ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
විමල්, ගම්මන්පිල සහ දිලිත් ඇතුළු පිරිසකට එරෙහි 'අධිකරණයට අපහාස කිරීමේ' චෝදනාව ගැන අභියාචනාධිකරණය තීරණයක් ගනී
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 3
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් කරනු ලබන විමර්ශනවලට අදාළව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමට එරෙහිව පැවති විරෝධතා අතරතුර පළ කරනු ලැබූ අදහස්වලින් අධිකරණයට අපහාසයක් කර ඇති බව සඳහන් කරමින් හිටපු අමාත්‍යවරුන් ඇතුළු පිරිසකට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ පැමිණිල්ල සලකා බැලීම සඳහා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා විසින් ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කර තිබේ.
කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් ඉදිරිපත් කරන ලද මෙම පැමිණිල්ල අද දින (සැප්: 14) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දුගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබිණි.
එහිදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා සඳහන් කළේ, මෙම පැමිණිල්ල සලකා බැලීම සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් නම් කරන බව ය.
එම විනිසුරු මඩුල්ලේ සාමාජිකයින් ලෙස අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය, චමත් මොරායස් සහ ආදිත්‍ය පටබැඳිගේ යන විනිසුරුවරුන් පත් කර ඇත.
කොළඹ කොටුව මහේස්ත්‍රාත්ගේ තීරණය
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ලක් සලකා බැලූ කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන විසින් හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් වශයෙන් කටයුතු කල සුගීශ්වර බණ්ඩාර, අසංක නවරත්න, කථිකාචාර්ය මහින්ද පතිරණ යන අය අධිකරණයට අපහාසයක් කර ඇති බවට තීරණය කරනු ලැබී ය.
ඒ අනුව, අදාළ පුද්ගලයින් සම්බන්ධයෙන් 2024 වසරේ අංක 08 දරන අධිකරණයට හෝ විනිශ්චය ආසනයකට අපහාස කිරීම සම්බන්ධව සුදුසු නීතිමය පියවර ගැනීම සඳහා මහේස්ත්‍රාත්වරයා විසින් මෙම පැමිණිල්ල අභියාචනාධිකරණය වෙත යොමු කරනු ලැබී ය.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් ඉකුත් ජූලි මස පැවති විරෝධතා ව්‍යාපාරය අතරතුර පළ කරනු ලැබූ අදහස්වලින් ඉහත සඳහන් කළ පුද්ගලයින් අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.
දිලිත් ජයවීරගෙන් පෙත්සමක්
මේ අතර, අධිකරණයට අපහාස කළ බවට කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් තමන් සම්බන්ධයෙන් කර තිබෙන නිගමනය බලරහිත කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර ඉදිරිපත් කළ රිට් පෙත්සමක කරුණු තහවුරු කිරීම සඳහා ලබන 18 වන දා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කළේ ය.
මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දුගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවිණි.
එම අවස්ථාවේදී සභාපති විනිසුරුවරයා කියා සිටියේ, අධිකරණයට අපහාස කළ බව සඳහන් කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කළ පැමිණිල්ල සලකා බැලීම සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් නම් කර තිබෙන බව ය.
එම විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම රිට් පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා කැඳවන බව ද විනිසුරු මඩුල්ල නියෝග කළේ ය.
පෙත්සම්කාර දිලිත් ජයවීර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි අධිකරණය හමුවේ කරුණු දක්වමින්, සිය සේවාදායකයා ප්රවෘත්ති සාකච්ඡාවකදී පළ කළ අදහස්වලින් තෝරා ගත් කොටස් කීපයක් පමණක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරමින් සිය සේවාදායකයා අධිකරණයට අපහාසයක් සිදු කළ බවට කරුණු ඉදිරිපත් කර ඇති බව ය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම ක්‍රියාව හිතාමතා ම සිදුකර ඇති බවත්, එම සාකච්ඡාවේදී පෙත්සම්කරු සිදු කර තිබෙන්නේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්‍රියා කලාපය විවේචනය කිරීම මිස අධිකරණයට අපහාස කිරීමක් නොවන බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේ ය.