සිය ජීවිත බේරාගත් බංග්ලාදේශ ධීවරයාට ශ්‍රී ලාංකික පිය-පුතු දෙපළ සිය ධීවර යාත්‍රාව තෑගි කිරීමට තීරණය කරති

එම ශ්‍රී ලාංකික පුරවැසියන් දෙදෙනා නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා තානාපති කාර්යාලය හරහා දැනටමත් පියවර ගෙන තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, MD ABDUS SULTAN

ඡායාරූප ශීර්ෂ වැකිය, එම ශ්‍රී ලාංකික පුරවැසියන් දෙදෙනා නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා තානාපති කාර්යාලය හරහා දැනටමත් පියවර ගෙන තිබේ.
    • Author, මුකිමුල් අෂාන්
    • Role, බීබීසී බංග්ලා සේවය
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 7

පියෙකු සහ පුතෙකු ඇතුළු ශ්‍රී ලාංකිකයන් සිව් දෙනෙකු මුහුදේ මසුන් ඇල්ලීමට ගොස් තිබිණි. හදිසියේ ම ඔවුන්ගේ ධීවර යාත්‍රාවේ දෝෂයක් ඇති විය. ඉන්පසු ඔවුන්ගෙන් දෙදෙනෙකු වෙනත් යාත්‍රාවකට නැග ආපසු පැමිණිය ද, පියා සහ පුතා ක්‍රියාවිරහිත වූ යාත්‍රාව ආපසු රැගෙන ඒමේ අරමුණින් එය අතහැර නොගියහ.

ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාවක් දින 36ක් පුරා මුහුදේ අතරමංව පාවෙමින් තිබියදී, පසුගිය බදාදා බංග්ලාදේශ මුහුදු සීමාවේදී බංග්ලාදේශ ධීවර යාත්‍රාවකට නිරීක්ෂණය වී තිබිණි.

මෙම යාත්‍රාව කොක්ස් බසාර් (Cox's Bazar) හි මහේෂ්කාලි (Maheshkhali) ප්‍රදේශයේ කුටුබ්ජොම් (Kutubjom) යුනියන් හි පදිංචි සියාඋර් රහ්මාන් (Ziaur Rahman) ට අයත් එකකි. ඔහු ඇතුළුව ධීවරයින් අට දෙනෙක් එම යාත්‍රාවේ සිටියහ.

බදාදා රාත්‍රියේ ඈත පාවෙමින් තිබූ ට්‍රෝලර් යාත්‍රාව තමා දුටු බව සියාඋර් රහ්මාන් බීබීසී බංග්ලා සේවයට පැවසීය. ඔහු එය ආසන්නයට ම ගිය විට, එම යාත්‍රාවේ සිටි විදේශිකයන් දෙදෙනෙකු දැකගත හැකි වී තිබිණි.

"මම ළඟට ගිහින් බලනකොට, නැගිට ගන්නවත් ශක්තියක් නැති දෙන්නෙක් දැක්කා. ඒගොල්ලො කියපු කිසි දෙයක් මට තේරුණේ නෑ. ඒ අය අත්වලින් සංඥා කරමින් උදව් ඉල්ලුවා. ඒගොල්ලෝ දිගට ම කිව්වේ, 'ශ්‍රී ලංකන්, ශ්‍රී ලංකන්' (Sri Lankan, Sri Lankan) කියන වචනය විතර යි."

පසුව තමන් ඔවුන්ව තම ධීවර යාත්‍රාව මගින් එතැන සිට වෙරළට රැගෙන ආ බව රහ්මාන් පැවසීය.

මෙම ශ්‍රී ලාංකික පුරවැසියන් දෙදෙනා වන්නේ, එස්.එච්. චමින්ද නමැත්තෙකු සහ ඔහුගේ පුත්‍රයා ය. ඔවුහු ශ්‍රී ලංකාවේ දෙවිනුවර ප්‍රදේශයේ ග්‍රාමීය රෝහල් මාර්ගයේ පදිංචිකරුවෝ වෙති.

මුහුදේ පාවෙමින් සිටි එම ශ්‍රී ලාංකික ධීවරයින් දෙදෙනා, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සහ ප්‍රාදේශීය පොලිස් බලධාරීන් සමග බීබීසී බංග්ලා සේවය කතාබහ කළේ ය.

එම ධීවරයින් දෙදෙනා දැනට කොක්ස් බසාර්හි (Cox's Bazar) රැඳී සිටින අතර, ඔවුන්ගේ අබලන් වූ ධීවර යාත්‍රාව පොලිසිය භාරයට ගෙන ඇත. ඔවුන් කඩිනමින් ඩකා (Dhaka) නුවර වෙත යැවීමට කටයුතු කරන බව පොලිසිය ප්‍රකාශ කරයි.

කොක්ස් බසාර්හි මහේෂ්කාලි (Maheshkhali) පොලිස් ස්ථානයේ ස්ථානාධිපති එම්.ඩී. අබ්දුස් සුල්තාන් බීබීසී බංග්ලා සේවයට පැවසුවේ, බංග්ලාදේශයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා මේ සම්බන්ධයෙන් තමා සමඟ සාකච්ඡා කළ බව ය. එම ධීවරයින් දෙදෙනා නැවත මව් රටට යැවීම සඳහා වන කටයුතු දැනටමත් ආරම්භ කර ඇත.

তাদের মাছ ধরার ট্রলারটি এখন পুলিশের হেফাজতে রয়েছে

ඡායාරූප මූලාශ්‍රය, MD ABDUS SULTAN

ඡායාරූප ශීර්ෂ වැකිය, ඔවුන්ගේ ධීවර යාත්‍රාව මේ වන විට පොලිස් භාරයේ ඇත

මුහුදේ පාවෙමින් තිබූ ට්‍රෝලර් යාත්‍රාව බේරාගත් හැටි

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

බංග්ලාදේශයේ සිට මුහුදු මාර්ගයෙන් දළ වශයෙන් නාවික සැතපුම් 1,300ක් පමණ දුරින් ශ්‍රී ලංකාව පිහිටා ඇත. මෙම දකුණු ආසියානු රටවල් දෙක එකිනෙකට ආසන්නව පිහිටා තිබුණ ද, ඒ අතර ඍජු සමුද්‍රීය දේශසීමාවක් නොමැත.

මහේෂ්කාලිහි කුටුබ්ජොම් යුනියන් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ සියාඋර් රහ්මාන්, සිය ධීවර යාත්‍රාවෙන් බෙංගාල බොක්කේ මසුන් ඇල්ලීම සඳහා පිටත්ව ගොස් තිබිණි.

බෙංගාල බොක්කේ ගුලිර්ධාර් (Gulirdhar) ප්‍රදේශයේදී පාලනයකින් තොරව පාවෙමින් තිබූ ධීවර යාත්‍රාවක් දැක ඒ වෙත ගිය බව ඔහු බීබීසී බංග්ලා සේවයට පැවසීය. ඊට ආසන්න වූ විට, එම යාත්‍රාවේ එන්ජිම අක්‍රිය වී තිබූ බවත්, පුද්ගලයින් දෙදෙනෙකු අසනීප තත්ත්වයෙන් එහි හිඳගෙන සිටි බවත් ඔහුට දැකගත හැකි විය.

"මම ළඟට යන විට, එම පුද්ගලයින් දෙදෙනාට තමන් සිටි තැනින් නැගිට ගැනීමටවත් නොහැකි තත්ත්වයක් පැවති බව මම දුටුවා. ඔවුන් පැමිණියේ කොහේ සිටදැයි මම ඔවුන්ගෙන් විමසුවා. ඔවුන් ශ්‍රී ලංකාවේ සිට පැමිණි බව ඉඟි කළා. ඔවුන් කතා කළ වෙනත් කිසිදු භාෂාවක් අපට තේරුම් ගැනීමට නොහැකි වුණා," යනුවෙන් රහ්මාන් බීබීසී බංග්ලා සේවයට පැවසීය.

එම ධීවරයින් දෙදෙනා උදව් ඉල්ලා කෑගසමින් සිටි බව ඔහු පැවසීය. යම් අවස්ථාවකදී, ඔහු සහ ඔහුගේ යාත්‍රාවේ සිටි අනෙකුත් ධීවරයින් එම පුද්ගලයින් දෙදෙනාව යාත්‍රාවට නංවා ගත්හ.

"ඔවුන්ගේ භාෂාවෙන් කියපු කිසි දෙයන් අපට තේරුම් ගන්න බැරි වුණා. ඔවුන් 'Navy' (නාවික හමුදාව) සහ 'Coast Guard' (වෙරළාරක්ෂක බළකාය) යන වචන දෙක ම පමණක් දිගින් දිගට ම පවසමින් සිටියා," යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

සියාවුර් රහ්මාන් ප්‍රකාශ කළේ, එම ශ්‍රී ලාංකික ධීවරයින් දෙදෙනා තම ධීවර යාත්‍රාව අත්හැර දැමීමට අකමැති වූ බව ය; ඒ අනුව, ඔහු ඔවුන්ව තම යාත්‍රාවට නංවාගෙන, ඔවුන්ගේ යාත්‍රාව ද පසුපසින් ඇදගෙන වෙරළ දෙසට ගමන් කර තිබේ.

පැය 14ක පමණ කාලයක් යාත්‍රා කිරීමෙන් අනතුරුව එම ශ්‍රී ලාංකික ධීවරයින් දෙදෙනා ද සමග වෙරළට ළඟා වන විට බ්‍රහස්පතින්දා උදා වී තිබූ බව ද රහ්මාන් වැඩිදුරටත් පැවසීය.

সাগরে উদ্ধার হওয়া দুইজন শ্রীলঙ্কান নাগরিক এস এইচ চামিন্দা ও তাঁর ছেলে সাউন্ডা হান্নাদিগিপিয়াওয়াটিং

ඡායාරූප මූලාශ්‍රය, ZIAUR RAHMAN

ඡායාරූප ශීර්ෂ වැකිය, මුහුදේදී බේරා ගැනුණු එස්.එච්. චමින්ද සහ ඔහුගේ පුත්‍රයා

ඊළඟට සිදුවූයේ කුමක් ද?

බේරාගත් ධීවරයින් දෙදෙනාගේ ප්‍රකාශ උපුටා දක්වමින්, ට්‍රෝලර් යාත්‍රාවේ හිමිකරු වන සියාඋර් රහ්මාන් බීබීසී බංග්ලා සේවයට පැවසුවේ, මුහුදේ අතරමංව සිටියදී ආහාර අවසන් වීමෙන් පසු යම් අවස්ථාවකදී එම ශ්‍රී ලාංකිකයින් දෙදෙනාට අමු මාළු ආහාරයට ගැනීමට සිදුව තිබූ බව ය.

ට්‍රෝලර් යාත්‍රාවට ගොඩවීමෙන් පසු, ඔවුන්ට ලබා දුන් බිස්කට් සහ ජලය ඇතුළු ආහාර වර්ග ඔවුන් විසින් පරිභෝජනය කරන ලදී. යම් අවස්ථාවකදී, එම පුද්ගලයින් දෙදෙනා තම පවුල්වල සාමාජිකයින් හා සම්බන්ධ වීමට ඇති කැමැත්ත ද පළ කළහ.

ධීවරයින් දෙදෙනා රැගත් බංග්ලාදේශ ට්‍රෝලර් යාත්‍රාව වෙරළට ළඟා වූ බව ට්‍රෝලර් යාත්‍රා හිමිකරු සියාඋර් රහ්මාන් පැවසීය. එක් අවස්ථාවක, ඉන්ටර්නෙට් සබඳතාව ආපසු ලැබුණු පසු ධීවරයින් දෙදෙනා ශ්‍රී ලංකාවේ ඔවුන්ගේ පවුලේ දුරකතන අංකයක් ඔහුට ලබා දුන්හ.

WhatsApp ඔස්සේ එම අංකය ඇමතීමෙන් පසු, පිය-පුතු ධීවරයින් ඔවුන්ගේ පවුලේ අය සමග කතා කළහ.

"ඊට පස්සේ අපි ප්‍රාදේශීය පොලිස් ස්ථානයට සහ වෙරළාරක්ෂක බළකායට ඒ බව දැනුම් දුන්නා," යැයි රහ්මාන් පැවසීය. "පස්සෙ මම එම ධීවරයින් දෙදෙනා මගේ නිවසට රැගෙන ගොස් ඔවුන්ට රාත්‍රී ආහාරය ලබා දුන්නා. ඔවුන්ව පරීක්ෂා කිරීම සඳහා මම ප්‍රාදේශීය වෛද්‍යවරයෙකු කැඳවූ අතර, වෛද්‍යවරයා නිර්දේශ කළ ඖෂධ ඔවුන් ලබා ගත්තා."

එම ශ්‍රී ලාංකික ධීවරයින් දෙදෙනා එදින රාත්‍රියේ සියාඋර් රහ්මාන්ගේ නිවසේ රැඳී සිටියේය.

මහේෂ්කාලි පොලිස් ස්ථානයේ ස්ථානාධිපති එම්.ඩී. අබ්දුස් සුල්තාන් බීබීසී බංග්ලා සේවයට පැවසුවේ, "ඔවුන් ගැඹුරු මුහුදේ සිටියදී ඔවුන්ගේ බෝට්ටුවේ එන්ජිම අක්‍රිය වී තිබෙනවා. එම යාත්‍රාව අලුත්වැඩියා කර ගැනීමට නොහැකි වූ අවස්ථාවේදී එය මුහුදු රළ ඔස්සේ අපගේ ප්‍රදේශය දෙසට පාවී පැමිණියා," යනුවෙනි.

භාෂා පරිවර්තකයෙකු මාර්ගයෙන් එම ධීවරයින් දෙදෙනා සමග අදහස් හුවමාරු කර ගනිමින් ස්ථානාධිපති සුල්තාන් සඳහන් කළේ, ජූනි 19 වන දින ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය ශ්‍රී ලාංකික ධීවරයින් සිව්දෙනාගේ බෝට්ටුවේ එන්ජිම එම ගමන අතරතුරදී අක්‍රිය වූ බව ය. පසුව බංග්ලාදේශ ධීවර යාත්‍රාවකට මෙම බෝට්ටුව දැකගත හැකි විය.

উদ্ধার করা জেলে জিয়াউর রহমানের সাথে শ্রীলঙ্কান দুইজন জেলে

ඡායාරූප මූලාශ්‍රය, ZIAUR RAHMAN

ඡායාරූප ශීර්ෂ වැකිය, බේරාගත් ධීවරයෙකු වන සියාඋර් රහ්මාන් (ඡායාරූපයේ වමේ සිට දෙවැන්නා), ශ්‍රී ලාංකික ධීවරයින් දෙදෙ සහ කොක්ස් බසාර් (Cox's Bazar) හි හෝටලයක සේවය කරන ශ්‍රී ලාංකික නිලධාරියෙකු සමග

ශ්‍රී ලංකාවට ආපසු ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළ

මුහුදේ අතරමං වී සිටි පුද්ගලයාගේ දියණිය, තම පියා සහ මුදාගත් අනෙක් පුරවැසියා පිළිබඳ තොරතුරු බීබීසී බංග්ලා සේවය වෙත තහවුරු කළා ය. ඔවුන්ට ලබා දුන් සහාය වෙනුවෙන් බංග්ලාදේශයේ බන්ධනාගාර සහ පොලිස් බලධාරීන්ට ඇය සිය කෘතඥතාව පළ කළා ය.

මේ වන විට එම ධීවරයින් දෙදෙනා කොක්ස් බසාර් (Cox's Bazar) හි රැඳී සිටින අතර, ඔවුන්ගේ අබලන් වූ ධීවර යාත්‍රාව පොලිස් භාරයට ගෙන ඇත. ඔවුන්ව ඉක්මනින්ම ඩකා නුවර වෙත යැවීමට කටයුතු කරන බව පොලිසිය ප්‍රකාශ කර තිබේ.

එක් අවස්ථාවකදී, පොලිසිය විසින් කොක්ස් බසාර්හි හෝටලයක් පවත්වාගෙන යන ශ්‍රී ලාංකිකයෙකු සම්බන්ධ කරගෙන ඔහුව පොලිස් ස්ථානය වෙත කැඳවන ලද අතර, ඔහු පරිවර්තකයෙකු ලෙස කටයුතු කරමින් අදාළ පුද්ගලයාගෙන් සම්පූර්ණ විස්තරය අසා පොලිසියට පැහැදිලි කර දුන්නේ ය.

ඉන් අනතුරුව, පොලිසිය සහ ප්‍රාදේශීය පරිපාලනය බංග්ලාදේශ විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත මේ පිළිබඳව දැනුම් දුන් අතර, එම අමාත්‍යාංශය විසින් බංග්ලාදේශයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ඒ බව දන්වා යවන ලදී.

මහේෂ්කාලි (Moheshkhali) පොලිස් ස්ථානයේ ස්ථානාධිපති එම්.ඩී. අබ්දුස් සුල්තාන් බීබීසී බංග්ලා සේවයට පැවසුවේ, "මේ පිළිබඳව දැනගැනීමෙන් පසු ශ්‍රී ලංකා තානාපතිවරයා මට දුරකතනයෙන් කතා කළා. මා සමග කතා කිරීමෙන් අනතුරුව, ඔහු දැනට අපගේ භාරයේ සිටින ධීවරයින් දෙදෙනා සමග ද කතා කර, ඔවුන්ව නැවත මව් රටට යැවීමට කටයුතු කරන බවට සහතිකයක් ලබා දුන්නා," යනුවෙනි.

පොලිස් භාරයේ සිටින මෙම පුද්ගලයින් දෙදෙනා සමාජ සේවා දෙපාර්තමේන්තුව වෙත මාරු කිරීම සඳහා අධිකරණය හරහා ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බව පොලිසිය ප්‍රකාශ කළේ ය. සමාජ සේවා දෙපාර්තමේන්තුව හරහා දින එකක් හෝ දෙකක් ඇතුළත ඔවුන්ව ඩකා නුවර වෙත යැවීමට නියමිත ය.

"ශ්‍රී ලාංකිකයින් දෙදෙනා අපගේ භාරයේ සිටියදී, අපි ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණයේ ඡායාරූප අරගෙන ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට යැව්වා. සංචාරක බලපත්‍ර නිකුත් කිරීම ඇතුළු සියලු විධිවිධාන අවසන් වූ පසු ඔවුන් ඔවුන්ගේ මව් රටට ආපසු යැවීමේ ක්‍රියාවලිය අවසන් කළ හැකියි," යනුවෙන් ස්ථාන භාර නිලධාරී සුල්තාන් පැවසීය.

කෙසේ වෙතත්, ශ්‍රී ලාංකිකයින් දෙදෙනා අතහැර දමා යාම ප්‍රතික්ෂේප කළ අදාළ යාත්‍රාව ආපසු ඔවුන් සමග ශ්‍රී ලංකාවට යැවීමට නොහැකි වනු ඇතැයි පොලිසිය පැවසීය.

තත්ත්වය පිළිබඳව පොලිසිය ඔවුන්ව දැනුවත් කිරීමෙන් පසු, එම පියා සහ පුත්‍රයා තමන්ව බේරාගත් බංග්ලාදේශ ජාතික ධීවරයෙකු වන සියාඋර් රහ්මාන් වෙත තම ධීවර බෝට්ටුව තෑගි කිරීමට කැමැත්ත පළ කළහ.

ඒ පිළිබඳව අදහස් දක්වමින් සුල්තාන් පැවසුවේ, "තමන්ව බේරාගත් පුද්ගලයාට තම බෝට්ටුව තෑගි කිරීමට අවශ්‍ය බව එම ශ්‍රී ලාංකික ධීවරයින් දෙදෙනා මට පැවසුවා. කෙසේ වෙතත්, දැනට එම බෝට්ටුව පොලිස් භාරයට ගත් දේපළ ලැයිස්තුවට ඇතුළත් කර අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා," යනුවෙනි.

ඔහු ප්‍රකාශ කළේ, එම බෝට්ටුව තමන්ගෙන් තෑග්ගක් ලෙස ලබා ගැනීමට බංග්ලාදේශ ධීවරයා කැමති නම්, අධිකරණය හරහා අවශ්‍ය සියලු නීතිමය ක්‍රියා පටිපාටි සම්පූර්ණ කිරීමෙන් පසු ඔහුට එය සිදු කළ හැකි බව ය; කෙසේ වෙතත්, පළමුව සමස්ත අධිකරණ ක්‍රියාවලිය ම අවසන් විය යුතු ය.

බංග්ලාදේශ ධීවරයෙකු වන සියාඋර් රහ්මාන් මේ සම්බන්ධයෙන් සිය කැමැත්ත පළ කර තිබේ. ඔහු 'බීබීසී බංග්ලා' සේවයට පැවසුවේ, "මම ඔවුන්ට උදව් කළේ කිසිදු ප්‍රතිලාභයක් බලාපොරොත්තුවෙන් තොරව යි. ඔවුන්ට අවශ්‍ය නම්, සුහදත්වය මත එම බෝට්ටුව මට ලබා දෙනවා නම්, මම එය භාර ගන්නවා," යනුවෙනි.