යෝෂිත රාජපක්ෂගේ ප්‍රතිශෝධන පෙත්සම අභියාචනාධිකරණය නිෂ්ප්‍රභ කරයි

Former Sri Lankan president Mahinda Rajapaksa's second son Yoshitha Rajapaksa (C) arrives at a court to appear before a magistrate in the Colombo suburb of Kaduwela on February 11, 2016. Navy officer Yoshitha Rajapaksa, 27, was remanded in custody for two weeks after being arrested at the end of January on a charge of money laundering, police and court officials said. AFP PHOTO / Ishara S. KODIKARA (Photo by Ishara S.KODIKARA / AFP) (Photo by ISHARA S.KODIKARA/AFP via Getty Images)

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 4

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ තමන්ට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කර ඇති නඩුවේ අන්තර්ගත "කුමන්ත්‍රණය" නමැති චෝදනාව පවත්වාගෙන යාමට නොහැකි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ විසින් ඉදිරිපත් කරන ලද ප්‍රතිශෝධන පෙත්සම අභියාචනාධිකරණය සිකුරාදා (ජූලි 3) නිෂ්ප්‍රභ කළේ ය.

යෝෂිත රාජපක්ෂ ඉදිරිපත් කළ එම ප්‍රතිශෝධන පෙත්සම විභාග කිරීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍රගේ එකඟත්වය ඇතිව අභියාචනාධිකරණ විනිසුරු අමල් රණරාජා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේ ය.

'පෙත්සම්කරුට එරෙහිව මහාධිකරණය හමුවේ ගොනු කර තිබෙන චෝදනාව නීත්‍යනුකූලයි'

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු අමල් රණරාජා ප්‍රකාශ කළේ, මහාධිකරණ නඩු විභාගයේදී මුලින් ම විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව "කුමන්ත්‍රණය" නමැති චෝදනාව එල්ල කර එහි එක් විත්තිකාරියක නිදහස් කර තිබීම හේතුවෙන් මෙම පෙත්සම්කරුට එරෙහිව පමණක් අදාළ "කුමන්ත්‍රණ" චෝදනාව පවත්වාගෙන යාමට නොහැකි බවට පෙත්සම්කාර පාර්ශ්වය තර්ක කර තිබූ බව ය.

"කුමන්ත්‍රණය නමැති චෝදනාව අධිකරණය හමුවේ නොමැති පාර්ශවයක් සමග එක්ව වුව ද සිදු කළ බවට විත්තිකරුවෙකුට එරෙහිව චෝදනා ඉදිරිපත් කළ හැකියි. ඒ සඳහා අධිකරණය හමුවේ විත්තිකරුවන් දෙදෙනෙකු සිටීම අවශ්‍ය නැහැ. එක් විත්තිකරුවෙකුට එරෙහිව පමණක් "කුමන්ත්‍රණය" නමැති චෝදනාව පවත්වාගෙන යාමට නොහැකි බවට ඉදිරිපත් වූ තර්කය පිළිගන්න බැහැ.

"ඒ අනුව පෙත්සම්කරුට එරෙහිව මහාධිකරණය හමුවේ ගොනු කර තිබෙන අදාළ චෝදනාව නීත්‍යනුකූලයි. එය පවත්වාගෙන යාමට මහාධිකරණ විනිසුරුවරයා දුන් නියෝගය නිවැරදියි," යනුවෙන් අභියාචනාධිකරණ විනිසුරු අමල් රණරාජා සිය තීන්දුවේ සඳහන් කළේ ය.

ඒ අනුව යෝෂිත රාජපක්ෂ විසින් ඉදිරිපත් කරන ලද ප්‍රතිශෝධන පෙත්සම නිෂ්ප්‍රභ කරන බවට නියෝගයේ සඳහන් විය.

මීට පෙර නඩු විභාගයේදී සිදුවූයේ කුමක් ද?

මෙම ප්‍රතිශෝධන පෙත්සම ජූනි මස 16 වන දා අභියාචනාධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී පෙත්සම්කාර යෝෂිත රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හෆීල් ෆාරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙන්වා දුන්නේ, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ මෙම පෙත්සම්කරුට සහ ඩේසි ෆොරස්ට් නමැති විත්තිකාරියට එරෙහිව නීතිපතිවරයා විසින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ කොළඹ මහාධිකරණය හමුවේ "කුමන්ත්‍රණය" නමැති චෝදනාව ඉදිරිපත් කරනු ලැබ තිබුණු බව ය.

ඉන්පසුව මෙම නඩුකරයෙන් ඩේසි ෆොරස්ට් නමැති විත්තිකාරිය නිදහස් කිරීමට නීතිපතිවරයා කටයුතු කළ බව නීතීඥවරයා පෙන්වා දුන්නේ ය.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ඒ අනුව, දෙදෙනෙකුට එරෙහිව "කුමන්ත්‍රණය" නමැති චෝදනාවක් ඉදිරිපත් කර තිබියදී ඉන් එක් විත්තිකාරියක නිදහස් කළ අවස්ථාවක මෙම පෙත්සම්කරුට එරෙහිව පමණක් අදාළ චෝදනාව පවත්වාගෙන යාමට නොහැකි බව නීතිඥවරයා තවදුරටත් කරුණු දක්වමින් පෙන්වා දුන්නේ ය.

එය සැලකිල්ලට ගනිමින් අදාළ චෝදනාව තම සේවාදායකයාට එරෙහිව පවත්වාගෙන යාමට නොහැකි බවට ඔහුගේ නීතිඥවරුන් කොළඹ මහාධිකරණය හමුවේ මූලික විරෝධතා මතු කළ ද මහාධිකරණ විනිසුරුවරයා එම මූලික විරෝධතා ප්‍රතික්ෂේප කළ බව නීතිඥවරයා සඳහන් කළේ ය.

ඒ අනුව, මහාධිකරණ විනිසුරුවරයාගේ මෙම තීරණය ප්‍රතිශෝධනය කරන ලෙස නීතිඥවරයා එදින අධිකරණයෙන් ඉල්ලිම් කර තිබිණි.

එහෙත් ඊට ප්‍රතිචාර දැක්වූ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණේ, මෙම "කුමන්ත්‍රණය" නමැති චෝදනාව පවත්වාගෙන යාමට හැකි බවට මහාධිකරණ විනිසුරුවරයා දුන් තීන්දුව නීත්‍යනුකූල බවට ය.

කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කර තිබූ නඩුවේ දෙවන විත්තිකාරිය වශයෙන් නම් කර සිටි ඩේසි ෆොරස්ට් නමැත්තිය නඩු විභාගයකට මුහුණදීමට සුදුසු මානසික තත්ත්වයක නොමැති බවට වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරනු ලැබීම හේතුවෙන් ඇය මුදා හැරීමට කටයුතු කළ බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පැවසුවේ ය.

එම නිසා එම විත්තිකාරිය නිදහස් කළ ද ඇය සමග එක්ව "කුමන්ත්‍රණය" සිදු කළ බවට පැමිණිල්ල විසින් මෙම පෙත්සම්රුට එරෙහිව ඉදිරිපත් කරනු ලැබ තිබෙන චෝදනා නීත්‍යනුකූල බවත් එය ඉදිරියට පවත්වාගෙන යාමට හැකි බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා තර්ක කර තිබිණි.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල සිකුරාදා සිය තීන්දුව මේ ආකාරයෙන් ප්‍රකාශයට පත් කළේ ය.