22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය: මෙතෙක් සිදුවූයේ කුමක් ද?

Padman Surasena

ඡායාරූප මූලාශ්‍රය, PMD

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 6

අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම මූලික කර ගනිමින් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

ඊට විරෝධය පළ කරන විපක්ෂ කණ්ඩායම් සහ නීතිඥ සංගමය ඇතුළු පාර්ශව පවසන්නේ, එවැනි සංශෝධනයක් ගෙන ඒමට ජනමත විචාරණයකින් අනුමැතිය ලබා ගත යුතු බව ය.

කෙසේ වෙතත්, ඊට සහය පළ කරන්නන්ගේ අදහස වී ඇත්තේ, අදාළ සංශෝධනය සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන අතර, පාර්ලිමේන්තුවේ සම්මත වීමක් පමණක් ප්‍රමාණවත් බව ය.

මේ අතර, අදාළ සංශෝධන කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ, පෙත්සම් 67ක් ගොනු කර තිබිණි.

එම පෙත්සම් විභාග කිරීම සඳහා අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේනගේ සභාපතිත්වයෙන් යුත් විනිසුරු මඩුල්ලක් පත් කිරීම සම්බන්ධයෙන් ද දැඩි විරෝධයක් එල්ල විය.

එම පෙත්සම් විභාගය බදාදා (සැප්: 02) අවසන් වූ අතර, රහසිගත නිගමනය කතානායකවරයාට දැනුම් දෙන ලෙස එහිදී නියම කෙරිණි.

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මේ දක්වා සිදුවූයේ කුමක් ද?

2026 මැයි

උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව වසර 2කින් දීර්ඝ කිරීමට රජය ගෙන ඒමට සූදානම් වන යෝජනාවක් සම්බන්ධයෙන් පසුගිය මැයි මාසය වන විට කතාබහක් ඇති වී තිබිණි.

"රජය දැනට ඉන්න විනිශ්චයකාරවරුන් ඇතුළත් වන පරිදි විශ්‍රාම වයස වැඩි කිරීම සඳහා යෝජනා කිරීමට කෙටුම්පත් සකස් කරමින් ඉන්නවා. අපට තොරතුරු තියෙනවා නීති කෙටුම්පත් සම්පාදකට ඒ සඳහා උපදෙස් ලබා දීලා තියෙනවා කියලා. ඒ වගේ ම අපට තොරතුරු තියෙනවා ජනාධිපතිවරයා නොනිල වශයෙන් පහළ අධිකරණ විනිසුරුවරුන්ට මේ ගැන දැනුම් දුන්නා කියලා," මේ සම්බන්ධයෙන් මීට පෙර බීබීසී සිංහල සේවය සමග පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා පැවසීය.

2026 මැයි 25

අභියාචනාධිකරණ විනිසුරුවරයෙකුගේ විශ්‍රාම වයස වන අවු. 63 සීමාවත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ විශ්‍රාම වයස වන අවු. 65 සීමාවත් අත්තනෝමතික ලෙස වෙනස් නොකළ යුතු බවට සඳහන් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කළේ, පසුගිය මැයි 25 වනදා ය.

එවැන්නක් සිදුකළහොත් නීති පද්ධතියේ අඛණ්ඩතාව, නීතියේ ආධිපත්‍යය සහ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් රජය දක්වන කැපවීම සම්බන්ධයෙන් මහජන විශ්වාසය අහිමි වනු ඇතැයි ලිපියෙන් පෙන්වා දෙන ලදී.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සහ ලේකම් නලින් ද සිල්වාගේ අත්සනින් යුතුව යවා ඇති මේ ලිපිය මගින් එලෙස සංශෝධන කිරීම අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් කළ හැකි බව දීර්ඝව පැහැදිලි කර තිබිණි.

2026 ජූලි 11

2026 ජූලි 11 වන දා පැවති අධිකරණ සේවා සංගමයේ රැස්වීමට එහි සාමාජිකයින් 65 දෙනෙකු සහභාගි වූ අතර එහිදී පැවති රහසිගත ඡන්ද විමසීමේදී එම සියලු දෙනා අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීමට විරුද්ධව සිය මතය ප්‍රකාශ කර තිබිණි.

ඒ අනුව, ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් තම සංගමයේ සාමාජිකයන් විරුද්ධ බව ඒකමතිකව ප්‍රකාශ කර ඇතැයි මහේස්ත්‍රාත්වරුන්ගෙන් සහ දිසා විනිසුරුවරුන්ගෙන් සැදුම්ලත් අධිකරණ සේවා සංගමය ජනාධිපති අනුර කුමාර දිසානායකට ලිඛිතව දැනුම් දී තිබිණි.

2026 ජූලි 23

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමට රජය කර ඇති යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ඒකාබද්ධ විපක්ෂය ජූලි 23 වන දා රැස් විය.

එහිදී, ඔවුන් තීරණය කළේ, 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමට ගෙන ඇති තීරණයට විරුද්ධ විය යුතු බව ය.

රැස්වීම අතරතුර අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේ, 'ආණ්ඩුව අධිකරණයට අත තබා ඇති' බව ය.

මෙහිදී, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේ, විනිසුරුවරුන්ගේ වෘත්තිය පිළිබඳව අධිකරණ අමාත්‍යවරයාට අවබෝධයක් නොමැති බව පෙනී යන බව ය.

2026 ජූලි 27

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාම වයස දීර්ඝ කිරීම මූලික කර ගත් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා ජූලි 27 වන දා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබිණි.

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේ, 'අධිකරණයේ ස්වාධීනත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සහ දැනට එක්රැස් වී ඇති නඩු සංඛ්‍යාව කාර්යක්ෂමව අවසන් කිරීම සඳහා' මෙම සංශෝධනය සිදු කිරීමට තීරණය කර ඇති බව ය.

2026 අගෝස්තු 07

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත ඇතුළත් ගැසට් පත්‍රය අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ නියමය පරිදි 2026 අගෝස්තු 07 වන දා නිකුත් කෙරිණි.

2026 අගෝස්තු 12

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිතයින් පිරිසක් අතර හමුවක් අගෝස්තු 12 වන දා පැවැත්විණි.

මෙම හමුවේදී සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන දේ සම්බන්ධයෙන් සාකච්ඡාවට පෙර අදහස් පළ කිරීම පිළිබඳව ජනාධිපතිවරයා සිය අප්‍රසාදය පළ කළේ ය.

"මම සැලකිය යුතු ප්‍රමාණයකින් පැමිණෙන්න උත්සහ කළේ, විවෘත මනසකින්. සාකච්ඡාවෙන් පස්සෙ ඕන දෙයක් කියන්න. විවෘත යි. හැබැයි, සාකච්ඡාවක් එකට යොදාගෙන තිබියදී උදේ නිවේදනයකින් සාකච්ඡාවේ අඩංගු හරය ඉදිරිපත් කරන දේ පැවසීම ඉතාමත් හොඳ දෙයක් කියල මම පිළිගන්නෙ නෑ. ඒක විවෘත සාකච්ඡාවකට බාධාවක් කියන එක තමයි මගේ හැඟීම."

මේ අතර, ජනාධිපතිවරයා පැවසුවේ, "මෙම වෙනස සිදු කිරීම සඳහා අවදානම ගැනීමට සූදානම්" බව ය.

මේ අතර, ජනාධිපතිවරයා "අවදානමක් ඇති බව පිළිගැනීමෙන් ම මෙහි ගැටලුවක් ඇතැයි පෙනී යන" බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සාකච්ඡාවෙන් පසුව මාධ්‍යවේදීන් හමුවේ පැවසීය.

2026 අගෝස්තු 18

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර අගෝස්තු 18 වන දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

එය ඉදිරිපත් කරනු ලැබූ අවස්ථාවේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ආසනවලින් නැගිට විරෝධතා පුවරු අතැතිව ඊට විරෝධය පළ කළහ.

එම පනත් කෙටුම්පත මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 වන ව්‍යවස්ථාවේ 5 වන අනුව්‍යවස්ථාව සහ 137 වන ව්‍යවස්ථාව මෙමගින් සංශෝධනය කිරීමට යෝජනා කර තිබේ.

ඒ අනුව, 'ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයන් විශ්‍රාම ගත යුතු වයස 67 වන අතර, අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරයන් විශ්‍රාම ගත යුතු වයස 65 වන්නේ ය' යනුවෙන් එහි සඳහන් වේ.

ඊට අමතරව, අග්‍රවිනිශ්චයකාරවරයා විශ්‍රාම ගත යුතු කාල සීමාවක් පිළිබඳව ද එහි දක්වා තිබේ.

ඒ අනුව, 'අග්‍රවිනිශ්චයකාරවරයා විශ්‍රාම ගත යුතු දිනය ඔහු වයස අවුරුදු 67ට එළඹෙන දිනය හෝ ඔහු විනිශ්චයකාර ධූරයට පත්වන දිනයේ සිට වසර 6ක කාලසීමාවක් සම්පූර්ණ වන දිනය යන දින දෙකෙන් කලින් එළඹෙන දිනය වන්නේ ය.'

තව ද, 137 වන වගන්තිය සංශෝධනය කරමින් අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන් '19 දෙනෙකුට නොවැඩි සංඛ්‍යාවක්' යන්න වෙනුවට '24 දෙනෙකුට නොවැඩි සංඛ්‍යාවක්' යනුවෙන් සංශෝධනය කිරීමට යෝජනා කර තිබේ.

මේ අතර, අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත ගැසට් පත්‍රයකින් නිකුත් කර ඇති අතර, එමගින් සෙසු විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 61 සිට 63 දක්වා වැඩි කිරීමට යෝජිත ය.

2026 අගෝස්තු 31

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් සලකා බැලීම සඳහා අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන විසින් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කරනු ලැබී ය.

එම විනිසුරු මඩුල්ලේ සභාපතිවරයා ලෙස අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන නම් කෙරුණු අතර, සෙසු සාමාජිකයින් වශයෙන් අචල වෙංගප්පුලි, අර්ජුණ ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග නම් කෙරිණි.

අගවිනිසුරුවරයාගේ සභාපතිත්වයෙන් යුතු විනිසුරු මඩුල්ලක් පත් කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශව සමාජ මාධ්‍ය ඔස්සේ විවේචන එල්ල කර තිබිණි.

2026 සැප්තැම්බර් 01

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් 67ක් විභාග කිරීම ආරම්භ විය.

අදාළ පෙත්සම් පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙසට පෙත්සම්කාර පාර්ශව කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරිණි.

මෙහිදී, පෙත්සම්කාර පාර්ශව පෙන්වා දුන්නේ, මෙය අධිකරණයේ ස්වාධීනත්වයට බලපාන සංශෝධනයක් බව ය.

එවැනි සංශෝධනයක් සිදු කිරීමට ජනමත විචාරණයක් හරහා අනුමැතිය ගත යුතු බව ද ඔවුහු පෙන්වා දුන්හ.

මේ අතර, අතරමැදි පෙත්සම්කරුවන් තර්ක කළේ, ඒ සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව ය.

2026 සැප්තැම්බර් 02

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් පිළිබඳ විභාගය සැප්තැම්බර් 02 වන දා අවසන් කෙරිණි.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේ, එම පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කතානායකවරයා වෙත යොමු කරන බව ය.