ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
අකිල විරාජ් රිමාන්ඩ්: විත්ති කූඩුවේ සිටි අකිලට මහේස්ත්‍රාත්ගේ දැඩි විරෝධය එල්ල වූයේ ඇයි?
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 5
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති අකිල විරාජ් කාරියවසම් මේ මස 18 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේ ය.
අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුවන්ගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මෙම නියෝගය නිකුත් කළේ ය.
අද (අගෝ: 05) දින ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
අධිකරණය හමුවේ ඉදිරිපත් කළ කරුණු
අල්ලස් කොමිසමේ නිලධාරියා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, "මෙම සැකකරු 2022 වසරේ ජූලි මස හිටපු ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක (විමධ්‍යගත හා පරිපාලන) ලෙස පත්වීමෙන් අනතුරුව මාස එක හමාරකින් පමණ පසුව අධ්‍යාපන අමාත්‍යාශයේ සේවකයින් දෙදෙනෙකු සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ සේවකයින් දෙදෙනෙකු තම කාර්යාලයට අනුයුක්ත කරන ලෙස ජනාධිපති ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ අනුව අදාළ සේවකයින් දෙදෙනා මොහුගේ කාර්යාලයට අනුයුක්ත වීම සිදු වෙනවා. ඉන්පසුව තමාට තාවකාලික පදනම යටතේ සේවකයින් දෙදෙනෙකු බඳවා ගැනීම සඳහා සැකකරු ජනාධිපති ලේකම්ගෙන් ඉල්ලීමක් කරනවා. ඒ අනුව තාවකාලික පදනම යටතේ කළමනාකාර සහකාරවරුන් දෙදෙනෙකු බඳවා ගැනීමටත් කටයුතු කරනවා.
මෙසේ බඳවා ගත් තාවකාලික සේවකයින් දෙදෙනා ඉවත්ව ගිය පසු ඒ ආකාරයෙන් ම තවත් සේවකයින් දෙදෙනෙකු බඳවා ගැනීම සිදු වෙනවා. මෙසේ තාවකාලිකව බඳවාගත් සේවකයින් දෙදෙනා ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවය කරලා නැහැ. ඔවුන් ජනාධිපති ලේකම් කාර්යාලයේ වාර්තා කර ඇඟිලි සලකුණු තැබීම හෝ පැමිණීමේ ලේඛනවලට අත්සන් තැබීමක් සිදු කර නැහැ. නමුත් මොවුන්ට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් වැටුප් ගෙවා තිබෙනවා. මෙසේ බඳවා ගත් සේවකයින්ගෙන් තුන් දෙනෙකු මෙම සැකකරුට අයත් කුලියාපිටිය ප්‍රදේශයේ පිහිටි ඉන්ධන හලක සේවයේ යොදවා තිබෙනවා.
මින් සේවකයින් දෙදෙනෙකු 2024 වසරේ විදේශගත වීමෙන් පසුවත් මාස දෙකක් වැටුප් ගෙවා තිබෙන බව විමර්ශනවලදී අනාවරණය වුණා. මින් එක් සේවකයෙකු මේ වන විටත් ඔහුගේ ඉන්ධන පිරවුම්හලේ කළමනාකාර වශයෙන් කටයුතු කරනවා. මොහුගෙන් අල්ලස් කොමිසම ප්‍රකාශයක් සටහන් කර ගත්තා. ප්‍රකාශය සටහන් කළ දින සිට දින තුනකින් පසුව මේ සේවකයා දිවුරුම් ප්‍රකාශයක් රැගෙන අල්ලස් කොමිසමට පැමිණියා. එම දිවුරුම් ප්‍රකාශයෙන් ඔහු සඳහන් කර තිබෙනවා, තමන් කලින් ලබා දුන් ප්‍රකාශයේ යම් යම් වෙනස්කම් තිබෙන බවත් දිවුරුම් ප්‍රකාශයේ අන්තර්ගත කරුණු සත්‍ය බවත්. එම දිවුරුම් ප්‍රකාශයේ ඔහු සඳහන් කර තිබෙනවා සැකකාර අකිල විරාජ් කාරියවසම් මහතාගේ සම්බන්ධීකරණ කාර්යාලයක් කුලියාපිටියේ පිහිටි ඉන්ධන පිරවුම් හල් ගොඩනැගිල්ලේ ඉහළ මහලේ තිබුණු බවට. කලින් දුන් ප්‍රකාශයේ ඔහු එවැන්නක් සඳහන් කළේ නෑ.
මේක එම සාක්ෂිකරු මුලින් ම ලබා දුන් ප්‍රකාශයට සම්පූර්ණයෙන්ම පටහැනි යි. එල්ල වූ බලපෑමක් හේතුවෙන් මෙම දිවුරුම් ප්‍රකාශය මෙම සැකකරු විසින් ඉදිරිපත් කර ඇති බවට සැක පහළ වී තිබෙනවා. එම කරුණු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා. ඒ වගේ ම ප්‍රකාශය සටහන් කර ගත් අවස්ථාවේදී මේ සැකකරු විසින් ලේඛන කිහිපයක් අල්ලස් කොමිසමට භාර දුන්නා. ඒ අතරින් සමහර ලේඛන මෙම වසරේ සකස් කළ ඒවා බවට සැක පහළ වී තිබෙනවා. ඒ පිළිබඳවත් විමර්ශන සිදුකළ යුතු යි," යනුවෙන් සඳහන් කළ අල්ලස් කොමිසම එම තත්ත්වය යටතේ මෙම අවස්ථාවේ සැකකරු ඇප මත මුදා හරිනු ලැබුවත් විමර්ශන කටයුතුවලට බාධා සිදුවිය හැකි බැවින් ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් ඉල්ලා සිටියේ ය.
ඉන් අනතුරුව සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ගාමිණී අල්විස් අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙසේ පැවසීය.
"ස්වාමීනී... මේ සැකකරුගේ සම්බන්ධීකරණ කාර්යාලය තිබුණේ කුලියාපිටියේ පිහිටි ඔහුගේ ඉන්ධන හල පිහිටි ගොඩනැගිල්ලේ ඉහළ මහලේ. අල්ලස් කොමිසම සඳහන් කරන සේවකයින් තුන් දෙනා සේවය කළේ එම කාර්යාලයේ. ඔවුන් කිසිදු අවස්ථාවක ඉන්ධන හලේ සේවය කර නැහැ. මෙම සේවකයින්ගෙන් දෙදෙනෙකු මේ වන විට විදේශගත වෙලා තිබෙනවා. ඒ වගේ ම අල්ලස් කොමිසම අධිකරණය හමුවේ සඳහන් කළා මෙම සේවකයින් ජනාධිපති ලේකම් කාර්යාලයට වාර්තා නොකොට වැටුප් ලබාගෙන තිබෙන බවට.
ඒක සම්පූර්ණයෙන් ම අසත්‍යයක් ස්වාමීනි. අද දින සැකකරු අල්ලස් කොමිසමට ප්‍රකාශ ලබා දුන් අවස්ථාවේදී මේ සේවකයින්ගේ පැමිණීමට අදාළ ලේඛන අපි අල්ලස් කොමිසමට ඉදිරිපත් කළා. එවැනි ලේඛනයක් ගැන අල්ලස් කොමිසම දන්නෙවත් නෑ. මේකෙන් ම පැහැදිලි වෙනවා මේක අසම්පූර්ණ පරීක්ෂණයක් බවට. ස්වාමීනී මේ සිද්ධියට සම්බන්ධ සාක්ෂිකරුවන් දෙදෙනෙකු විදේශගත වෙලා තිබෙනවා. ඔවුන් නැවත පැමිණෙන තුරු මේ සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන්න බෑ. මෙම සේවකයින්ට වැටුප් ගෙවීම නිසා රජයට සිදුවී තිබෙන පාඩුවත් අල්ලස් කොමිසම අධිකරණයට ප්‍රකාශ කළේ නෑ."
මෙම තත්ත්වය යටතේ සැකකරු ඕනෑ ම කොන්දේසියක් යටතේ ඇප මත මුදා හරින මෙන් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.
එම අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරියා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කළේ, මෙම සැකකරුගේ ඉල්ලීම පරිදි බඳවාගත් සේවකයින් සිය පෞද්ගලික කටයුතු සඳහා යොදා ගැනීම තුළින් ඔහු රුපියල් 2,768,836.14ක පාඩුවක් රජයට සිදුකර ඇති බව ය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින්, "ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමේදී මෙම විමර්ශනයට අංශ දෙකකින් බලපෑම් එල්ල විය හැකි බවට කරුණු ඉදිරිපත් වී තිබෙනවා. මෙම විමර්ශනයේ සාක්ෂිකරුවෙකු මුලින් ම අල්ලස් කොමිසමට ලබා දුන් ප්‍රකාශයට පරස්පර කරුණු ඇතුළත් දිවුරුම් ප්‍රකාශයක් පසුව අල්ලස් කොමිසමට ඉදිරිපත් කර තිබෙනවා. කිසියම් බලපෑමක් හේතුවෙන් මෙවැනි ක්‍රියාවක් සිදුවන්නට ඇතැයි අධිකරණයට අනුමිතියකට එළඹීමට හැකියාව තිබෙනවා. එමෙන් ම සැකකරු විසින් අල්ලස් කොමිසමට ඉදිරිපත් කළ ලේඛනවල ව්‍යාජ ලෙස සකස් කළ ලේඛන පවතින බවටත් එම කොමිසම සිය බී වාර්තාවෙන් සඳහන් කර තිබෙනවා. ඒ සම්බන්ධයෙනුත් විමර්ශන සිදුකළ යුතු යි."
මෙම කරුණු සලකා බැලීමේදී ඇප පනත යටතේ සැකකරුට ඇප ප්‍රදානය කිරීමට අධිකරණයට හැකියාවක් නැතැයි" පැවසීය.
ඒ අනුව, සැකකරු ලබන 18 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන බවට මහේස්ත්‍රාත්වරයා නියම කළේ ය.
කෙසේ වෙතත්, මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කරන මෙන් අල්ලස් කොමිසමට නියම කළ මහේස්ත්‍රාත්වරයා මෙම සේවකයින් සේවයට වාර්තා කර ඇති බව සඳහන් කරමින් විත්තිය විසින් ඉදිරිපත් කරන ලද ලේඛන සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා මීළඟ දින අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස ද නියම කළේ ය.
මේ අතර, මෙම නඩුකරය විභාගයට ගත් අවස්ථාවේදී සැකකාර අකිල විරාජ් කාරියවසම් විත්ති කූඩුවේ සිට ඔහුගේ නීතිඥවරුන්ට කතා කරන ආකාරය නිරීක්ෂණය කළ මහේස්ත්‍රාත්වරයා ඒ සම්බන්ධයෙන් සිය දැඩි විරෝධය පළ කළේ ය.
තම අධිකරණයේ මෙවැනි ක්‍රියාවලට අවසර හිමි නොවන බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා මෙවැනි ක්‍රියා අධිකරණ කටයුතුවලට බාධාවක් බවට අවධාරණය කළේ ය.