ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඩො.මි. 2.5ක් හැකර් ගිණුමකට බැර කිරීම: 'රස පරීක්ෂක වාර්තා, කොළඹ වි.වි. වාර්තා තාම ලැබිලා නෑ'
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 3
මහත් ආන්දෝලනයකට තුඩු දුන් මහා භාණ්ඩාගාරය ණය වාරිකයක් ආපසු ගෙවීමේදී ශ්‍රී ලංකා මහා බැංකුව සතු ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක රජයේ මුදල් වංචනික ගිණුමකට බැර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල ප්‍රගතිය අගෝස්තු මස 05 වන දා අධිකරණයට දැනුම් දෙන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා අද (ජූලි 08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළේ ය.
මෙම නඩුකරය අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේ කැඳවනු ලැබිණි.
එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම විමර්ශනයට අදාළව සොයාගනු ලැබූ ටෙරා බයිට් 16ක පරිගණක දත්ත අඩංගු දෘඪතැටි වැඩිදුර විමර්ශන සඳහා කොළඹ විශ්වවිද්‍යාලය වෙත යොමු කර ඇති බව ය.
ඊට අදාළ වාර්තා මෙතෙක් ලැබී නොමැති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු අධිකරණයට දන්වා සිටියහ.
එමෙන් ම, මෙම සිද්ධියට සම්බන්ධ රජයේ රස පරීක්ෂක වාර්තා ද මෙතෙක් ලැබී නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම විමර්ශනවල ප්‍රගතිය අගෝස්තු මස 05 වන දා වාර්තා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළේ ය.
ජූනි 03 වන දා අධිකරණයේදී සිදුවූයේ කුමක් ද?
මහා භාණ්ඩාගාරය හරහා ණය වාරිකයක් ගෙවීමේදී ශ්‍රී ලංකා මහ බැංකුව සතු ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර් ගිණුමකට බැර කිරීමේ සිද්ධිය සම්බන්ධව සිදු කරන විමර්ශනවල ප්‍රගතිය ජූලි මස 08 වන දා ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ජූනි 03 වන දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ ය.
එහිදී විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කියා සිටියේ, ණය ගෙවීම් කටයුතු සිදුකළ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මුල් ගිවිසුම පිළිබඳ කරුණු විමසීමක් සිදුකර හෝ කිසිදු තොරතුරු විමසීමකින් තොරව එක්ස්පෝට් ෆයිනෑන්ස් ඔස්ට්‍රේලියා නම් ආයතනයේ ඊමේල් ලිපිනය හරහා ලැබී තිබූ ඉන්වොයිස් එකක් මත පදනම්ව ණය ගෙවීම් සිදුකර තිබූ බව ය.
එම මුදල් ගෙවීම්වලට අදාළ ඉන්ටර්නෙට් සර්වර් පද්ධතියේ දත්ත පිටපත් කර අවසන් බවත් ජූනි 03 වන දා පොලීසිය පැවසීය.
එම දත්ත ඇතුළත් සංයුක්ත තැටි 04ක් ඉදිරි විමර්ශන කටයුතු සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ වෝහාරික පරිගණක අංශයට යොමු කර වාර්තාවක් කැඳවීමට අවශ්‍ය බවත්, ඊට අවශ්‍ය නියෝග නිකුත් කරන ලෙසත් පොලිසිය අධිකරණයෙන් එහිදී ඉල්ලා සිටියේ ය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 42දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු එදින අධිකරණයට දැනුම් දුන්හ.
වැඩ තහනමට ලක්ව සිටියදී මියගිය විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂක රංග නිශාන්ත රාජපක්‍ෂගේ මරණ පරීක්ෂණ වාර්තාවේ පිටපතක් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු අධිකරණයට ඉදිපත් කළහ.
සිද්ධිය හෙළිදරව් වූ ආකාරය
2026 අප්‍රේල් මස 22 වන දා Free Lawyers නම් සංවිධානයේ සභාපති ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්නගේ අත්සනින් නිකුත් කර ඇති නිවේදනයක් මගින් පාර්ලිමේන්තුවේ කතානායකවරයා වෙත ලිපියක් යොමු කරමින් දැනුම් දී තිබුණේ, 2025 දෙසැම්බර් මාසයේ සිට 2026 ජනවාරි මාසයේ 31 වන දා කාලය තුළදී ඩොලර් මිලියන 22.9කට අදාළව ගෙවිය යුතු මුදලක් වෙනුවෙන් සිදුකර ඇති ඩොලර් මිලියන 2.5ක වාරික ගෙවීම අදාළ ණයකරු (රට) වෙත නොව, පරිගණක හැකර් කෙනෙකු (තෙවන පාර්ශවයක්) වෙත යොමු කර ඇති බවට තොරතුරු අනාවරණය වන බව ය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීම සඳහා 2026 මාර්තු මස 24 හෝ ඊට ආසන්න දිනයකදී 'තාක්ෂණික කමිටුවක් පත්කර' ඇති බවත්, මේ වන විටත් සිද්ධිය සම්බන්ධයෙන් භාණ්ඩාගාර නියෝජ්‍ය අධ්‍යක්ෂකවරුන් දෙදෙනෙකු, අධ්‍යක්ෂකවරුන් දෙදෙනෙකු හා පරිගණක අංශයේ ප්‍රධානියෙකුගේ වැඩ තහනම් කර ඇති බවට Free Lawyers නම් සංවිධානය සිය ලිපියෙන් කරුණු දක්වා ඇත.