පාලිත බණ්ඩාර: පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට යන ශ්‍රී ලංකාවේ බලාපොරොත්තුව

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 3

2026 වසරේ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝව්හිදී පැවැත්වීමට නියමිත අතර, සත්කාරක දේශය මගින් තෝරාගත් ඉසව් පමණක් මෙම ක්‍රීඩා උළෙලට ඇතුළත් කර ඇති බැවින් ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට අවස්ථාව හිමිව ඇත්තේ, පැරා ක්‍රීඩකයෙකුට සහ ක්‍රීඩිකාවකට පමණි.

ඒ අනුව, කවපෙත්ත විසි කිරීම ඉසව්වෙන් තරග කරන පැරා ක්‍රීඩක පාලිත බණ්ඩාරට 2026 පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලට තරග කිරීමේ අවස්ථාව හිමිව තිබේ.

පාලිත බණ්ඩාර යනු කවුද?

1992 වසරේ සැප්තැම්බර් 9 වන දා මාතලේදී උපත ලබා ඇති පාලිත බණ්ඩාරට සහෝදරයෙක් සහ සහෝදරියක් සිටිති. ඔහුගේ පියා ගොවිතැනෙහි නිරත වන අතර මව ගෘහණියකි.

මාතලේ මිල්ලවාන මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ අවධියේදී පාලිත වොලිබෝල් ක්‍රීඩාවට දක්ෂතා දැක්වීය.

2009 වසරේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සේවයට බැඳීමෙන් අනතුරුව ද ඔහු වොලිබෝල් ක්‍රීඩාවේ නිරත විය.

ඔහු ආබාධිත තත්ත්වයට පත්වූයේ, ඒ අතරතුරදී ය.

සාමාන්‍ය ක්‍රීඩකයෙකු වූ පාලිත පැරා ක්‍රීඩකයෙකු වූ හැටි

සාමාන්‍ය ක්‍රීඩකයෙකු ලෙස වොලිබෝල් ක්‍රීඩා කළ ඔහු ආබාධිත තත්ත්වයට පත් වූයේ, යුද්ධ හමුදා වොලිබෝල් තරගයක් අතරතුරදී ය.

2013 වසරේදී සිදුවූ එම ආබාධය, තමන්ගේ ක්‍රීඩා ජීවිතයට බාධාවක් වන්නට ඔහු ඉඩ දුන්නේ නැත. ඔහු ආබාධිත තත්ත්වයට පත්වීමෙන් පසු, පැරා මලල ක්‍රීඩා සඳහා යොමු විය.

2015 වසර වන විට ඔහු තමන්ට අහිමි වූ වොලිබෝලය වෙනුවට යගුලිය සහ කවපෙත්ත අතට ගත්තේ ය.

ඉතා කෙටි කලකින් ම යගුලියෙන් මෙන් ම කවපෙත්තෙන් ද ජාතික සහ ජාත්‍යන්තර තලය ජය ගැනීමට පාලිත බණ්ඩාර සමත් විය.

ජාතික සහ ජාත්‍යන්තර දක්ෂතා

2017 වසර වන විට F42 සහ F63 කාණ්ඩයේ යගුලිය සහ කවපෙත්ත විසිකිරීමේ පැරා ඉසව්වලට තරග කරමින් ඔහු ජාතික මට්ටමේ ජයග්‍රහණ ලබා ගත්තේ ය.

ඉන් වසරකට පසුව ඔහු ජාතික සංචිතයට ද ඇතුළත් විය.

2018 වසරේදී ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පැවති ආසියානු පැරා ක්‍රීඩා උළෙලට සහභාගි වූ පාලිත, යගුලිය විසි කිරීමේ ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගත්තේ ය.

එය ඔහු දිනූ පළමු ජාත්‍යන්තර පදක්කම ය.

2020 වසරේ සිට පාලිත පුහුණුවීම් කටයුතුවල නිරත වූයේ, ප්‍රභාත් ධනුෂ්ක පෙරේරා පුහුණුකරුගේ මග පෙන්වීම යටතේ ය.

2020 ටෝකියෝ පැරාලිම්පික් උළෙලේදී පාලිත, ඔලිම්පික් වරම් දිනා ගත්තේ ය. එහිදී යගුලිය විසිකිරීම ඉසව්වේ ශ්‍රේණිගතකිරීම් අනුව ඔහුට පස් වන ස්ථානය හිමි විය.

2022 වසර පාලිතගේ පැරා මලල ක්‍රීඩා ජීවිතයේ සුවිශේෂී වසරකි. එම වසරේදී බර්මිංහැම් නුවර පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී කව පෙත්ත විසිකිරීම ඉසව්වට තරග කළ පාලිත රිදී පදක්කම දිනා ගත්තේ ය.

ඔහු වාර්තා අතරට එක් වූයේ, පොදු රාජ්‍ය මණ්ඩලීය පැරා ක්‍රීඩා ඉසව්වකින් පදක්කමක් දිනූ පළමු ශ්‍රී ලාංකිකයා ලෙස ය.

2023 වසරේදී පැවති ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී යගුලිය විසි කිරීම ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට පාලිත සමත් විය.

2024 වසරේ ජපානයේ කෝබේ නුවර පැවති පැරා ලෝක ශූරතා මල්ල ක්‍රීඩා තරගාවලියට සහභාගි වූ පාලිත ලෝකඩ පදක්කමක් දිනා ගත්තේ ය.

එම වසරේදී ම ප්‍රංශයේ පැරිස් නුවර පැවති පැරාලිම්පික් උළෙලේදී යගුලිය විසි කිරීමේ ඉසව්වට තරග කළ පාලිත පස් වන ස්ථානය හිමි කර ගැනීමට සමත් විය.

කවපෙත්ත සහ යගුලිය විසි කිරීම

ශ්‍රේණිගත කිරීමේ තරගාවලිවලදී ප්‍රදර්ශනය කළ දක්ෂතා හේතුවෙන් 2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට පැරා යගුලිය සහ පැරා කවපෙත්ත විසි කිරීම යන ඉසව්වලින් තරග කිරීමට පාලිත සුදුසුකම් ලබා සිටී.

ඔහු පවසන්නේ, එංගලන්ත සහ වේල්ස් ඇතුළු ප්‍රබල තරගකරුවන්ගෙන් එල්ල වන අභියෝග සඳහා මුහුණ දීමට පුහුණුවීම්වල නිරත වන බව ය.

මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී පැරා කවපෙත්ත විසි කිරීමේ ඉසව්වෙන් පදක්කමක් දිනා ගැනීම ඔහුගේ අරමුණ වී තිබේ.