශ්‍රයේ මැද භාගයේදී පමණ වන අතර, එය ඉන්දියාවේත් නැගෙනහිර මධ්‍යධරණී කලාපයේත් එවකට ඇති වූ දාර්ශනික අවදිවීමේ කොටසක් ලෙස මතුව තිබේ.
මධ්‍යධරණී කලාපයේ මස් ආහාරයට ගැනීමෙන් වැළකීම පිළිබඳ ප්‍රථම වරට වාර්තා වන්නේ, ග්‍රීසියේ සේමෝස්හි විසූ දාර්ශනිකයෙකු සහ ගණිතඥයෙකු වූ පෛතගරස්ගේ (ක්‍රි.පූ. 530 පමණ) ඉගැන්වීමක් ලෙස ය.
ප්ලේටෝගේ යුගයෙන් පසු බොහෝ පේගන් මූලයන් (ග්‍රීක පුරාණ ආගමික සහ දාර්ශනික මත) මග ගොඩනැගුණු දාර්ශනිකයන්, උදාහරණයක් ලෙස එපිකියුරස් සහ ප්ලූටාර්ක් මෙන් ම විශේෂයෙන් ප්ලේටෝවාදීන් මස් රහිත ආහාර රටාවක් අනුගමනය කිරීම නිර්දේශ කළ බව බ්‍රිටැනිකා විශ්වකෝෂයේ දැක්වෙයි.
එහි තවදුරටත් සඳහන් වන්නේ, ඉන්දියාවේ, බෞද්ධ සහ ජෛන ආගමික පුද්ගලයින් සදාචාරාත්මක හේතු සහ තපස් ජීවන ප්‍රතිපත්ති මත ආහාර සඳහා සතුන් මරා දැමීම ප්‍රතික්ෂේප කළ බව ය.
යුරෝපයේ 17 වන සහ 18 වන සියවස් මානව හිතවාදය සහ සදාචාරාත්මක ප්‍රගතිය පිළිබඳ වැඩි උනන්දුවකින් සලකුණු වූ යුගයක් වී ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස සතුන්ගේ වේදනාව හා දුක්විඳීම පිළිබඳ සංවේදීතාව නැවතත් ප්‍රබල වී තිබේ.
1847 වසරේදී, 'Bible Christian' නමැති ක්‍රිස්තියානි ආගමික කණ්ඩායම විසින් එංගලන්තයේ පළමු නිර්මාංශ සංගමය (Vegetarian Society) පිහිටුවන ලදී. ඉන් අනතුරුව ජාත්‍යන්තර නිර්මාංශ සංගමය (International Vegetarian Union) 1889 දී මූලික වශයෙන් ආරම්භ වූ අතර, 1908 දී එය වඩා ස්ථාවර සහ දිගුකාලීන සංවිධානයක් ලෙස ස්ථාපනය විය.
නමුත් විශේෂඥයින්ට අනුව, මාංශ යනු මානවයින්ගේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය වන පෝෂ්‍ය පදාර්ථයක් වන ප්‍රෝටීන් අඩංගු ප්‍රධාන මූලාශ්‍රයකි. ප්‍රෝටීන් මානව ශරීරයේ වර්ධනයට මෙන් ම එහි පැවැත්මට ද වැදගත් වේ.
මෙය පදනම් කරගෙන, මෙම විවාදය වර්තමානය වන විට සමාජ මාධ්‍ය වෙත ද පැමිණ ඇත්තේ වැඩි වශයෙන් මාංශ ආහාරයට ගත යුතු බව පවසන ඊට ප්‍රතිවිරුද්ධ මත දරන අභිප්රේරකයින්ගේ (influencers) ප්‍රකාශ ද සමගිනි.
විවිධ විෂයයන් සහ කේෂ්ත්‍ර මුල් කර ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ උපදෙස් ලබා දීම සිදුවන්නේ, ශ්‍රී ලංකාවේ පමණක් නොවේ. ලෝකයේ ද එවැනි ප්රවණතා නිරීක්ෂණය කළ හැකි ය.
නමුත් එවැනි පසුබිමක ඉකුත් වසරේ චීනය ඉන්ටර්නෙට්හි පළ කෙරෙන සෞඛ්‍ය විද්‍යාත්මක තොරතුරු නිරීක්ෂණය කිරීම දැඩි කිරීමට පියවර ගෙන තිබිණි. ඒ අනුව, එවැනි අන්තර්ගත නිර්මාණකරුවන් තම වෛද්‍ය පසුබිම සත්‍යාපනය කිරීම, තොරතුරු මූලාශ්‍ර සඳහන් කිරීම අනිවාර්ය කෙරිණි.
අපට ප්‍රෝටීන් අවශ්‍ය ඇයි?
ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) අනුව, ජීවිත කාලය පුරා සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් අනුගමනය කිරීමෙන්, සියලු ආකාරයේ මන්දපෝෂණ තත්ත්වයන් වළක්වා ගැනීමටත්, බෝ නොවන රෝග සහ වෙනත් සෞඛ්‍ය ගැටලු රැසක අවදානම අඩු කර ගැනීමටත් උපකාරී වේ.
ඒ සඳහා;
- ප්‍රමාණවත් බව (Adequacy): පෝෂක ඌණතා ඇති නොවන පරිදි, ක්ෂුද්‍ර පෝෂක (විටමින් සහ ඛනිජ ලවණ) සහ මහා පෝෂක (කාබෝහයිඩ්රේට්, ප්‍රෝටීන්, ලිපිඩ) අවශ්‍යතා නොඉක්මවා සපුරාලීම.
- සමබල බව (Balance): ප්‍රධාන ශක්ති ප්‍රභව තුන වන ප්‍රෝටීන්, මේද සහ කාබෝහයිඩ්රේට් අතර සුදුසු සමබරතාවක් තබා ගන්නා අතරතුර මුළු ශක්තිය ලබා ගැනීම සහ වැයවීම අතර සමතුලිතතාවක් පවත්වා ගැනීම.
- මධ්‍යස්ථභාවය (Moderation): සෞඛ්‍යයට අහිතකර විය හැකි පෝෂක, අමුද්‍රව්‍ය සහ ආහාර වර්ග සීමිත ප්‍රමාණවලින් පරිභෝජනය කිරීම.
- විවිධත්වය (Diversity): එක ම ආහාර කාණ්ඩයක් තුළත්, විවිධ ආහාර කාණ්ඩ අතරත්, පෝෂ්‍යදායී ආහාර වර්ග රැසක් ඇතුළත් කර ගැනීම යන මූලධර්ම මත පිහිටා ආහාර ගත යුතු බව එම සංවිධානය පෙන්වා දී ඇත.
අනෙක් පෝෂ්‍ය පදාර්ථ සේ ම ප්‍රෝටීන් මානව සෞඛ්‍යය වඩාත් යහපත් ලෙස පවත්වා ගෙන යාමට කාර්යභාරයක් ඉටු කරන බව මේ අනුව පෙනී යයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, ප්‍රෝටීන් ශරීරයේ බොහෝ ව්‍යුහාත්මක කොටස් සඳහා අවශ්‍ය මූලික තැනුම් ඒකකයක් ලෙස කටයුතු කරයි. එනම් මාංශ පේශී වැනි ශරීරයේ පටක ගොඩනැගීමටත්, හෝමෝන හා එන්සයිම වැනි ශරීරයේ ක්‍රියාකාරකම් පාලනය කරන ද්‍රව්‍ය නිපදවීමටත් ප්‍රෝටීන් අවශ්‍ය වේ.
ප්‍රෝටීන් අඩංගු මස්වල පමණ ද?
කොළඹ විශ්වවිද්‍යාලයේ පෝෂණය පිළිබඳ මහාචාර්ය රනිල් ජයවර්ධන පවසන පරිදි ප්‍රෝටීන් වර්ග, සත්ව සම්භවයක් සහිත සහ ශාක සම්භවයක් සහිත ප්‍රෝටීන් ලෙස වර්ග දෙකකට බෙදා වෙන් කළ හැකි ය.
සත්වමය සම්භවයක් සහිත ප්‍රෝටීන් ලෙස මාංශ, මාළු, බිත්තර, කිරි සහ කිරි නිෂ්පාදන පෙන්වා දිය හැක. ශාකමය සම්භවයක් සහිත ප්‍රෝටීන්වලට "රනිල බෝග වන කඩල, මුං ඇට, පරිප්පු, සෝයා සහ ටෝෆු" ආදිය අයත් වන බව ඔහු බීබීසී සිංහල වෙත පැවසීය.
ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ, ප්‍රෝටීන් ගැනීමේදී ඒවායේ ජීර්ණය වීමේ හැකියාව (digestibility) සහ ගුණාත්මකභාවය (quality) කෙරෙහි විශේෂයෙන් ළමා කාලයේදී සහ යෞවන අවධියේදී සැලකිල්ලට ගත යුතු බව ය.
ඇතැම් තත්ත්වයන්හිදී, වැඩි වශයෙන් ශාකමය සම්භවයක් සහිත ප්‍රෝටීන් භාවිතයට යොමු වීම, වැඩිහිටියන් අතර ආහාර ආශ්රිත බෝ නොවන රෝග ඇතිවීමේ අවදානම අඩු කිරීමට වඩා සුදුසු විය හැකි බව එම සංවිධානය සඳහන් කර ඇත.
නමුත් අනෙක් අවස්ථාවලදී, සත්වමය සම්භවයක් සහිත ප්‍රෝටීන් ලබා ගැනීම විශේෂයෙන් ළමුන්, ගර්භණී සහ මව්කිරි දෙන කාන්තාවන් සඳහා වැදගත් බව එම සංවිධානය පෙන්වා දී තිබේ.
අප ප්‍රෝටීන් ලබා ගත යුත්තේ කෙසේ ද?
ශරීරයට දෛනිකව අවශ්‍ය ප්‍රෝටීන් ප්‍රමාණය මාංශ ආහාරයට ගැනීමෙන් පමණක් ලබා නොගත යුතු බව මහාචාර්ය රනිල් ජයවර්ධන පෙන්වා දෙයි.
ඔහු බීබීසීය සමග මේ පිළිබඳව අදහස් දක්වමින් සඳහන් කළේ, "සත්ව සහ ශාක යන දෙආකාරයෙන් ම" ප්‍රෝටීන් ලබා ගැනීම වඩාත් සුදුසු බව ය.
"පෝෂණය පිළිබඳ අලුත් නිර්දේශවලට අනුව කෝකටත් තෛලය වගේ, හැම කෙනාට ම එක ප්‍රමාණවලින් ප්‍රෝටීන් ගන්න කියන්නේ නැහැ," ඔහු අවධාරණය කළේ ය.
"ගොඩක් වෙලාවට වැඩිය මහන්සි නොවන කෙනෙකුට ශරීර බර අනුව කිලෝග්‍රෑම් එකකට අවම වශයෙන් ප්‍රෝටීන් ග්‍රෑම් 0.8ක් ගන්න කියලා තියෙනවා.
"අපි මෙහිදී කිලෝග්‍රෑම් 70ක් වගේ බර තරුණ පිරිමි ළමයෙක් ගත්තොත්, ගොඩක් මහන්සි වෙන්නේ නැතුව ඉඳගෙන රස්සාවක් කරනවා නම්, එයාට අවශ්‍ය ප්‍රමාණය 70 වැඩි කරන්නන ඕනේ 0.8න්. එතකොට සාමාන්‍යයෙන් ග්‍රෑම් 56ක් වගේ ප්‍රමාණයක් [දිනකට] අවශ්‍ය වෙනවා," ඔහු පැහැදිලි කළේ ය.
නමුත් එම සමස්ත ප්‍රෝටීන් ප්‍රමාණය මාංශ මගින් පමණක් ලබා ගත යුතු ය යන්න ඉන් අදහස් නොවන බව මහාචාර්යවරයා පැවසීය.
"සාමාන්‍යයෙන් අනුමත කරන්නේ ප්‍රෝටීන් කාණ්ඩ තුනක්වත් දවසකට ගන්න කියලා. බිත්තරයක් කියන්නේ එක කාණ්ඩයක්, මස්-මාළු අවුන්සයක්, ඒ කියන්නේ ග්‍රෑම් 30ක් වගේ එක සර්වින් එකක් විදිහට වැටෙනවා. අපි කරවල වගේ ගන්නවා නම්, ග්‍රෑම් 15ක් එක සර්වින් එකකට වැටෙනවා. අපි අවම වශයෙන් මේ වගේ කාණ්ඩ තුනක්වත් දවසකට ගන්න අවශ්‍යය යි," ඔහු පෙන්වා දුන්නේ ය.
ඔහු තවදුරටත් පැවසුවේ, නව නිර්දේශ අනුව ක්‍රියාකාරී පුද්ගලයෙකු ශරීර බර අනුව කිලෝග්‍රෑම් එකකට අවම වශයෙන් ප්‍රෝටීන් ග්‍රෑම් 1.2ත් 1.6ත් අතර ප්‍රමාණයක් ගත යුතු බව ය.
"ඒ වගේ ම අපි ලංකාවේ දකින දෙයක් තමයි වයසක අය අඩුවෙන් ප්‍රෝටීන් ගන්න එක.
"ඇත්තට ම අලුත් පර්යේෂණ වාර්තා පෙන්වා දෙනවා, වයසක අයගේ ඇඟේ තියෙන මාංශ පේශි හැදීමට තියෙන හැකියාව අඩු වීම සහ සාකෝපීනියා (Sarcopenia) නිසා එයාලගේ මාංශ පේශි දියවීමේ හැකියාව වැඩි වෙන හින්දා ඒ අය තරුණ අයට වඩා ප්‍රෝටීන් ගන්න අවශ්‍ය යි කියලා," මහාචාර්යවරයා පැහැදිලි කළේ ය.
මස් ආහාරයට ගැනීමේ වාසි-අවාසි මොනවා ද?
මහාචාර්ය රනිල් ජයවර්ධන පෙන්වා දෙන්නේ, මාංශ ආහාරවල අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල අඩංගු වන බව ය.
සියලු ම ශාකමය ආහාරවල ද අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල අඩංගු වන අතර එම අනුපාතය සත්වමය ආහාරවල තරම් ශරීරයේ අවශ්‍යතා සඳහා ප්රශස්ත නොවිය හැකි බව ඇමෙරිකාවේ ජාතික වෛද්‍ය පුස්තකාලයේ ජෛව තාක්ෂණ තොරතුරු සඳහා වූ ජාතික මධ්‍යස්ථානය පෙන්වා දෙයි.
ජාතික මානව ජීනෝම පර්යේෂණ ආයතනයට අනුව, ප්‍රෝටීන සෑදී ඇත්තේ ඇමයිනෝ අම්ල නම් ව්‍යුහ ඒකක එකතු වීමෙනි. විවිධ ඇමයිනෝ අම්ල 20ක් පමණ ඇති අතර ඇතැම් ඒවා ශරීරය තුළදී ම නිපදවා ගැනේ. නමුත් අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල වර්ග 9 ලබා ගත යුත්තේ ආහාර මගිනි.
මාංශවල මානව ශරීරයට අවශ්‍ය සියලු ම අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල අඩංගු බව එක්සත් ජනපදයේ ජාතික වෛද්‍ය පුස්තකාලයේ ජෛව තාක්ෂණ තොරතුරු සඳහා වූ ජාතික මධ්‍යස්ථානයේ වෙබ් අඩවියේ පළ කර ඇති පර්යේෂණ පත්‍රිකාවක දැක්වෙයි.
"එහෙම සත්ව ආහාරවලින් ගන්නකොට [ඇමයිනෝ අම්ල] අපිට ජීර්ණය කරන්න පහසු වෙනවා. අපේ මාංශ පේශි වර්ධනයට වාසියක් වෙනවා," මහාචාර්ය රනිල් ජයවර්ධන පැවසීය.
ඊට අමතරව ආහාර ජීර්ණයේදී ආහාර කුඩා කැබලි බවට බිඳ දැමීම, ශරීරයේ වර්ධනය, ශරීර පටක අලුත්වැඩියා කිරීම ආදී දෑ සඳහා ද ඇමයිනෝ අම්ල වැදගත් වන බව එක්සත් ජනපදයේ ජාතික වෛද්‍ය පුස්තකාලයේ වෛද්‍ය විශ්වකෝෂයේ සඳහන් වෙයි.
තනි ශාක ද්‍රව්‍යයක් මත පදනම් වූ ආහාර වේලක් ප්‍රමාණවත් නොවන අතර එක් ආහාර වේලක සියලු ප්‍රෝටීන් වර්ග අඩංගු විය යුතු ය යන්න ද අනිවාර්ය නොවේ.
එනම්, සෑම ආහාර වේලකදී ම අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල ලබා ගැනීම අවශ්‍ය නොවන නමුත් දිනය පුරා ලබා ගන්නා ආහාර මගින් ඒවා සමතුලිතව ලබා ගැනීම වැදගත් බව එක්සත් ජනපදයේ ජාතික වෛද්‍ය පුස්තකාලය පෙන්වා දෙයි.
මහාචාර්ය රනිල් ජයවර්ධන පෙන්වා දුන්නේ, මාංශ ආහාරවලින් ප්‍රෝටීන් ලබා ගැනීම ප්‍රයෝජනවත් වුව ද එහි අවාසි ද ඇති බව ය
"සමහර සත්ව මාංශ ආහාරවල සංතෘප්ත මේද අම්ල වැඩියෙන් තියෙනවා. මේකත් එක්ක ගොඩක් වෙලාවට හෘදයාබාධ ඇති වීමේ අවදානම ඇති වෙන්න පුළුවන්," ඔහු පැවසීය.
එක්සත් රාජධානියේ ජාතික සෞඛ්‍ය සේවය (NHS) පෙන්වා දෙන්නේ, සංතෘප්ත මේදය වැඩි වශයෙන් අඩංගු මස් වර්ග (විශේෂයෙන් රතු පැහැති මස්) ඕනෑවට වඩා ආහාරයට ගැනීමෙන් රුධියේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යා හැකි බව ය.
අධික කොලෙස්ටරෝල් තිබීම ඔබේ හෘද රෝග අවදානම ඉහළ දමන බව එය අවධාරණය කරයි.
සෞඛ්‍ය සම්පන්න තේරීම් කිරීමෙන් සමබල ආහාර වේලක කොටසක් ලෙස මස් අනුභව කිරීම වඩාත් සුදුසු බව ජාතික සෞඛ්‍ය සේවය වැඩිදුරටත් පවසයි.
"ඒ නිසා කියන්නේ හැම වෙලේ ම, කොම්බිනේෂන් එකක් ගන්න කියලා. මෙහිදී ශාකවලින් එන ප්‍රෝටීන එකතු කර ගැනීමත් වැදගත්. ඒවායේ අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල අඩු වෙන්න පුළුවන්, හැබැයි වාසියක් තියෙනවා. තන්තු ලැබෙනවා, ඒ වගේ ම ෆයිටෝකෙමිකල්ස් ලැබෙනවා. ඇඟ නිරෝගී වෙන්න අවශ්‍ය දේවල් ටික ලැබෙනවා," මහාචාර්ය රනිල් ජයවර්ධන ශාකමය සම්භවයක් ඇති ප්‍රෝටීන් ආහාර වේලට එකතු කර ගැනීමේ වැදගත්කම පැහැදිලි කරමින් පැවසීය.
"අපි කියන්නේ හැම ආහාර කාණ්ඩයක් ම දවස පුරා ගන්න ආහාර වේල්වල තිබීම වැදගත් කියලා. අනෙක් ආහාර කාණ්ඩ වගේ ම මස්-මාළුත් එදිනෙදා ආහාර වේල්වලට එකතු කර ගන්න."
මස් ආහාරයට ගැනීමට තරම් මිනිසුන් පරිමාණය වී නැති ද?
මානවයාගේ ආහාර රටා පිළිබඳව විමසා බැලීමේදී මානව පරිණාමය දෙස ද හැරී බැලීම අතිශය වැදගත් වේ.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යාව පිළිබඳ මහාචාර්ය චාමලී නහල්ලගේ පෙන්වා දෙන්නේ, "මානවයින් සර්ව භක්ෂක බවත්, අතීතයේ සිට ම ඔවුන් "ශාක මෙන් ම, සතුන් ද ආහාරයට ගත් බවත්" ය.
බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් ඇය මේ බව පැවසුවා ය.
ආයුධ තැනීම, ඉන්පසුව ගින්දර සොයා ගැනීම දක්වා මානවයා "සංස්කෘතික" වීමත් සමග ඔවුන්ගේ ආහාර ගැනීමේ රටා මෙන් ම ක්‍රම ද වෙනස් වූ බව ඇය සඳහන් කළා ය.
"එතකල් අමුවෙන් [මස්/ශාක ද්‍රව්‍ය] කෑවේ. අමුවෙන් කන නිසා ආදී මානවයින්ගේ දත් හරි පළල්. විශේෂයෙන් ම හකුවල තියෙන, චාර්වක, පුරස්චාර්වක දත්."
"ඒක හින්දා ආදී මානවයින්ගේ මුහුණු පළල්ව විශාලව තිබුණේ. මොක ද හකු පළල් නිසා. අමු මස්, ගස්වල මුල් වර්ග හපන්න දැඩි වෑයමක් දරන්න වුණා," ඇය පැහැදිලි කළා ය.
ආයුධ තැනීමත් සමග මානවයින්ට ආහාර කපා කුඩා කැබලිවලට වෙන් කර ගැනීමට අවස්ථාව උදා විය.
ඊට පෙර ආදි මානවයින් ඒ සඳහා දත් භාවිත කළ බැවින් ඔවුන්ට තරමක් විශාල උල් දත් පිහිටා තිබුණු බව මහාචාර්ය චාමලී නහල්ලගේ පෙන්වා දුන්නා ය.
"හැබැයි සත්තුන්ගේ තරම් නැහැ. දැනට සාපේක්ෂව අර රදනක දත් උල් වෙලා තමයි තිබුණේ," ඇය පැවසුවා ය.
අනතුරව ගින්දර සොයා ගැනීමත්, එමගින් ආහාර පුළුස්සා ගැනීමට හැකිවීමත් සමග ආහාරවල තිබුණු දැඩි බව නැති වී අඩු ආයාසයකින් ඒවා පරිභෝජනය කිරීමට ඔවුන්ට හැකියාව ලැබිණි.
"එතකොට මේ අයට විශාල දත් ඕනේ වුණේ නැහැ. ගින්දර සහ ආයුධ භාවිතය හින්දා පසුකාලීන මානවයින්ගේ පරිණාමයේදී දත් සාපේක්ෂව කුඩා වුණා," මහාචාර්යවරිය පෙන්වා දුන්නා ය.
අනතුරව හණු කුඩා වී, මුහුණේ පළල් බව මෙන් ම ඉදිරියට නෙරා තිබුණු ස්වභාවය ක්‍රමයෙන් නැති වී අප වර්තමානයේ සිටින ස්වභාවය දක්වා පැමිණි බව ඇය පැවසුවා ය.
නමුත් ඉන් වත්මන් මානවයා මාංශ ආහාරයට ගැනීමට හෝ ඝන ආහාර ගැනීමට නුසුදුසු තත්ත්වයට පත්ව ඇති බව අදහස් නොවන්නේ යැයි මහාචාර්යවරිය අවධාරණය කළා ය.
"තාම අපේ දත්වලින් ඔය ටික ඔක්කෝම කර ගන්න පුළුවන්. පරිණාමීය වශයෙන් මානවයා දියුණු වීමත් එක්ක, ආහාර ගැනීමේදී දත්වලින් කෙරුණු කාර්යය ක්‍රමයෙන් වෙනස් වුණා."
එක්සත් රාජධානියේ ජාතික වෛද්‍ය පුස්තකාලයේ ජෛව තාක්ෂණ තොරතුරු සඳහා වූ ජාතික මධ්‍යස්ථානයේ වෙබ් අඩවියේ පළ කර ඇති පර්යේෂණ පත්‍රිකාවක දැක්වෙන්නේ, මිනිස් අන්ත්‍රයේ දිග, මාංශ භක්ෂක හා ශාක භක්ෂක සතුන්ගේ අන්ත්‍ර සමග සසඳන විට, මිනිසුන් සර්ව භක්ෂකයන් ලෙස පරිණාමය වී ඇති බවට සාක්ෂියක් ලෙස සැලකෙන බවත් එහි ව්‍යුහය එම සත්ව කාණ්ඩ දෙකේ ම ලක්ෂණ අතර මැද ස්ථානයක පවතින බවත් ය.
එනම්, සත්ව ප්‍රෝටීන ඉක්මනින් බිඳ දමා අවශෝෂණය කර ගැනීමට සුදුසු මාංශ භක්ෂකයින්ගේ මෙන් කෙටි අන්ත්රයක් ද, තන්තුමය ශාක ද්‍රව්‍ය ජීර්ණය කිරීමට සුදුසු ශාක භක්ෂකයන්ගේ මෙන් දිගු අන්ත්රයක් ද මිනිසුන්ට නොමැති බව ය.
මාංශ භක්ෂකයින් හෝ ශාක භක්ෂකයින් මෙන් එක් ආහාර වර්ගයකට විශේෂීකරණය වී නොමැති මානවයින්, ශාකමය සහ සත්වමය ආහාර දෙක ම ඇතුළත් මිශ්‍ර ආහාර ගැනීම සඳහා පරිණාමය වී ඇති සත්ව විශේෂයක් වන අතර මානව දන්ත පද්ධතිය මස් සහ ශාක ආහාර යන දෙක ම ආහාරයට ගැනීමට සුදුසු ලක්ෂණවල සමබර සංයෝජනයක් පෙන්නුම් කරන බව එම පර්යේෂණ පත්‍රිකාවේ වැඩිදුරටත් සඳහන් කරයි.