ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ටෙහෙරානය ඇමෙරිකානු ගනුදෙනුව ජයග්‍රහණයක් ලෙස හැඳින්වුවත් බොහෝ ඉරාන වැසියන් එය අවශ්‍යතාවක් ලෙස සලකන්නේ ඇයි?
- Author, අමීර් අසිමි
- Role, ජ්‍යෙෂ්ඨ ප්‍රවෘත්ති සංස්කාරක – පර්සියානු සේවය
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 5
ඉරාන නායකයින් ඇමෙරිකා එක්සත් ජනපදය සමග ඔවුන්ගේ නව ගිවිසුම සම්මුතියක් ලෙස නොව ජයග්‍රහණයක් ලෙස ඉදිරිපත් කිරීමට උත්සහ කරයි; නමුත් එය කිරීම පහසු තර්කයක් නොවේ.
රට හානිකර යුද්ධයකට මුහුණ දී තිබේ. එහි ආර්ථිකය දැඩි පීඩනයකට ලක්ව ඇත. ඔවුන්ගේ ආධාරකරුවන්ගෙන් ඇතැමෙකු එක්සත් ජනපදය සමග ඇති කර ගන්නා ඕනෑ ම සම්මුතියක් හෙළා දකිමින් මාස ගණනාවක් ගත කර ඇත.
රට තුළ සිටින, විදෙස්ගතව සිටින ඇතැම් ඉරාන ජාතිකයෝ, මෙම අර්බුදය රාජ්‍ය තාන්ත්‍රිකභාවයට වඩා පාලන තන්ත්‍ර වෙනසක් සඳහා අවස්ථාවක් ලෙස සලකති.
ටෙහෙරානය මෙම ගිවිසුම සාර්ථක කර ගැනීමට උත්සහ කරමින් සිටින්නේ මෙවැනි බෙදී ගිය දේශපාලන වටපිටාවක් තුළ ය.
ඉරානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම ගනුදෙනුව ජයග්‍රහණයක් ලෙස විස්තර කර ඇත. පාර්ලිමේන්තු කතානායක මොහමඩ් බාගර් ගලීබාෆ් පැවසුවේ ඉරානය "අවසාන ජයග්‍රහණය කරා දිගු පියවරක්" ගෙන ඇති බවයි.
ගිවිසුම පරිවර්තනීය විය හැකි බවත්, සම්පූර්ණයෙන් ම ක්‍රියාත්මක කළහොත් ඉරානයේ බොහෝ ගැටලු විසඳා ඉරානයේ සහ මැද පෙරදිග "වෙනස් ලෝකයක්" නිර්මාණය කළ හැකි බවත් ජනාධිපති මසූද් පෙසෙෂ්කියාන් පැවසීය.
ගලීබාෆ්ගේ භූමිකාව වැදගත් වන්නේ ඔහු පෙසෙෂ්කියාන්ගේ මධ්‍යස්ථ කඳවුර සමග සම්බන්ධ නොමැති බැවිනි; ඔහුගේ සහයෝගයෙන් පෙනී යන්නේ ගනුදෙනුවට ඉරානයේ බලවත් කොටස්වල එනම් ඉස්ලාමීය ජනරජ විප්ලවවාදී ආරක්ෂකයින් තුළ පවා සහය පවතින බවයි.
ගැටුමේදී හෝ සාකච්ඡාවලදී එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඔවුන්ගේ ප්‍රධාන අරමුණු සාක්ෂාත් කර නොගත් බව පවසමින් ඉරාන නායකත්වය ගිවිසුම තමන්ගේ ජයග්‍රහණයක් ලෙස නිරූපණය කිරීමට උත්සහ කරයි.
ඔවුන්ගේ ප්‍රධාන අරමුණු සියල්ල ම අසාර්ථක විය. ඔවුන්ට පාලන තන්ත්‍ර වෙනසක් බලහත්කාරයෙන් කිරීමට, ඉරානයේ න්‍යෂ්ටික කටයුතු නැවැත්වීමට හෝ එහි කලාපීය සන්ධාන බිඳ දැමීමට නොහැකි විය.
බලහත්කාරයෙන් නෙරපා හැරීම හෝ හුදකලා කිරීම වෙනුවට, ඉරානය තවමත් සාකච්ඡාවල කොටසක් වන අතර, සාකච්ඡා ඉරානය පමණක් නොව ලෙබනනය වැනි කලාපීය ගැටලු ද ආවරණය කරයි.
සිදුවීම් පිළිබඳ රජයේ නිල ආඛ්‍යානය ඉරානය තුළ සිටින සියල්ලන් විසින් පිළිගනු නොලැබේ.
පාර්ලිමේන්තුවේ ජාතික ආරක්ෂක කමිටුවේ නියෝජ්‍ය සභාපති වන දැඩි මතධාරී මන්ත්‍රීවරයෙකු මෙම කෙටුම්පත් ගිවිසුම ඉරානය ඇමෙරිකානු යටත් විජිතයක් බවට පත් කරන ලියවිල්ලක් ලෙස විස්තර කර ඇති බව වාර්තා වේ.
ගනුදෙනුව සාකච්ඡා කළ පුද්ගලයින් නෞකා යාත්‍රා කිරීම සඳහා හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත නොකරන ලෙස උත්තරීතර නායකයාගේ නියෝගය අනුගමනය නොකළ බව ද ඔහු චෝදනා කරයි.
එම විවේචනය වැදගත් වන්නේ එය එම පද්ධතියෙන් පිටතින් නොපැමිණෙන බැවිනි. එය මතු වන්නේ ජාතික ආරක්ෂාව අධීක්ෂණය කිරීම සඳහාම පත් කර ඇති ආයතනයක් තුළින් ම ය.
ඇමෙරිකාව විශ්වාස කළ නොහැකි බවට පාර්ලිමේන්තුවේ සිටින දැඩි මතධාරීන්, රජයට පක්ෂපාතී මාධ්‍ය සහ රජයට හිතවාදී රැස්වීම් මාස ගණනාවක සිටම තර්ක කරමින් සිටියි.
එක්සත් ජනපදය තම සැබෑ අභිප්‍රායන් සැඟවීමට සාකච්ඡා භාවිතා කළ බවත්, එක්සත් ජනපදය සමග එකඟ වීම දුර්වල යටත් වීමක් ලෙසත් ඔවුහු විශ්වාස කරති.
හඬ නගන ලද කිහිප දෙනෙකු දැන් නිහඬ වී සිටින අතර එයින් ඇඟවෙන්නේ ඉදිරියට යාමේ තීරණයට රාජ්‍යයේ ඉහළම මට්ටම්වලින් අවසර ලැබී ඇති බවයි. එහෙත් එයින් අදහස් වන්නේ සම්පූර්ණ එකමුතුවක් ඇති බව නොවේ.
දැනට බල කේන්ද්‍රය විශ්වාස කරන්නේ ගනුදෙනුව ප්‍රතික්ෂේප කිරීම දැඩි මතධාරීන්ගේ විවේචනවලට මුහුණ දීමට වඩා ගැටලු ඇති කරන බවයි.
ඊශ්‍රායලයේ ස්ථාවරය පිළිබඳව ද ව්‍යාකූලත්වයක් පවතී. ඊශ්‍රායලය දකුණු ලෙබනනයෙන් ඉවත් වීමට සැලසුම් කරන බවට පළ වන වාර්තා ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතික්ෂේප කර තිබේ. අවශ්‍යතාව පවතින තාක් ඊශ්‍රායල හමුදා එහි රැඳී සිටිනු ඇතැයි ඔහු පවසයි.
බොහෝ සිවිල් වැසියන් ඝාතනය කර ඇති බව පවසමින් ඩොනල්ඩ් ට්‍රම්ප් ලෙබනනය තුළ සිදුවන ඊශ්‍රායලයේ ක්‍රියා ප්‍රසිද්ධියේ විවේචනය කර ඇත. ඉරාන - එක්සත් ජනපද ගිවිසුමට එළඹීමට අභියස සිටිය දී බේරූට් වෙත ඊශ්‍රායලය ප්‍රහාරයක් එල්ල කිරීම ගැන තමා අසතුටින් සිටින බවත්, එය සාකච්ඡා කඩාකප්පල් කිරීමේ අවදානමක් ඇති කොට ඇති බවත් ඔහු පැවසීය. ඒ සමග ම, බෙන්ජමින් නෙතන්යාහු සමග ඔහුගේ පෞද්ගලික සම්බන්ධතාවය තවමත් ශක්තිමත් සහ "විශිෂ්ට" බව ද ඔහු අවධාරණය කළේය.
එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය අතර ඇති මතභේදය ප්‍රයෝජනවත් අවස්ථාවක් ලෙස ඉරානය දකියි. ඉරානයේ පීඩනය ඊශ්‍රායලයේ ක්‍රියාකාරී නිදහස සංකීර්ණ කර ඇති බවට සාක්ෂියක් ලෙස එය ඉදිරිපත් කළ හැකිය. නමුත් එය ගනුදෙනුව ද අනතුරේ හෙළන්නකි.
ඊශ්‍රායලය ලෙබනනයේ මිලිටරි ක්‍රියාමාර්ග දිගට ම කරගෙන ගියහොත්, ඉරානයට ප්‍රතිචාර දැක්වීමට බල කෙරෙනු ඇත. එමෙන් ම එක්සත් ජනපදයට ඊශ්‍රායලය නැවැත්වීමට නොහැකි නම්, ලෙබනනය ගිවිසුමට ඇතුළත් කර ඇති බවට ඉරානයේ ප්‍රකාශය ඉක්මනින් පරීක්ෂාවට ලක් කෙරෙනු ඇත.
බීබීසී පර්සියානු සේවය වෙත ජනතාවගෙන් ලැබුණු ප්‍රතිචාරයෙන් පෙනී යන්නේ රජයේ "ජයග්‍රහණයේ" ප්‍රකාශය සියලු දෙනා විසින් එක හා සමානව පිළි නොගන්නා බවයි.
තවත් ඊශ්‍රායල ප්‍රහාරයක් ගැන ඔවුන් බිය වන බව එක් පුද්ගලයෙක් පැවසීය. නමුත් ගිවිසුම ගැන ඇසීමෙන් පසුව පවා, ඔවුන් තවමත් එය විශ්වාස නොකරන අතර ගනුදෙනුව දිගට ම පැවතුණ හොත් රට නිසි ලෙස පාලනය වේදැයි ඔවුහු කනස්සල්ලට පත්ව සිටිති.
රජයට විරුද්ධ වූ සහ මුලින් ඇමෙරිකානු හමුදා ක්‍රියාමාර්ගයට සහය දුන් තවත් ඉරාන ජාතිකයෙක් දැන් එය සැබවින් ම අත්කර ගත්තේ කුමක්දැයි ප්‍රශ්න කරයි. එය ඉරානයේ දේශපාලන වෙනසක් ඇති නොකළ බැවින්, එය අපේක්ෂාවන් සපුරා නොමැති බව ඔහු පවසයි. දියුණුව වෙනුවට, ජනතාව වැඩි දුක් වේදනා, උද්ධමනය සහ ආර්ථික හානිවලට මුහුණ දෙන බව ඔහු පවසයි.
ඇතැම් පිරිස් රජයේ මතයට එකඟ වූ අතර ඉරානය සැබවින් ම ශක්තිමත් වූ බව පැවසූහ. ගැටුමෙන් පෙන්නුම් කළේ සම්බාධක ඉවත් කරනු ලබන්නේ ඉල්ලීමෙන් හෝ "ආයාචනා කිරීමෙන්" නොව බලය සහ පීඩනය භාවිතා කිරීමෙන් බව ඔවුහු විශ්වාස කරති.
තවත් අයෙක් ගිවිසුමට සම්පූර්ණ ලෙස සහය නොදුන් නමුත් එය මිනිසුන්ට අඩු ආතතියකින් රැකියාවට සහ දෛනික ජීවිතයට ආපසු යාමට උපකාරී වන බව පැවසීය. නමුත් ගනුදෙනුව දිගු කල් පවතින්නේ නැති බව ද විශ්වාස කරයි. කෙසේ වෙතත්, එය පීඩනයෙන් හා අවිනිශ්චිතතාවයෙන් පෙලෙන ජනතාවට කෙටි සහනයක් ලබා දෙන බව කියයි.
එම අර්ථ නිරූපණය වඩාත් ම නිවැරදි එක විය හැකිය. ඉරාන රජය ගිවිසුම ජයග්‍රහණයක් ලෙස ඉදිරිපත් කරන්නේ, අවශ්‍යතාව හෝ පීඩනය නිසා ගනුදෙනුවට එකඟ වූ බව පිළිගැනීමට ඔවුන්ට අපහසු වන බැවිනි.
නමුත් ඉරාන වැසියන් බොහෝ දෙනෙකු එහි සාර්ථකත්වය සටන් පාඨ මගින් මනිනු නොලැබේ. එය මනිනු ලබන්නේ යුද්ධය නතර වේ ද, මිල ගණන් ලිහිල් වේ ද, සම්බාධක සහන ලැබේ ද සහ තවත් හදිසි උත්සන්න වීමකින් තොරව නායකත්වයට ඊළඟ අදියර කළමනාකරණය කළ හැකිද යන්න මත ය.