සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නව රැකියා අවස්ථා රැසක්: MLT සහ භෞත චිකිත්සක තනතුරුවලට අයැදුම් කරන්නේ කෙසේ ද?

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 4

ශ්‍රී ලංකාවේ 'සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ රෝගී සත්කාරක සේවාවන් වඩාත් කාර්යක්ෂමව පවත්වාගෙන යාමේ අරමුණින්' පරිපූරක වෘත්තීය සේවා සඳහා සුදුසුකම් ලත් උපාධිධාරීන් බඳවා ගැනීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ අනුව, වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ (Medical Laboratory Technologist) සහ භෞත චිකිත්සක (Physiotherapist) යන තනතුරුවලට අදාළ අනුස්ථාපන සහ සමායෝජන පාඨමාලාව හැදෑරීම සඳහා සුදුසුකම් ලත් උපාධිධාරීන්ගෙන් අයැදුම් පත් කැඳවා ඇත.

මෙම බඳවා ගැනීමට අදාළ නිල නිවේදනය 2026 ජූලි 24 වන දින අංක 2499 දරන රජයේ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර තිබිණි.

පුරප්පාඩු සංඛ්‍යාව සහ තනතුරු බෙදී යාම

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් චාමික එච්. ගමගේ අදාළ බඳවා ගැනීම් පිළිබඳව පැහැදිලි කිරීමක් කරමින් සඳහන් කළේ, පරිපූරක වෛද්‍ය සේවාව තුළ පවතින සේවා අවශ්‍යතාවලට අනුකූලව මෙම බඳවා ගැනීම් සිදුකරන බව ය.

ඒ අනුව, මෙවර පුරප්පාඩු සඳහා තෝරා ගැනීමට නියමිත මුළු උපාධිධාරීන් සංඛ්‍යාව 392කි.

එකී පුරප්පාඩු සංඛ්‍යාව තනතුරු අනුව බෙදී යන්නේ පහත පරිදි ය.

වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ තනතුර සඳහා දැනට අනුමත පුරප්පාඩු සංඛ්‍යාව 253ක් වන අතර භෞත චිකිත්සක තනතුර සඳහා දැනට අනුමත පුරප්පාඩු සංඛ්‍යාව 139කි.

රසායනාගාර කාර්මික විද්‍යාඥ (MLT) තනතුර සඳහා අවශ්‍ය සුදුසුකම්

රසායනාගාර කාර්මික විද්‍යාඥ තනතුර සඳහා අයැදුම් කිරීමට පහත සඳහන් සුදුසුකම් සපුරා තිබිය යුතු ය.

  • අ.පො.ස. උසස් පෙළ විද්‍යා විෂය ධාරාවෙන් ජීව විද්‍යාව හෝ රසායන විද්‍යාව ඇතුළත්ව සමත් වී තිබීම
  • විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිළිගත් අවම ශාස්ත්‍රීය අගය 120කින් යුතු වෛද්‍ය රසායනාගාර විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී (BSc in Medical Laboratory Science) විශේෂ උපාධියක් ලබා තිබීම
  • ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අදාළ තනතුර සඳහා ලියාපදිංචි වී තිබීම
  • වයස අවුරුදු 18-30 අතර වීම (රාජ්‍ය සේවයේ සිටින අයට වයස් සීමාවක් අදාළ නොවේ) සහ ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු වීම

භෞත චිකිත්සක තනතුර සඳහා අවශ්‍ය සුදුසුකම්

භෞත චිකිත්සක තනතුර සඳහා අයැදුම් කිරීමට පහත සුදුසුකම් සපුරා තිබිය යුතු ය.

  • අ.පො.ස. උසස් පෙළ ජීව විද්‍යා විෂය ධාරාවෙන් ජීව විද්‍යාව රසායන විද්‍යාව භෞතික විද්‍යාව ඇතුළත්ව සමත්ව තිබීම
  • විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිළිගත් අවම ශාස්ත්‍රීය අගය 120කින් යුතු භෞත චිකිත්සකවේදී (Bachelor in Physiotherapy) හෝ විද්‍යාවේදී (BSc in Physiotherapy) විශේෂ උපාධියක් ලබා තිබීම
  • භෞත චිකිත්සකයෙකු ලෙස ශ්‍රී ලංකාව තුළ කටයුතු කිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා තිබීම

අනුස්ථාපන හා සමායෝජන පුහුණු පාඨමාලාව

තෝරා ගනු ලබන උපාධිධාරීන් සේවයට අනුයුක්ත කිරීමට පෙර ඔවුන් සඳහා විශේෂිත පුහුණු පාඨමාලාවක් පවත්වනු ලැබේ.

පුහුණු කාල සීමාව: අනුස්ථාපන හා සමායෝජන පුහුණු පාඨමාලාවේ සමස්ත කාලසීමාව මාස 6කි.

පුහුණු කාලයේදී හිමි වන දීමනාව: මෙම මාස 6ක පුහුණු කාල සීමාව තුළ පුහුණු දීමනාව සහ ජීවන වියදම් දීමනාව ඇතුළත්ව 2026 වර්ෂයේදී මසකට රුපියල් 61,986ක මුදලක් හිමි වේ.

මෙම පුහුණුව මගින් වෘත්තීය ක්ෂේත්‍රයන්ට අදාළ ප්‍රායෝගික හා සිද්ධාන්තික දැනුම ලබා දෙන අතර රෝහල් පරිසරය තුළ කාර්යක්ෂමව සේවය කිරීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කෙරේ.

ස්ථීර පත්වීම් සහ වැටුප් තත්ත්වය

මාස 6ක පුහුණු කාලසීමාව සාර්ථකව නිම කිරීමෙන් පසු අදාළ නිලධාරීන් සඳහා ස්ථීර පත්වීම් පිරිනැමීමට නියමිත ය.

ආරම්භක වැටුප ලෙස 2027 වර්ෂයේදී ස්ථීර පත්වීම් ලබන නිලධාරීන්ට මූලික වැටුප සමග ජීවන වියදම් දීමනාව ද ඇතුළත්ව ආරම්භක අවස්ථාවේදී මසකට රුපියල් 71,920ක වැටුපක් හිමි වනු ඇත.

අයැදුම්පත් යොමු කළ යුතු ආකාරය සහ අවසන් දිනය

ගැසට් නිවේදනයට අනුව අවශ්‍ය සුදුසුකම් සපුරාලනු ලබන සියලු ම අයැදුම්කරුවන් නියමිත පරිදි තම අයැදුම් පත් සම්පූර්ණ කර යොමු කළ යුතු ය.

අයැදුම්පත් යොමු කළ යුතු ලිපිනය වන්නේ, අධ්‍යක්ෂ (පාලන 02),සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, අංක 106 සේනානායක මාවත, කොළඹ 08 යන ලිපිනය යි.

අයැදුම්පත් ලියාපදිංචි තැපෑලෙන් පමණක් එවිය යුතු ය. අයැදුම්පත් භාර ගන්නා අවසන් දිනය වන 2026 අගෝස්තු 07 වන දිනට පෙර අදාල ලිපිනය වෙත අයදුම් පත් ලැබීමට සැලැස්විය යුතු ය.