ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
විමල්, ගම්මන්පිල සහ දිලිත් ඇතුළු 6 දෙනෙකුට නඩු පැවරීමට කොටුව මහේස්ත්‍රාත් නියෝග කළේ ඇයි?
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 3
පාස්කු ප්‍රහාර සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රඳවාගෙන ප්‍රශ්න කරන රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කළ (විශ්‍රාමික) මේජර් ජෙනරල් සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමට එරෙහිව පැවති සත්‍යග්‍රහය අතරතුර අධිකරණ ක්‍රියාවලිය විවේචනය වන අයුරින් අදහස් දැක් වූ බව කියන හිටපු ඇමතිවරුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලන ක්‍රියාකාරිකයින් 6 දෙනෙකුට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය හමුවේ නඩු පැවරීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන (අගෝ: 05) නියෝග කර තිබේ.
ඔවුන් පළ කළ අදහස්වලින් අධිකරණ ක්‍රියාවලිය විවේචනය කර ඇති බව බැලූ බැල්මට පෙනෙන්නට ඇතැයි සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා, ඔවුන්ට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය හමුවේ නඩු පවරන ලෙස යෝග කළේ ය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් පිළිගනිමින් අභියාචනාධිකරණය හමුවේ මෙලෙස නඩු පැවරීමට තීරණය කරන ලද්දේ, හිටපු අමාත්‍යවරුන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන් ම දේශපාලන ක්‍රියාකාරිකයින් වන විමල් වීරවංශ , උදය ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, සුගීෂ්වර බණ්ඩාර, අසංක නවරත්න සහ මහින්ද පතිරණ නමැත්තන්ට එරෙහිව ය.
ප්‍රකාශ ඇතුළත් සංස්කරණය නොකළ වීඩියෝ දර්ශන ගැන අවධානය
සිද්ධිය සම්බන්ධයෙන් කළ විමර්ශනවලට අදාළ ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස්, පාස්කු ප්‍රහාර සිද්ධියට අදාළව හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමට එරෙහිව පසුගිය ජූලි 07 සහ 15 අතර කාලයේ කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට පැවැත්වූ සත්‍යග්‍රහය අතරතුරදී මොවුන් අධිකරණ ක්‍රියාවලිය විවේචනය වන අයුරින් ප්‍රසිද්ධියේ අදහස් දක්වා ඇතැයි දැනුම් දුන්නේ ය.
මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර අධිකරණයේ අවසරය මත මාධ්‍ය ආයතන දහයකින් ලබා ගන්නා ලද අදාළ පුද්ගලයින් විසින් ප්‍රකාශ කළ අදහස් ඇතුළත් සංස්කරණය නොකළ වීඩියෝ දර්ශන සැලකිල්ලට ගත් බව දැනුම් දුන් පොලිස් පරීක්ෂකවරයා එම වීඩියෝ දර්ශන සැලකිල්ලෙන් විමසා බැලීමේදී අදාළ පුද්ගලයින් අධිකරණය සහ අධිකරණ ක්‍රමය විවේචනය කරන අන්දමින් අදහස් පළ කර ඇතැයි කියා සිටියේ ය.
ආරක්ෂක ලේකම්වරයාගේ අනුමැතිය ලත් නිල ස්ථානයක් වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සුරේස් සලේ රඳවාගෙන සිටියද්දී අදාල පුද්ගලයින් මාධ්‍ය සාකච්ඡා පවත්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වධකාගාරයක් බව හුවා දක්වමින් අදහස් පළ කොට ඇතැයි පෙන්වා දුන් පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස්, සැකකාර සුරේෂ් සලේ කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටියදී අදාළ පුද්ගලයින් යුක්තිය පසිඳලීමේ ක්‍රියාදාමය කෙරෙහි මහජන අප්‍රසාදයක් සහ සැකයක් ඇති වන ආකාරයේ ප්‍රකාශ සිදුකර ඇති බව ද සඳහන් කළේ ය.
CID ඉල්ලීම
මේ අනුව අදාළ පුද්ගලයින්ට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නඩුකරයක් පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ගන්නැයි පොලිස් පරීක්ෂකවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.
ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අදාළ පුද්ගලයින් අධිකරණයට අපහාස වන ආකාරයේ ප්‍රකාශ කර ඇති බව බැලූ බැල්මට පෙනෙන්නට ඇතැයි සඳහන් කළේ ය.
ඒ අනුව ඔවුන්ට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය හමුවේ නඩු පැවරීමට තීරණය කෙරිණි.