ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ශ්‍රී ලංකාවේ රඳවාගෙන සිටින ඉන්දීය ධීවරයින් ගැන ඉන්දීය විදේශ ඇමතිගෙන් එරට පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක්
ඉන්දීය ධීවරයින් සහ ඔවුන්ගේ බෝට්ටු ඉක්මනින් නිදහස් කර නැවත ගෙන්වා ගැනීම සඳහා ඉන්දීය රජය ද්විපාර්ශවික යාන්ත්‍රණ සහ රාජ්‍ය තාන්ත්‍රික මාර්ග හරහා ශ්‍රී ලංකාව සමග නිරන්තරයෙන් කටයුතු කරමින් සිටින බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් ඉන්දීය පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ය.
ලෝක් සභාවට ලිඛිතව සිදු කළ මෙම දැනුම්දීමේදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ ජාත්‍යන්තර සමුද්‍රීය සීමා රේඛාව (IMBL) තරණය කිරීම සම්බන්ධයෙන් නිතර අත්අඩංගුවට ගනු ලබන ඉන්දීය ධීවරයින්, විශේෂයෙන් තමිල්නාඩු ධීවරයින්ගේ ආරක්ෂාව සහ ශුභසාධනය සඳහා ඉන්දීය රජය ඉහළම ප්‍රමුඛතාව ලබා දෙන බව ය.
තමිල්නාඩු රජයේ නියෝජිතයින් ඇතුළත් ඉන්දියා-ශ්‍රී ලංකා ධීවර කටයුතු පිළිබඳ ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායම වැනි ආයතනික යාන්ත්‍රණ හරහා ධීවරයින් සම්බන්ධ ගැටලු ද සාකච්ඡා කරන බව ඉන්දීය විදේශ අමාත්‍යවරයා එහිදී පෙන්වා දී තිබේ.
අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් ගැන වාර්තාවක්
2026 ජූලි 31 වන දිනය විට තමිල්නාඩු ධීවරයින් 27 දෙනෙකු සහ ධීවර බෝට්ටු 249ක් ශ්‍රී ලංකා බලධාරීන්ගේ අත්අඩංගුවේ පසුවන බව ද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ඉන්දීය පාර්ලිමේන්තුවට ලිඛිතව දැනුම් දී ඇත.
ඉන්දීය පාර්ලිමේන්තුවේදී හෙළිකරන ලද දත්තවලට අනුව, ශ්‍රී ලංකා බලධාරීන් 2026 වසරේදී තමිල්නාඩු ධීවරයින් 119 දෙනෙකු අත්අඩංගුවට ගෙන බෝට්ටු 17ක් සිය භාරයට ගෙන ඇත. 2025 වසරේදී ඉන්දීය ධීවරයින් 317 දෙනෙකු සහ බෝට්ටු 43 ක් භාරයට ගෙන ඇත. 2024 වසරේ දී ධීවරයින් 526ක් සහ බෝට්ටු 72ක් ශ්‍රී ලංකා බලධාරීන් ඔවුන්ගේ භාරයට ගෙන ඇති බව ද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා එහි දක්වා තිබේ.
අත්අඩංගුවේ පසුවන ධීවරයින්ට ලබා දුන් සහන
එමෙන් ම පසුගිය වසර තුන තුළ බලපෑමට ලක්වූ ධීවරයින් සහ ඔවුන්ගේ පවුල්වලට සහය වීම සඳහා ඉන්දීය රජය ඉන්දීය රුපියල් කෝටි 1.84කට වඩා වටිනා ආධාර ලබා දී ඇති බව ද ඉන්දීය විදේශ අමාත්‍යවරයා අනාවරණය කළේ ය.
ශ්‍රී ලංකාවේ රඳවාගෙන සිටින ඉන්දීය ධීවරයින්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීම සහ ඔවුන් නිදහස් කර නැවත ඉන්දියාවට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය නීතිමය සහය ලබා දීම වෙනුවෙන් ඉන්දීය දූත මණ්ඩල සහ ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දීය කොන්සල් කාර්යාලවල නිලධාරීන් නිතිපතා රැඳවුම් මධ්‍යස්ථාන සහ බන්ධනාගාර වෙත පැමිණෙන බව ද ඉන්දීය විදේශ අමාත්‍යවරයා සඳහන් කර ඇත.
මෙම ගැටලුව විසඳීම සහ ඉන්දීය ධීවරයින්ගේ අවශ්‍යතා ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකාව සමග අඛණ්ඩව කටයුතු කරන බව ද ඉන්දීය විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.