තිරය පිටුපසත් සැබෑ වීරයෙක් වූ නානා පටේකාර්: රංගනයෙන් එහා ගිය ජීවිත කතාව

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 5
ප්‍රකට ඉන්දීය නළු නානා පටේකාර් ගෝවා හිදී අභාවප්‍රාප්ත වූ අතර මිය යන විට ඔහුගේ වයස අවුරුදු 75කි.
නානා පටේකාර්ගේ පුත්‍රයා වන මල්හාර පටේකාර්, බීබීසී මරාති හි සහකාර මාධ්‍යවේදිනී ප්‍රාචි ප්‍රතිභා ශිරිෂ් වෙත තම පියාගේ මරණය තහවුරු කළේය.
PTI ප්‍රවෘත්ති ඒජන්සියට අනුව, නානා පටේකාර් බ්‍රහස්පතින්දා අලුයම ගෝවා හි පිහිටි සිය නිවසේදී හෘදයාබාධයකින් මියගොස් තිබේ.
75 හැවිරිදි නානා පටේකාර් සිය නිවාස සංකීර්ණයේ සිහිසුන්ව වැටී සිටියදී සොයා ගැනීමෙන් පසුව පෞද්ගලික රෝහලක් වෙත රැගෙන එනු ලැබූ බව එම රෝහලේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයකු වන ශේකර් සල්කාර් පැවසීය.
මිනිත්තු 45ක් අඛණ්ඩව හදිසි ප්‍රතිකාර ලබාදුන්නද පටේකාර් ගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි වූ බව සල්කාර් සඳහන් කළේය.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී රාජ්දීප් සර්දේශායි, නානා පටේකාර්ට සිය ශෝකය පළ කරමින් මෙලෙස සටහන් කළේය:
"විශිෂ්ට නළුවෙක් විතරක් නෙමෙයි ඉතා සමීප මිතුරෙකු වූ නානා පටේකාර් තවදුරටත් අප අතර නැහැ. ඔහු මීට සුළු වේලාවකට පෙර ගෝවා හිදී අභාවප්‍රාප්ත වුණා. මම ඔහු සමඟ ඊයේ කතා කළා. ඔහුගේ අවසන් වචන වූයේ 'Kalji ghe Raja' (රජා, පරිස්සමින් ඉන්න) කියලයි."
"නානා සාහේබ්, රිදී තිරයේදී වගේම ඉන් පිටතදීත් මට ඔබව දැඩිව සිහිවෙනවා. දුකේදී වගේම සැපේදීත් ඔබ හැමවෙලාවෙම මාත් එක්ක සිටියා. ඕම් ශාන්ති.''

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
"ඉන්දීය චිත්‍රපට ක්ෂේත්‍රයේ ප්‍රවීණ නළුවෙකු වන නානා පටේකාර්ගේ අභාවය පිළිබඳ පුවත අතිශය කම්පන සහගතයි. ඒ වෙනුවෙන් මගේ හෘදයාංගම ශෝකය පළ කරනවා."ඉන්දීය මධ්‍යම රජයේ අමාත්‍ය නිතින් ගඩ්කාරි සිය ශෝකය පළකරමින් සටහනක් තබා තිබිණි.
"නානා සහ මා අතර ඉතා සමීප හා මිත්‍රශීලී සබඳතාවක් තිබ්බා. සිය ප්‍රබල රංගන කුසලතාව තුළින් නානා පටේකාර් දශක පහකට අධික කාලයක් පුරා මරාති සහ හින්දි සිනමාවේ රසඥතාවෙන් යුත් ප්‍රේක්ෂකයන්ගේ හදවත් දිනා ගත්තා. සුවිශේෂී දෙබස් උච්ඡාරණ විලාසය මගින් ඔහු චිත්‍රපට චරිත රැසක් අමරණීය කළ අතරම, තමන්ටම ආවේණික වූ අනන්‍යතාවක් ද ගොඩනඟා ගත්තා."
"ඔහුගේ වියෝව ඉන්දීය චිත්‍රපට ක්ෂේත්‍රයට විශාල පාඩුවක්. 'නාම් පදනම' හරහා ග්‍රාමීය මහාරාෂ්ට්‍රයේ ජල සංරක්ෂණය සහ ජල පෝෂක කළමනාකරණය වෙනුවෙන් ඔහු ඉටු කළ කාර්යභාරය අතිශය කැපී පෙනෙන සහ වැදගත් එකක්. සියදිවි හානි කරගත් ගොවි පවුල් වෙත ඔහු ලබා දුන් සහයෝගය බොහෝ දෙනෙකුට මහත් අස්වැසිල්ලක් වුණා. නානා දක්ෂ කලාකරුවෙකු සහ නළුවෙකු විතරක් නෙමෙයි, සමාජය පිළිබඳ සංවේදී පුද්ගලයෙකු ද වුනා. ඔහුගේ ආත්මයට සැනසීම ලැබේවා. ඕම් ශාන්ති."
නානා පටේකාර් අවසන් වරට දක්නට ලැබුණේ විශාල් භාරද්වාජ්ගේ ආදරණීය ක්‍රියාදාම ත්‍රාසජනක චිත්‍රපටයක් වන O'Romeo හි ය. ෂාහිඩ් කපූර් සහ ත්‍රිප්ති දිම්රි රංගනයෙන් දායක වූ එම චිත්‍රපටය 2026 පෙබරවාරි මාසයේදී නිකුත් වූ අතර, එහි මුම්බායි බුද්ධි අංශයෙහි ප්‍රධානියා වන ඉස්මයිල් ඛාන්ගේ චරිතය ඔහු නිරූපණය කළේය.
ඔහු අනිල් කපූර්ගේ Subedar චිත්‍රපටයේ ද රංගනයෙන් දායක වූ අතර එය 2026 මාර්තු මාසයේදී Prime Video ඔස්සේ නිකුත් විය. ඊට පෙර ඔහු Housefull 5 (2025) සහ Vanvas (2024) චිත්‍රපටවල ද රංගනයෙන් දායක විය. 2026 වසරේදී ප්‍රකාශ් ජා ගේ දේශපාලන නාට්‍ය මාලාවක් වන Sankalp හරහා ඩිජිටල් වේදිකාවලට ද ඔහු පිවිසි අතර, එහි Maat Saheb/Kanhaiya Lal ගේ ප්‍රධාන චරිතය නිරූපණය කළේය.
මුත්තණුවන්ගේ මතකයන් අවදි කරමින් රිතේෂ් දේශ්මුක් තැබූ සංවේදී සටහන
රංගන ශිල්පී රිතේෂ් දේශ්මුක්, නානා පටේකාර් සමඟ ගත කළ කාලය සිහිපත් කරමින් ඔහු වෙත සිය ශෝකය පළ කළේය."අද මට වචන නැහැ. මගේ හදවතට අකුණු පහරක් වැදුණා වගේ දැනෙනවා,'' රිතේෂ් එලෙස සටහන් කළේය
නානා ගිහින්... මේ එකම වාක්‍යය මගේ මනස හිරිවැටී යන තරමටම මා නිහඬ කරලා.
ඔබ රංගනයෙන් සීමා මායිම් නැති අහස වගෙයි. ඔබේ සුවිශේෂී රංගන විලාසය තුළින්, කිසිවෙකුටත් බිඳ දැමිය නොහැකි ස්ථානයක් ප්‍රේක්ෂක හදවත් තුළ ඔබ හිමිකර ගත්තා.
ඇතැම්විට තිරය මත බැබළෙන වීරයෙක්, ඇතැම් විට ඇඟ කිලිපොළා යන සුළු දුෂ්ටයෙක්, තවත් විටෙක බැරෑරුම් මුහුණක් පිටුපස සැඟවුණු හාස්‍යය පිරුණු විනෝදකාමීයෙක්.
ඔබේ රංගනය තුළ සෑම වර්ණයක්ම ජීවමාන විය.
ඔබ තිරය මත වීරයෙකු වුවත්, තිරයෙන් පිටුපස ඊටත් වඩා උතුම් මිනිසෙකු විය. 'Bluffmaster' සහ 'Housefull 5' චිත්‍රපටවලදී ඔබ සමඟ එකට රඟපෑමට ලැබීම මා ලැබූ භාග්‍යයකි. නමුත් මරාති චිත්‍රපටයකදී ඔබ සමඟ වැඩ කිරීමට තිබූ ආශාව ඉටු නොවූ සිහිනයක් විදිහට ඉතිරිව ඇත.
ඔබේ වචන, මා ඔබ සමඟ කළ සංවාද, පිටට තට්ටු කරමින් දක්වපු අගය කිරීම් සහ අපි එකට සිනාසුණු අවස්ථා තමයි මගේ සැබෑම වත්කම්.
ඔබේ පවුලේ සාමාජිකයන්ට, ආදරණීයන්ට සහ මිලියන ගණනක් වන රසිකයන්ට මාගේ හෘදයාංගම සංවේගය පළ කරනවා.
සැබෑවටම, අද එක් යුගයක අවසානයක්.
හෘදයාංගම උපහාරය."

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
නානා පටේකාර්ගේ සිනමා දිවිය
නානා පටේකාර් යනු දශක කිහිපයක් පුරා විහිදුණු වෘත්තීය ජීවිතයක් සහිත, හින්දි සහ මරාති සිනමාවේ වඩාත්ම කීර්තිමත් නළුවෙකු විය.
පටේකාර් ඔහුගේ සමාජ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන්ද ප්‍රසිද්ධියක් ඉසිලූ අතර, එවකට පැවති රජයන් විවේචනය කිරීමේදී ඔහු කිසිවිටෙකත් තම වචන මැන මාධ්‍ය ඉදිරියේ මෘදු ලෙස කතා කළේ නැත. අමාත්‍යවරුන් සහ ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රසිද්ධියේ විවේචනය කිරීමේදී ඔහු ඉතා සෘජු, නිර්භීත මෙන්ම කිසිවෙකුගෙන් සමාව නොඉල්ලන සුළු ප්‍රතිපත්තියක් අනුගමනය කළේය.
විශේෂයෙන්ම ගොවි ජනතාව මුහුණ දුන් ගැටලු ඔහුගේ හදවතට ඉතා සමීප විය.
පටේකාර් සිය සිනමා ගමන ආරම්භ කළේ 1978 වසරේ තිරගත වූ 'ගමන්' චිත්‍රපටයෙනි. ඉන්පසුව ඔහු චිත්‍රපට කිහිපයකම කුඩා චරිත නිරූපණය කළේය. කෙසේ වෙතත්, ඔහු තිරය මත ඉදිරිපත් කළ ප්‍රබල හා තාත්වික රංගනය කාගේත් අවධානයට ලක් වූ අතර, ඉක්මනින්ම ඔහුට 1989 වසරේ තිරගත වූ 'පරින්දා' චිත්‍රපටයේ රංගනය සඳහා අවස්ථාව ලැබුණි. එමඟින් ඔහු ඉන්දියාව පුරාම ජනප්‍රිය චරිතයක් බවට පත් විය. එහිදී ඔහු රඟපෑ, ක්ෂණිකව කෝපයට පත්වන මුරණ්ඩු පාතාල කල්ලි සාමාජිකයෙකු වූ 'අන්නා' (Anna) ගේ චරිතය වෙනුවෙන් ඔහු සිය ප්‍රථම ජාතික සිනමා සම්මානය සහ ෆිල්ම්ෆෙයාර් සම්මානය දිනා ගැනීමට සමත් විය."
රංගනයට අමතරව, පටේකාර් ප්‍රහාර් ද ෆයිනල් ඇටෑක්' චිත්‍රපටය ද අධ්‍යක්ෂණය කළේය. සිනමාවට සහ කලාවට ඔහු දැක්වූ දායකත්වය වෙනුවෙන් 2013 වසරේදී ඔහුට 'පද්ම ශ්‍රී' සම්මානය පිරිනැමිණි.
2000 දශකයේ මුල් භාගයේදී ඔහු දැක්වූ රංගන කුසලතා, විශේෂයෙන්ම 'ශක්ති: ද පවර් ඔෆ් තොට්' (2002), 'අබ් තක් ඡප්පන්' (2004), 'අපහරන්' (2005) සහ 'ටැක්සි නම්බර් 9211' (2006) යන චිත්‍රපටවලදී ඉමහත් ඇගයීමට ලක්විය.
2007 වසරේ තිරගත වූ 'Welcome' නම් ප්‍රහසන චිත්‍රපටයේ 'උදේ ෂෙට්ටි' (Uday Shetty) නම් පාතාල කල්ලි නායකයාගේ චරිතය නිරූපණය කරමින් ඔහු ප්‍රේක්ෂකයන්ව විනෝදයට පත් කළේය. එහි දෙවන කොටස වන 'Welcome Back' (2015) චිත්‍රපටයේදී ද ඔහු එම චරිතයම නැවත නිරූපණය කළේය.
Housefull 5 ප්‍රහසන ත්‍රාසජනක චිත්‍රපටයේ ද ඔහු සහයක චරිතයකින් රංගනයෙන් දායක විය.
2010 වසරේදී ඔහු 'රාජ්නීති' (Raajneeti) නම් දේශපාලන ත්‍රාසජනක චිත්‍රපටයේ රඟපෑ අතර, ඒ වෙනුවෙන් ඔහු හොඳම සහාය නළුවාට හිමි ෆිල්ම්ෆෙයාර් සම්මානය සඳහා පස්වන වරටත් නිර්දේශ විය.
රංගනයට අමතරව, Yashwant (1997), Wajood (1998) සහ Aanch (2003) වැනි චිත්‍රපට සඳහා ගායකයෙකු ලෙස දායකත්වය ලබාදෙමින් ඔහු පසුබිම් ගායකයෙකු ලෙස ද කටයුතු කර ඇත.
රංගනය, අධ්‍යක්ෂණය සහ වේදිකා නාට්‍ය ක්ෂේත්‍රය පුරා දශක හතරකට වැඩි කාලයක් පුරා විහිදී ගිය වෘත්තීය ජීවිතයක් නිම කරමින් නානා පටේකාර් අභාවප්‍රාප්ත විය.



































