එක්සත් ජනපද-ඉරාන ගිවිසුම සමග එන මග හැර යා නොහැකි ප්රශ්නය : ඉරාන යුද්ධය කුමක් සඳහා ද?

ඡායාරූප මූලාශ්‍රය, Government of Islamabad / Handout/Anadolu via Getty Images
- Author, ජෙරමි බෝවන්
- Role, ජාත්‍යන්තර සංස්කාරක
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 7
පෙබරවාරි 28 වන දින ඉරානයට පහර දීමට ගත් බුද්ධිමත් නොවන තීරණයේ දේශපාලන, මිලිටරි සහ ආර්ථික ප්‍රතිවිපාක ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් විසින් අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමේ දක්වා ඇත.
ඉන් සිදුවූ ජීවිත හානි දැනටමත් පැහැදිලිය. ඉරානයේ සහ ලෙබනනයේ දහස් ගණනක් මිය ගොස් ඇති අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් සිවිල් වැසියන් ය.
එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය උපායමාර්ගික පරාජයක් අත්විඳ ඇත. ලෝකයේ ශක්තිමත්ම බලවතා වන ඇමෙරිකා එක්සත් ජනපදය සහ මැදපෙරදිග සුපිරි බලවතා වන ඊශ්‍රායලය විසින් ඉරානය අඩපණ කිරීමට හෝ විනාශ කිරීමට ක්‍රියාත්මක කළ ඒකාබද්ධ මිලිටරි මෙහෙයුමේදී, ටෙහෙරානයේ පාලන තන්ත්රය එහි නරකම බියකරු සිහිනයට මුහුණ දුන්නේය. ඉන් පාලන තන්ත්රය බේරී ගියා පමණක් නොව, තවත් බලවත් විය.
හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීමේ තම උපාය මාර්ගය සහ ඒ සමග ලෝකයේ තෙල් හා ගෑස් සැපයුම්වලින් පහෙන් එකක් මෙන්ම ගෝලීය ආර්ථිකයේ අනෙකුත් ඉතා වැදගත් අංශවල සැපයුම අවහිර කිරීම නිසා, ඇමරිකාවේ ඉරානයට විරුද්ධ පාර්ශව සහ ඊශ්‍රායල රජය කෝපයට පත් කරන සහන මාලාවකට එකඟ වීමට ට්‍රම්ප් ට බල කෙරී ඇත.
අවබෝධතා ගිවිසුම (MOU ) ලෙබනන යුද්ධය අවසන් කිරීම ද ඉල්ලා තිබේ. ඊශ්‍රායලය පවසන්නේ එය සිදුවිය නොහැකි බවයි. ඔවුන්ට ලෙබනනය සම්බන්ධයෙන් නිදහස් ප්‍රතිපත්තියක් අවශ්‍යවන අතර, එම ප්රශ්නය ඊශ්‍රායලය සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර වඩා තියුණු භේදයක් ඇති කිරීමට හේතු වී තිබේ. එමෙන්ම ඇමෙරිකානුවන් සමඟ ඕනෑම ආකාරයක ගිවිසුමකට විරුද්ධ වන ඉරාන දැඩි මතධාරීන්ට වාසි අත්කර දීමට හේතුවනු ඇත.
සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමට ප්‍රතිචාර වශයෙන්, එක්සත් ජනපදය ඉරාන වරායන් අවහිර කිරීමේ ප්‍රති-සම්බාධක ඉවත් කරන බවටත්, තෙල් අපනයනය කිරීමෙන් ඉරානයට ඩොලර් බිලියන ගණනක් උපයා ගැනීමට ඉඩ සලසමින් සම්බාධක ඉවත් කරන බවටත්, විදේශයන්හි වත්කම් තහනම් කිරීම් ඉවත් කිරීමෙන් ඉරානයට තවත් බිලියන ගණනක් ආපසු ලබා දීමේ ක්‍රියාවලිය ආරම්භ කරන බවත් අවබෝධතා ගිවිසුමේ භාෂාවෙන් කියැවේ.
ඒ ඔවුන් න්‍යෂ්ටික ගිවිසුමක් ගැන සාකච්ඡා කිරීමේ දුෂ්කර කාර්යයට සම්බන්ධ වීමට පෙරය. එය එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය යුද්ධය දියත් කිරීමට පෙර දින පෙබරවාරි 27 වන දින ඔවුන් සිටි තැනටම නැවත පැමිණීමකි. එදින හෝමූස් සමුද්‍ර සන්ධිය නැව්ගත කිරීම සඳහා විවෘතව තිබූ අතර ඇමෙරිකානු සහ ඉරාන සාකච්ඡාකරුවෝ න්‍යෂ්ටික ගිවිසුමක් පිළිබඳව සාකච්ඡා කරමින් සිටියහ.
අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම යනු සාකච්ඡාකරුවන්ට නැවත සිය කාර්යන් ආරම්භ කිරීමට සහ නෞකාවලට හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කිරීමට හැකි වනු ඇති බවයි.

ඡායාරූප මූලාශ්‍රය, AFP via Getty Images
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ජෝ බයිඩන්ගේ රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන්, X හි පළ කළේ "සටන් විරාමයේ එකම 'ජයග්‍රහණය' යුද්ධය ආරම්භ වීමට පෙර විවෘතව තිබූ හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම බවයි. ඒ සඳහා අපි ඉරානයට මුදල් ගෙවන බව පෙනී යනවා."
යුද්ධය ක්‍රියාත්මක කළේ හරියටම කුමක් සඳහාද යන ප්රශ්නය නොවැළැක්විය හැකි එකක් වන අතර එය පහව නොයයි. එය ට්‍රම්ප්ගෙන් මෙතෙක් සිදු වූ නරකම විදේශ ප්‍රතිපත්ති වරදට සමාන වනු ඇත.
මෙය ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ දිගු දේශපාලන ජීවිතයේ අවසානය ද සනිටුහන් කළ හැකිය. ඔහු ඔක්තෝම්බර් මාසයේදී මැතිවරණයට මුහුණ දෙන අතර, ඊශ්‍රායල ඉතිහාසයේ නරකම අවස්ථාවක් වන හමාස් ප්‍රහාරය හේතුවෙන් ආරක්ෂාව සම්බන්ධයෙන් වූ අසාර්ථකත්වයන් ගැන ද ඊශ්‍රායල ඡන්දදායකයින්ගෙන් තක්සේරුවක් ඔහුට ලැබෙනු ඇත. අධික ලෙස ප්‍රශංසාවට ලක්වන ඊශ්‍රායල් හමුදා සහ බුද්ධි අංශ 2023 ඔක්තෝබර් 7 වන දින ගාසා සිට ඊශ්‍රායලය ආක්‍රමණය කිරීමේ හමාස් සැලැස්ම හඳුනා ගැනීමට අපොහොසත් විය.
නෙතන්යාහූගේ දැඩි යුදමය ප්‍රතිපත්තිය හා සංවාද නොසලකා හැරීම ඔහු 'ඊශ්‍රායලයේ ආරක්ෂකයා (Mr. Security)' ලෙස තිබූ නාමය ඔහුට නැවත ගොඩනගා ගැනීමට සිදුවීමට හේතු වී තිබේ.
හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීම සඳහා වන බලය ගැන ටෙහෙරානය සැමවිටම දැනුවත්ව සිටියේය. එක්සත් ජනපද හමුදාව, එරට රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ ඔත්තුකරුවන් ද එසේමය.
නමුත්, ප්‍රවේශම් සහගත, වයෝවෘද්ධ පුද්ගලයෙකු වූ ඉරානයේ හිටපු උත්තරීතර නායක අලි කමේනි, සමුද්‍ර සන්ධිය ආයුධයක් ලෙස භාවිතා කිරීමේ අවදානම නොගැනීමට තීරණය කළේය.
යුද්ධයේ පළමු බෝම්බ ප්‍රහාර මාලාවෙන්ම ඊශ්‍රායලය කමේනි සහ ඔහුගේ සමීපතම උපදේශකයින් මරා දැමීමෙන් පසු, ඔහුගේ අනුප්රාප්තිකයින් නිවැරදිව විශ්වාස කළේ ඔවුන් සිය පැවැත්ම පිළිබඳ අරගලයක යෙදී සිටින බව සහ සමුද්‍ර සන්ධිය වසා දැමීමට පසුබට නොවන බවත්ය.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
ගෝලීය ආර්ථිකයේ හුස්ම සිරකිරීමේ පාලන බලය ඔවුන් සොයාගෙන ඇත. එය දශක ගණනාවක් තිස්සේ මැද පෙරදිග ගොඩනගා ගත් මිත්‍ර පාක්ෂිකයින්ගේ සහ නියෝජිතයින්ගේ ජාලයට වඩා හොඳින් භාවිතා කළ හැකි සහ බෙහෙවින් ලාභදායී ආයුධයකි.
2024 අවසානයේ බිඳ වැටුණු සිරියාවේ අසාද් පාලනය හැරුණු විට, ඉරානයේ ඊනියා ප්‍රතිරෝධක අක්ෂය තවමත් පවතී. නමුත් ඊශ්‍රායලය විසින් එයට කොතරම් හානි කර ඇත්ද යත්, එයට "ප්‍රතිරෝධය දැක්වීමට" හැකිද යන්න මතභේදාත්මක කරුණකි.
ඉරානය න්‍යෂ්ටික වැඩසටහනකට මුදල් යෙදවූ අතර ඔවුන් දිගින් දිගටම ප්‍රතික්ෂේප කර සිටින්නේ, එය අවියක් තැනීම අරමුණු කරගත් එකක් නොවන බවයි. නමුත් නිසැකවම එය ටෙහෙරානයට විකල්පයක් මෙන්ම තර්ජනය. එමඟින් යුද්ධයක් ඇති වූ අතර ඉන් පාලන තන්ත්රයේ පැවැත්ම පවත්වාගෙන යාමට හැකිවූ නමුත් ඉරානයට දැවැන්ත හානියක් සිදු කර ඇත.
ඊට ප්‍රතිරෝධීව ගත් කළ, සමුද්‍ර සන්ධිය වසා දැමීම පහසු වූ අතර එය වේගවත් හා විනාශකාරී බලපෑමක් ඇති කළ අතර, එහි පීඩාව ඉන්ධන කර්මාන්තයේ නිරත අරාබි රාජ්‍යයන්ට සහ ලෝකයේ අනෙකුත් බොහෝ කලාපවලට පැතිරී ගියේය.
එක්සත් ජනපද සහ ඊශ්‍රායල ගුවන් හමුදාවන්ගේ බලය උපායශීලී ජයග්‍රහණ මාලාවක් ලබා ගත්තේය. නමුත් උපායමාර්ගික පරාජය වළක්වා ගැනීමට එය ප්‍රමාණවත් නොවීය. ඒ, පාලන තන්ත්ර වෙනසක් සඳහා වූ එක්සත් ජනපද-ඊශ්‍රායල උපාය මාර්ගය උදාසීන සහ වැරදි උපකල්පන මාලාවක් මත පදනම් වූ බැවිනි.
උත්තරීතර නායකයා ඝාතනය කිරීම පාලන තන්ත්රයේ බිඳවැටීමට හේතු වනු ඇතැයි ඔවුහු උපකල්පනය කළහ. නමුත් අඩ සියවසකට ආසන්න කාලයක් තිස්සේ ඉස්ලාමීය ජනරජයේ ආයතන නිර්මාණය කර ඇත්තේ ඒවා විනාශ කිරීමට ගන්නා උත්සාහයන්ට එරෙහි වීමටය.
ලතින් ඇමරිකානු දූෂිත ඒකාධිපති පාලනයක් වූ වෙනිසියුලාවේ නායකයා පැහැරගෙන ගොස් එක්සත් ජනපදයේ නඩු විභාගයට ලක් කළ විට ඔහුගේ පාලනය බිඳ වැටුණි. ඉරාන පාලනය නිසැකවම දූෂිත හා දැඩි මර්දනකාරී ය. ඔවුහු පසුගිය ජනවාරි මාසයේදී ඉරානයේ වීදිවල විරෝධතාකරුවන් දහස් ගණනක් මරා දැමූහ. නමුත් එය පදනම් වී ඇත්තේ 1980 ගණන්වල සදාම් හුසේන්ගේ ඉරාකය සමඟ ඇති වූ විනාශකාරී යුද්ධයෙන් වර්ධනය වූ දෘෂ්ටිවාදය, ආගමික විශ්වාසය සහ ජාතික ආරක්ෂාව, ප්‍රාණ පරිත්‍යාගය සහ පැවැත්ම පිළිබඳ සංකල්පයක් මත ය.
යුද්ධය ආරම්භ කරන විට ජනාධිපති ට්‍රම්ප් පැවසුවේ ටෙහෙරානයේ පාලනය බිඳ වැටෙනු ඇති බවයි. ඔහු ඉරාන ජනතාවට කියා සිටියේ සිය රට ආපසු ලබා ගැනීමට පරම්පරාවකට වරක් ලැබෙන අවස්ථාවට සූදානම් වන ලෙසයි. ඉන් වැඩි කල් නොගොස් ඔහු කොන්දේසි විරහිතව යටත් වන ලෙස ඉරානයෙන් ඉල්ලා සිටියේය.
ධවල මන්දිරයේ ට්‍රම්ප්ට පෙර සිටි ජනාධිපතිවරු ඉරානයට එරෙහිව යුද්ධයකට පෙළඹවීමට උත්සාහ කර යළි යළිත් අසාර්ථක වූ නෙතන්යාහු, සිදුවීමට යන බවට ඔහු විශ්වාස කළ දෙයෙහි ගැඹුරු බව පෙන්වීමට බයිබලයේ මෙන් භාෂා විලාසයක් භාවිතා කළේය: "මෙම බලවත් සන්ධානය වසර 40 ක් තිස්සේ අප ඉටු කිරීමට ආශා කළ දේ කිරීමට මාහට ඉඩ සලසයි: එනම් කිසිදු දයාවකින් තොරව ත්‍රස්තවාදී පාලනය සම්පූර්ණයෙන් විනාශ කර දමන්න."
අවබෝධතා ගිවිසුම යනු අවසාන ගිවිසුමක් නොවේ. එය ඔවුන් අතර ඇති විශාලතම ගැටලුව වන ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන ගැන කතා කිරීමට ඇති ගිවිසුමකි. නමුත් එය ඉරානයට පෙළඹවීම් රැසක් ඇති කරයි. සාකච්ඡා ප්‍රගතියක් ලැබුවහොත්, සම්බාධක ඉවත් කරන බව එක්සත් ජනපදය පවසා තිබේ.
ඒ සියල්ල රඳා පවතින්නේ න්‍යෂ්ටික ගිවිසුමක් පිළිබඳ දින 60 ක සාකච්ඡාවල සාර්ථකත්වය මතයි. එය දීර්ඝ කළ හැකි අතර බොහෝ විට එසේ වනු ඇත, මන්ද පවතින ගැටලු සංකීර්ණ බැවිනි. දෙපාර්ශවයම එකිනෙකා විශ්වාස නොකරයි. බොහෝ දේ වැරදිමට ඉඩ ඇත. වොෂින්ටනයේ, ටෙහෙරානයේ සහ ඊශ්‍රායලයේ දැඩි මතධාරීන්ට මෙම ගිවිසුම ක්‍රියාත්මක වීමට අවශ්‍ය නැත.
ඉදිරි සාකච්ඡා වලදී ඉරානය තම බලය ඉක්මවා උපරිම ස්ථාවරයන් ගනිමින් ක්‍රියා කළ හැකි අතර එමගින් බිඳ වැටුණු ආර්ථිකය බේරා ගත හැකි ආර්ථික ජයග්‍රහණ අනතුරේ හෙළීමට ඉඩ තිබේ.
නමුත් මෙම ගිවිසුම දහස් ගණනක් මරා දැමූ සහ ගෝලීය ආර්ථික අවපාතයකට තර්ජනයක් වූ යුද්ධයකට වඩා බෙහෙවින් යහපත් ය.
එක්සත් ජනපදය හා ඉරානය තෘප්තිමත් වන පරිදි න්‍යෂ්ටික ගිවිසුමක් ඇති කර ගන්නේ නම් සහ දෙපාර්ශ්වයම තම පොරොන්දු ඉටු කරන්නේ නම්, මැද පෙරදිග පරිවර්තනයකට ලක් කළ හැකිය. එය විශාල සැකයක් ඉතිරි කන්නක් විය හැකි නමුත් එය සිදු විය හැක්කේ ඉතාම දිගු සහ ඉතාම අසීරු සාකච්ඡාවක අවසානයේදී ය.































