ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කාන්තාවක කපාකොටා ඝාතනය කිරීමට වරදකරුවන් වූ 8 දෙනෙකුට වසර 33කට පසු මරණ දඬුවම
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 3
පහර දී කපා කොටා කාන්තාවක ඝාතනය කර තවත් දෙදෙනෙකුට බරපතළ තුවාල සිදු කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වූ විත්තිකරුවන් 8 දෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික ශ්‍රී රාගල මරණ දඬුවම නියම කළේ ය.
විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කරනු ලැබ ඇතැයි තීරණය කරමින් අඟහරුවාදා [ජූලි 07] විත්තිකරුවන්ට මෙලෙස මරණ දඬුවම නියම කෙරිණි.
වසර 33කට පෙර මෙම අපරාධය කර ඇත්තේ, මේ විත්තිකරුවන් ම බව පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කරනු ලැබ ඇතැයි විනිසුරුවරයා තීන්දු කළේ ය.
ඒ අනුව, විත්තිකරුවන් වැලිකඩ බන්ධනාගාරයට ගෙන ගොස් ජනාධිපතිවරයා විසින් නියම කරනු ලබන දිනයක සහ වේලාවක ඔවුන්ගේ ප්‍රාණය නිරුද්ධ වන තුරු බෙල්ලෙන් එල්ලා තැබීමට නියෝග කළේ ය.
මරණ දඬුවම නියම වූයේ කාට ද?
මෙලෙස මරණීය දණ්ඩනය නියම වූයේ, පී.ඒ.කේ. නිශාන්ත කුමාර, ඊෂාඩ් මෝසස්, රෝහන් ජනක සම්පත් සාගර, අනිල් ඉන්ද්‍රජිත්, කනගරාජා ටිරෝන්, සෝමරත්න සිල්වා, හික්කඩුව ලියනගේ නිහාල් සහ කේ.ඩබ්. අජිත් කුලතුංග යන අයට ය.
1993 සැප්තැම්බර් 21 වන දා හෝ ඊට ආසන්න දිනයක කොළඹ තාරාවත්තේදී, දැනට මියගොස් සිටින වේලායුධම් උදේකුමාර් නමැත්තා සමග එක්ව එච්.බී. කුසුමාවතී නමැත්තියට තුවාල කිරීම පොදු අරමුණ කර ගත් නීති විරෝධී රැස්වීමක සාමාජිකයින් වශයෙන් කටයුතු කිරීම යන චෝදනාවලට අදාළව විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා නගා තිබිණි.
එම නීතිවිරෝධී රැස්වීමේදී එච්.බී. කුසුමාවතී නමැත්තියට අතින් පයින්, තියුණු ආයුධවලින් සහ පොලුවලින් පහර දී ඇගේ මරණය සිදු කළ බව ද ඒ අවස්ථාවේදී ම කදිරවේලු ලිංගමූර්ති නමැත්තාට සහ ජගත්සිරි පෙරේරා නමැත්තාට තියුණු ආයුධවලින් සහ පොලුවලින් පහර දී බරපතළ තුවාල කිරීම ඇතුළු චෝදනා 7ක් යටතේ නීතිපතිවරයා විත්තිකරුවන්ට එරෙහිව වෙන වෙන ම චෝදනා ගොනු කර තිබිණි.
තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සඳහා නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී නඩුවේ 8 වන විත්තිකරු වන අජිත් කුලතුංග නමැත්තා හැර සෙසු විත්තිකරුවෝ සියලු දෙනා ම අධිකරණයේ පෙනී සිටියහ.
මේ සම්බන්ධයෙන් පැවති දීර්ඝ නඩු විභාගයේදී විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත් කළ සාක්ෂි මෙන් ම විත්තිකරුවන් වෙනුවෙන් ඇසූ හරස් ප්‍රශ්න කෙරෙහි ද අවධානය යොමු කරමින් නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කළ බව විනිසුරුවරයා සඳහන් කළේ ය.
දීර්ඝ නඩු විභාගයේදී විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇති බව තීරණය කළ විනිසුරුවරයා, මෙම වරදට මරණීය දණ්ඩනය නියම කළ යුතු හෙයින් එම දඬුවම පැමිණවීමට පෙර කිව යුතු යමක් ඇත්නම් පවසන ලෙස විත්තිකරුවන්ට නියම කළේ ය.
ඒ අනුව, එක් එක් විත්තිකරුවා බැගින් වෙන වෙන ම අධිකරණය අමතමින් මෙම අපරාධයට තමන්ගේ කිසි ම සම්බන්ධයක් නැති බවත් එහෙයින් මෙම චෝදනාවෙන් තමන් නිදහස් කරන ලෙසත් ඉල්ලා සිටියහ.
සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණයේ දැල්වෙමින් තිබූ විදුලි බුබුළු නිවා දමා, ක්‍රියාත්මක වෙමින් තිබූ විදුලි පංකා අක්‍රීය කොට විත්තිකරුවන්ට මරණ දඬුවම පැමිණ වූ විනිසුරුවරයා, විත්තිකරුවන්ගේ මරණ දඬුවමට අත්සන් කළ පෑන ද කඩා දැම්මේ ය.
අධිකරණයට පැමිණි නොසිටි අජිත් කුලතුංග නමැති විත්තිකරු දුටු තැන අත්අඩංගුවට ගන්නා ලෙස නියම කරමින් විනිසුරුවරයා විසින් විවෘත වරෙන්තුවක් ද නිකුත් කරන ලදී.