හිටපු අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂගේ පුත් රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු සැකකරුවන්ට එල්ල වී ඇති චෝදනා මොනවා ද?

Published
කියවීමේ කාලය: මිනිත්තු 3

සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන 'හරක් කටා' හෙවත් නදුන් චින්තක වික්‍රමරත්නගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12ක අල්ලස් මුදලක් ලබා ගැනීමේ චෝදනාව මත හිටපු අධිකරණ අමාත්‍යවරයෙකුගේ පුත්‍රයා සහ සමගි ජන බලවේගයේ ආසන සංවිධායකවරයෙකු ඇතුළු තිදෙනෙකු බ්‍රහස්පතින්දා (ජූනි 25) අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හිටපු අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ පුත් නීතීඥ රඛිත නිර්මල රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත් වසන්ත කුමාර අබේසිංහ සහ සිවිල් ගුවන් සේවා අධිකාරියට අනුබද්ධ සිවිල් හා ගුවන් සේවා අධිකාරියේ ගුවන් තොටුපළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා සමාගමේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වූ වරුෂහැන්නැදිගේ අරුණ ශ්‍රී චතුරංග යන අයයි.

වීඩියෝව නරඹන්න

සැකකරුවන්ට එල්ල වී ඇති චෝදනා මොනවා ද?

රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන 'හරක් කටා' හෙවත් නදුන් චින්තක වික්‍රමරත්න යන අයගේ;

  • ජීවිතය ආරක්ෂා කර දීම, එනම් ඝාතනය කිරීම වැළැක්වීම සඳහා
  • සැකකරුගේ රැඳවුම් නියෝග ඉවත් කර ගාල්ල - බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරය හැර වෙනත් බන්ධනාගාරයක් වෙත මාරු කර දීම සඳහා
  • සහ විමර්ශන කටයුතුවලින් හා ඊට අදාළ කටයුතුවලින් නිදහස් කර දීම සඳහා

අවශ්‍ය කටයුතු කර දීම වෙනුවෙන් 2023 වසරේදී ඩුබායි රාජ්‍යයේදී සැකකරුවන් අල්ලස් මුදලක් ඉල්ලා ඇතැයි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

මේ සඳහා 'හරක් කටා'ගේ බිරිඳ වන මධුෂිකා මධුවන්ති යන අයගෙන් මුදලින් රුපියල් කෝටි 50ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා, පසුව එම මුදල රුපියල් කෝටි 20 දක්වා අඩු කර ඉන් අත්තිකාරමක් ලෙස රුපියල් කෝටි 12ක් ලබා ගැනීම සම්බන්ධයෙන් සැකකරුවන්ට චෝදනා එල්ල වී ඇතැයි කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

ඒ අනුව, සැකකරුවන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.