වසර 3ක සිර දඬුවමෙන් නිදහස් කරන්නැයි හිරුණිකා ඉදිරිපත් කළ පෙත්සම ගැන ගත් තීන්දුව

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 2

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඉදිරිපත් කළ අභියාචන පෙත්සම් විභාගය සැප්තැම්බර් 23 වන දා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියෝග කළේ ය.

2015 වසරේ දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳ සලක සේවය කළ තරුණයෙකු පැහැරගෙන ගොස් පහර දී අයුතු ලෙස සිරකර තැබීමේ සිද්ධියට අදාළව අධිකරණයෙන් පනවා තිබූ දඬුවම සම්බන්ධයෙන් ඇය මෙම අභියාචනය ඉදිරිපත් කර තිබිණි.

ඉන් ඉල්ලා තිබුණේ, කොළඹ මහාධිකරණය විසින් නියම කරනු ලැබූ බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවමින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ය.

2024 දුන් නඩු තීන්දුව

මෙම අභියාචන පෙත්සම අද (අගෝ: 06) පී. කුමාරන් රත්නම් සහ ප්‍රදීප් හෙට්ටිආරච්චිගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබී ය.

එහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෂවීන්ද්‍ර ප්‍රනාන්දු සහ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම විභාගය සඳහා සැප්තැම්බර් මස 23 වන දා කැඳවන ලෙස නියෝග කළේ ය.

2015 වසරේ දෙසැම්බර් මස 21 වන දා දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳ සලක සේවය කළ අමිල ප්‍රියංක අමරසිංහ නමැති තරුණයෙකු ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහර දීම ඇතුළු චෝදනාවලට වරදකරු කෙරුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට කොළඹ මහාධිකරණය විසින් 2024 වසරේ ජූනි මස 28 වන දා බරපතළ වැඩ සහිත වසර 03ක සිර දඬුවමක් සහ රුපියල් 20000ක දඩයක් නියම කරන ලදී.

එම දඬුවමින් සහ දඩ මුදලින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙම අභියාචනය ඉදිරිපත් කර තිබිණි.